කතුවැකි

ජනතා විරෝධතාවන්ට ආණ්ඩුවෙන් ඉඩක්

විරෝධතා, පෙළපාළි හේතුවෙන් කොළඹ කොටුවේ මාර්ග අවහිරවීමෙන් ජනතාව පීඩාවට පත් වූ බව කියමින් ප්‍රවෘත්ති වාර්තා ලියන්නට මින් පසු අපටද ඉඩක් ලැබෙන්නේ නැත. උද්ඝෝෂණ පැවැත්වීම සඳහා ස්ථානයක් වෙන්කර දෙන්නට ආණ්ඩුව පියවර ගෙන ඇති බැවිනි. මේ අන්දමට උද්ඝෝෂණ පැවැත්වීම සඳහා තැනක් වෙන්කර දෙන බව යහපාලන ආණ්ඩුව ද ප්‍රකාශ කොට තිබිණි. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව එසේ කරන බවක් කීවේ නැත. එහෙත් පසුගිය බදාදා (05 වැනිදා) සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලින්ම උද්ඝෝෂණ සඳහා තැනක් වෙන්කර දෙන්නට පියවර ගෙන තිබේ.

ආණ්ඩුවේ මේ පියවර සම්බන්ධයෙන් විවිධ මත පළවෙන්නට පටන් ගෙන ඇත. කවුරුන් කුමක් කීවත් මේ තීරණ​ෙයන් වඩාත්ම සතුටට පත්වනු ඇත්තේ දිනපතා උදේ සවස කොළඹට යන එන සාමාන්‍ය ජනතාවය. සාමාන්‍යයෙන් ශිෂ්‍යයන්ගේ වේවා, කම්කරුවන්ගේ වේවා උද්ඝෝෂණ පෙළපාළි සඳහා ‘නැකැත්’ යෙදෙන්නේම සතියේ දිනවල කාර්යාල අවසන්වන වේලාවටය. උද්ඝෝෂකයන් සිතන්නේ එවැනි වේලාවක තම උද්ඝෝෂණය, විරෝධතාව පැවැත්වීම නිසා මාර්ග අවහිරවීමේ දෝෂයේ බර ආණ්ඩුවේ ගිණුමට බැර වනු ඇති බවය. එවිට ආණ්ඩුව තම ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇති බවය. නමුත් ඇත්තෙන්ම සිදුවන්නේ තමන්ට සිදුවන අපහසුතාව නිසා ජනතා විරෝධය ආණ්ඩුවට නොව උද්ඝෝෂකයන්ට එල්ල වීමය. උද්ඝෝෂණය පැවැත්වෙන්නේ රටේ සියලු දෙනා වෙනුවෙන් වුවත් එහි වෙනසක් නැත.

මේ අනුව උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ම තැනක් වෙන්කර දීම මහජනතාවට සිදුවන හිරිහැරය මඟහැරී යන්නට හේතුවන කාරණයක් වන්නා සේම උද්ඝෝෂකයන්ටද විශාල ප්‍රතිලාභයක් ගෙන දෙන කාරණයකි. මහජනතාව හිරිහැරයට පත් නොකර විරෝධතා පැවැත්වීමට හැකි වීම නිසා ජනමාධ්‍යයේද, මහජනතාවගේද අවධානය විරෝධතාවට හේතු වූ කාරණය ගැන යොමුවිය හැකි බැවිනි. එවිට ජනතා සහායද ලබාගත හැකිවනු ඇති බව කල්පනා කළ හැකිය.

ජනතා උද්ඝෝෂණ, විරෝධතා සම්බන්ධයෙන් මෙතෙක් කලක් පැවති ආණ්ඩු දැක්වූයේ සතුරු ආකල්පයකි. මේ නිසා විරෝධතාකරුවන්ට සෑම විටෙකම මහමඟදී ප්‍රහාරයන්ට ලක්වීමට සිදු වූ අතර ඇතැම් විටෙක විරෝධතාකරුවන් කිහිප දෙනකුම මියගිය අවස්ථාද තිබේ. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වී ඇත. විශ්වවිද්‍යාල සිසුන් කිහිපවරක්ම ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්නට පැමිණි නමුත් ඔවුන්ට ඊට අවස්ථාව ලැබුණේ නැත. ශිෂ්‍ය නියෝජිතයන්ව කාර්යාලයට කැඳවා තේ පැන් සංග්‍රහ කොට සාකච්ඡා කළ බැවිනි.

මෙයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට සවන් දීමට සූදානම් බවය. ප්‍රශ්නයකට විසඳුමක් ලබා දීමේ පළමු පියවර නම් ඊට සවන් දීමය. ඒ සඳහා පළමුවෙන් කළ යුත්තේ ප්‍රශ්න කිරීමේ හා විරෝධය දැක්වීමේ අයිතිය පිළිගැනීමය. උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් වෙන්කර දීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව ජනතාවගේ ඒ අයිතිය පිළිගන්නා බවය. එහෙත් ඇතැමෙකු ආණ්ඩුව එවැනි ප්‍රගතිශීලී පියවරක් ගනු ඇතැයි පිළිගන්නට සූදානම් බවක් පෙනෙන්නට නැත. පුදුම සහගත කාරණය වන්නේ මින් ඇතමකු පැවති ආණ්ඩු ජනතා ඉල්ලීම් මර්දනය කිරීමටද එරෙහි වූවන් වීමය. ආණ්ඩුවක් ජනතා විරෝධීව කටයුතු කරන විට ඊට එරෙහි වීම සාධාරණ නමුත් ආණ්ඩුවක් ජනතා හිතවාදීව කටයුතු කරන විටත් එය පිළිනොගැනීම අප තේරුම් ගන්නේ කෙසේද?

කෙසේ වුවත් ආණ්ඩුව උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම තැනක් වෙන්කර දීම ආණ්ඩුවට එරෙහි විරෝධතා දක්වන ඕනෑම අයකුට අභියෝගයක් බවද කිව යුතුය. ඇත්ත ප්‍රශ්න මත පමණක් තම විරෝධතා පවත්වන්නට සිදුවන බැවිනි. ආණ්ඩුවකට එරෙහිව විරෝධතා දක්වන්නට ඕනෑ තරම් සාධාරණ කාරණා ඇතත් අතීතයේ ඇතැම් විටෙක ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන්ම විරෝධතා පැවැත් වූ අවස්ථා තිබේ. කාර්යාල අවසන්වන – මාර්ග තදබදය උපරිම වන අවස්ථාවල විරෝධතා පැවැත්වීම, පොලිසිය ලවා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ගැනීමේ අරමුණින්ම විරෝධතා පැවැත්වීම වැනි අවස්ථාය. නමුත් නිශ්චිත තැනක් තිබියදී, පොදුජන ජීවිතයට බාධා සිදුවන ලෙස විරෝධතා පැවැත්වීම, ඒවා මර්දනයට ආණ්ඩුවට අයිතියක් ලබා දීමක් වනු ඇත. ඒ අනුව විරෝධතා දැක්වීමට තැනක් වෙන්කර දීම විරෝධතාකරුවන්ගේ අවංකභාවය මෙන්ම ආණ්ඩුවේ ඉවසීම පරීක්ෂා කරන තීරණයක් ලෙසද සැලකිය හැකිය.

ආණ්ඩුවේ වැරදිම දකින තවත් කෙනකු කියන්නේ විරෝධතා දැක්වීමට නිශ්චිත තැනක් වෙන්කර දීමෙන් පෙනී යන්නේ තමන්ට ජනතා ප්‍රශ්න විසඳන්නට නොහැකි බව ආණ්ඩුව පිළිගෙන ඇති බවය. වෙනත් රටවල විරෝධතා දක්වන්නට ආණ්ඩුව විසින්ම තැන් වෙන්කර දී ඇතැයි ද ඒ ආණ්ඩු ජනතා විරෝධතා මර්දනය නොකරන බවද කියමින් සිටියේද මේ අයය. එසේ නමුත් ඔවුන් කියන ඒ ආණ්ඩු ද ජනතා ප්‍රශ්න විසඳන්නට නොහැකි ආණ්ඩු යැයි ඔවුන් කියන්නේ නැත.

කෙසේ වෙතත් විරෝධතා දැක්වීමට වෙනම තැනක් වෙන්කරදීම නිසා ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන ප්‍රබලම අභියෝගය වන්නේද මෙම කාරණය බව කිව යුතුය. බොහෝ විට මීට පෙර පැවති ආණ්ඩුව ප්‍රශ්න යටපත් කරගත්තේ ජනතා විරෝධයන් කෙරෙහි පොදු ජනයාගේ විරෝධය අවුලවමිනි. විරෝධතා නිසා මාර්ග තද බදයක් ඇති වූ බව කියමින්, ජන ජීවිතය අඩාළ වූ බව කියමින් මාධ්‍යයද අඩුවැඩි වශයෙන් ඊට සහාය වී ඇත.

නමුත් ජන ජීවිතයට බාධාවක් නොවන ලෙස වෙන්කර ඇති ස්ථානයේ සාමකාමීව පැවැත්වෙන විරෝධතා ගැන වහා අවධානය යොමුකර ඊට මුල් වූ ප්‍රශ්නය විසඳන්නට ආණ්ඩුවට සිදුවනු ඇත. නිතර නිතර ජනතා උද්ඝෝෂණ පැවැත්වෙන්නේ නම් එහි තේරුම ආණ්ඩුව ජනතා ප්‍රශ්න කෙරෙහි සංවේදී නොමැති බවය. නැතහොත් ජනතා ප්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුම් නොමැති බවය.

ජනතා ප්‍රශ්න ඉදිරිපත් කරන්නට ඉඩක් දීමත්, ඒවාට සවන් දීමත් ඉතා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ලක්ෂණයක් වන අතර ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සාර්ථක ආණ්ඩුවක ලක්ෂණයකි.