විශේෂාංග

ජනපති අඳින කමිසය ලංකා දේශපාලනයට ආවේ මෙහෙමයි

අත්කොට සැහැල්ලු කමිසය ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඇඳුම් විලාසිතාවය. ජනපතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී ඔහු ඇන්දේ ගුරු පැහැති අත්කොට කමිසයකි. ඔහු සිය නිලයේ දිවුරුම් දුන්නේ සුදු පැහැති අත්කොට කමිසයකින් සැරසීය.

මතුනොව නව ජනපතිවරයා වශයෙන් පත් වූ ඔහු ජනපති ලේකම් කාර්යාලය අබියසදී ත්‍රිවිධ හමුදාව පිරිනැමූ ආචාර පෙළපාළියද පිළිගත්තේ අත්කොට කමිසයකින් සැරසීය. එම පෙළපාළිය නිරීක්ෂණය කර අහවර වූ වෙලාවේ ජනපතිවරයා එක්තරා කොඩියකට හිස නවා ආචාර කරන අයුරු සමාජ මාධ්‍යයේදී දැඩි කතාබහට ලක් විය. ඒ මින් පෙර සිටි ජනපතිවරු හමුදා කොඩියකට එසේ හිස නමා ආචාර කරන අයුරු දැක නැති බැවිනි.

ඊට හිටපු ජනපතිවරුන්ට දොසක් කියන්නට බැරිය. ඔවුහු හිටපු හමුදා නිලධාරීන් නොවන බැවින් එම ධජයේ විශේෂත්වය නොදන්නවා විය හැකිය. ජනපති ගෝඨාභය එදා හිස නවා ආචාර කළේ ගජබා රෙජිමේන්තුවට සේනාධිනායක ලෙස ජනපතිවරයා විසින් දුන් ජනපති වර්ණ ධජයටය. එම ධජය බිම හෙළන්නේ ජනපතිවරයා ඉදිරියේ පමණි. එම ධජය පෙළපාළියකදී තමන් ඉදිරියේ රැගෙන යන්නේ නම් වාඩි වී සිටින සියල්ලෝම නැගිටිය යුතුය. හමුදා නිලධාරීන් සැලියුට් ගැසිය යුතුය. මේ කාරණාව දන්නා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා එම ජනපති වර්ණ ධජයට ආචාර කළේය.

හැරත් ඔහුද ගජබා රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙකි. එදින අත්කොට කමිසයකින් සැරසී හමුදා පෙළපාළිය පරීක්ෂා කළ ජනපතිවරයා සිය ඉන්දීය නිල සංචාරයටද ඇන්දේ අත්කොට කමිසයමය. කෙසේ නමුදු හමුදාවේ නිලධාරීන් මෙන්ම හිටපු නිලධාරීන් ටයි කෝට්වලින් සැරසීම ඔවුන්ගේ සිරිතය.

ටයිකෝට් ඇඳි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා දේශපාලනයට බැස්ස විට ජාතික ඇඳුමට මාරු විය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ටයිකෝට් මෙන්ම ජාතික ඇඳුමත් අඳින්නේ නැත. සිය පරපුරේ අය මෙන් කුරහන් සාටකය පලඳින්නේ නැත. ඔහුගේ දැන් ඇඳුම වී ඇත්තේ අත්කොට කමිසය ය. එහෙත් මින් පෙර සිටි ජනපතිවරු මෙන්ම අගමැතිවරු එක්කෝ ටයි කෝට් ඇන්දෝය. නැතිනම් ජාතික ඇඳුම ඇන්දෝය.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඇන්දේ ඔසරිය ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඔසරියත් සාරියත් ඇන්දේය. මැතිසබයට මුලින්ම සාරිය ඇඳි කාන්තාව ලංකාවේ මුල්ම මන්ත්‍රීවරිය වූ ඇඩ්ලින් මොලමුරේය. නමුත් අත්කොට සැහැල්ලු ඇඳුමෙන් සැරසී නිල රාජකාරි කරන මෙතෙක් ලංකාවේ සිටි එකම රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂය.

එහෙත් ඔහුට අත්කොට කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවේ සභා ගර්භයට නම් යා නොහැකිය. ඊට හේතු වන්නේ ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සභා ගර්භයට අත්​කොට කමිස වලංගු නැති බැවිනි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇරඹූ කාලයේ මැති ඇමැතිවරු මුලින්ම ඇන්දේ ටයිකෝට්ය. පසුව මන්ත්‍රීවරු දෙජාතියක ඇඳුම් ඇන්දෝය. ඉන් ප්‍රමුඛතම ඇඳුම වූයේ මහා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන්ට අනුකූලව මැසූ ටයි කෝට්ය. ඒ ඇඳුම ඇන්දේ ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක, ​ජෝන් කොතලාවල ආදීහුය. මේ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ජාතික ඇඳුමින්ද සැරසුණු මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් සිටියහ.

ජේ.ආර්. ජයවර්ධන, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මෙන්ම පී.ද ඇස්. කුලරත්න ඔවුන් අතර ප්‍රමුඛයෝය. මේ ජාතික ඇඳුම සමාජයට හඳුන්වා දුන්නේ එක්දහස් නවසිය විස්ස දශකයේ කොළඹ ආනන්ද බෞද්ධ පාසලේ විදුහල්පති ධූරය දැරූ නූතන බෞද්ධ ප්‍රබෝධයේ පෙර ගමන්කරුවකු වන පී.ද එස්. කුලරත්න බව ප්‍රසිද්ධ කතාවකි. එනමුත් ඒ ඇඳුම අද මෙන් එදා​ දේශපාලනඥයන්ගේ නිල ඇඳුම ලෙස නොසැලකීය. ජාතික ඇඳුමෙන් හොඳටම ප්‍රයෝජනය ගත්තේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. නමුත් අගමැති වූ පසුවත් බණ්ඩාරනායක ‘‘බලු වැඩවලට’’ ටයිකෝට් ඇන්දේය. කොළඹ ප්‍රභූන් සංවිධානය කළ සුනඛ ප්‍රදර්ශනවලට සිය සුනඛයා සමග ගිය බණ්ඩාරනායක කීවේ බලුවැඩවලට යා යුත්තේ බලු ඇඳුමෙන් යනුවෙනි.

ටයි​කෝට්, ජාතික ඇඳුම, සාරි හැර අනෙක් ඇඳුමක් ඇඳීම එකල පාර්ලිමේන්තු සම්ප්‍රදාය අතට පටහැණි ක්‍රියාවක් විය. වෙනත් ඇඳුමකින් සැරසී මන්ත්‍රීවරයකු සභා ගැබට යාමට තැත් කළ හොත් වේත්‍රධාරී විසින් එය වළක්වනු ලැබීය.

මේ අතරේ එක්දාස් නමසිය හැත්තෑවේ මහ මැතිවරණයෙන් මොරටුව ආසනය ජය ගෙන විමලසිරි ද මැල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු පත් වූයේ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමිනි.

එන්.එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා, කොල්වින් ආර්. සිල්වා ආදීන්ගේ ඇසුරේ දේශපාලනය කළ විමලසිරිද මැල් ද සිය නායකයන් සේ ඉංග්‍රීසි උගතකු විය. එහෙත් ඔහු කතා කළේ සිංහලෙනි. සිය පක්ෂ නායකයන් ටයි කෝට් අඳින විට විමලසිරි ද මැල් එය ඇන්දේ සිය විවාහ මංගල උත්සවයට පමණි. දිනක් ඔහු පාර්ලිමේන්තු පුස්තකාලයට ගියේ චයිනීස් කොලරයක් ඇති අත්කොට කමිසයකින් සැරසීය.

විමලසිරි ද මැල්ගේ පුතා වන කොළඹ සරසවියේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසාංගික කලා අංශයේ නාට්‍ය හා රංග කලා කථිකාචාර්ය පූජිතද මැල් කියන හැටියට ඔහුට එම සැහැල්ලු ඇඳුම ඇඳීමට ආභාෂය ලැබී ඇත්තේ විදෙස් අත්දැකීම්වලිනි.

‘‘තාත්තා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග වැඩ කළා. ඒ කාලයේ ඔහු කම්කරු සංවිධානයේ රැස්වීම්වලට විදෙස් ගත වෙනවා. පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල දේශපාලකයෝ අඳින්නේ ඔය වගේ සැහැල්ලු ඇඳුමක්. තාත්තාත් ඒ ඇඳුමට ප්‍රිය කළා. තාත්තා ඔය කමිස මැහුවේ බම්බලපිටියේ හර්කියුලස් ටේලර්ස් එකින්. ඒ කාලයේ තාත්තාගේ ඇඳුම් මහපු කෙනාගේ නමත් වූයේ විමලසිරි, පූජිතද මැල් කියන්නේ ය.

හැත්තෑවේ පාර්ලිමේන්තුවට පත් වූ විමලසිරි ද මැල් දිනක් පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගියේ බුෂ් කමිසයක් හෙවත් අත් කොට ටියුනික් ඇඳුමෙන් සැරසීය. විමලසිරිගේ මේ ඇඳුම කථානායක ස්ටැන්ලි තිලකරත්න දුටුවේය.

‘‘මොකක්ද විමලසිරි ඔය ඇඳුම’’
කථානායකවරයා විචාලේය.

‘‘මේකට කියන්නේ බුෂ් ෂර්ට් එක කියලා’‘ ඔහු කථානායකවරයාට උත්තර දුන්නේය.
විමලසිරිගේ මේ අලුත් විලාසිතාවට කථානායක ස්ටැන්ලි තිලකරත්නගේ හිත ගියේය. ටික දොහකට පසු මේ අලුත් විලාසිතාව මැති සබයට ඇඳීමට අවසර දීමට කථානායකවරයා තීරණය කළේ අලුත් සංශෝධනයක් සමගය. ඒ අත්කොට බුෂ් කමිසයට අත් දිගට දමාය.

ඒ අනුව එක්දහස් නවසිය හැත්තෑ තුනේ නොවැම්බර් දහහතර වැනිදා පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී හා විටින් විට ගන්නා ලද තීරණ හා සම්ප්‍රදායන් අනුව සභාගර්භය තුළට පිවිසීමේදී ඇඳිය හා පැලඳිය හැකි ඇඳුම් වර්ග හයක් තිබේ. ඒ ඇඳුම් වර්ග හය ගැන 2011 ජුනි මස 21 වැනිදා දාතමින් කථානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පැමිණීමේදී නිසි ඇඳුමෙන් සැරසී සිටීම ගැන සියලුම මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් සිහිකැඳවීමක් කළේය.

එය මෙසේය
ජාතික ඇඳුම, ලවුන්ජ ඇඳුම (යුරෝපා ඇඳුම), ගෙල දක්වා බොත්තම පියවන ලද අත්දිග ටියුනික් කෝට් ඇඳුම, කලිසම හෝ රෙද්ද සමග ආගමික පිළිවෙත් අනුව පිළිගත් ඇඳුම, (සිවුරු ආදිය) හා ආගමික පිළිවෙත් අනුව පලඳිනු ලබන හිස් වැස්ම.

මේ ඇඳුම් පැලඳුම් අතරින් ගෙල දක්වා බොත්තම් පියවන ලද, අත් දිග ටියුනික් කෝට් ඇඳුම පාර්ලිමේන්තුවට විමලසිරිද මැල් හඳුන්වා දුන් පසුව මන්ත්‍රී වරු බුෂ් කමිසය පාර්ලිමේන්තු සභා ගර්භයට ඇඳීමට පටන් ගත්හ. ඒ ඇඳුම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බොහෝ ජනප්‍රියය. එය කෙතරම්ද කිවහොත් දැන් මන්ත්‍රීවරු වැඩි හරියක් අඳින්නේ බුෂ් කමිසයයි. මැති සබයට පමණක් නොව නිල උත්සවවලටද ඔවුහු ඒ ඇඳුම අඳිති. ඇතැම් විට ඒ මන්ත්‍රීවරු පවා තමන් මැති සබයට අඳින මේ ඇඳුම හඳුන්වා දුන්නේ විමලසිරි ද මැල් බව නොදන්නවා ඇත. ඔවුන් නොදැන සිටියට විමලසිරි ද මැල් වූ කලී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රකට චරිතයකි.

විමලසිරි ද මැල් මිය යන විට ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාද විය. දෙදහස් දහයේ ඔක්තෝබර් තිස්එක් වැනිදා ඔහු මිය ගියේ පක්ෂයේ මහ සමුළුවට සහභාගි වෙමින් සිටියදීය. ඒ මොහොතේදී පවා ඔහු ඇඳ සිටියේ බුෂ් ඇඳුමය. ‘‘මගේ ජීවිතයේ මට මතක ඇති දා සිටම තාත්තා ඇන්දේ සැහැල්ලු කමිසයයි. ඔහු මගේ විවාහ මංගල දිනයෙත් ඇන්දේ ළා පැහැති සැහැල්ලු කමිසයක්.

එදා මගේ මංගල උත්සවයට තාත්තා ඇඳපු කමිසයම තමයි ඔහුගේ අවසන් ගමනටත් ඇන්දුවේ.’’ පූජිත්ද මැල් කියන්නේය.

මිහිරි ෆොන්සේකා