brand logo
logo

ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන්න ඉඩක් නෑ ජනපති නව වසරට සුබ පතමින් කියයි

01 January 2020

ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රටේ ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම පණිවුඩයේ තදුරටත් මෙසේද සඳහන්ය. නව වසර උදාවූයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේකෂාකරන සමයක බව මම දනිමි. එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිවය. අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නුතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙනි. දේශීයත්වයට මුල්තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය කර තිබේ. ඉන් අප ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව මාගේ දැඩි විශ්වාසයයි. එසේ විනයගරුක සමාජයක් මත ශක්තිමත් වන සුරක්ෂිත රටක් ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාව බවද මම දනිමි. වත්මන් හා අනාගත දරු පරපුරේ බොහෝ බලාපොරොත්තු මල්ඵල දරනුයේ එවන් සමාජයකය. අප වැඩිහිටියන් ලෙස ලැබූ නව වසරේ එකී ඉලක්ක කරා ළඟාවීමට දැඩිව අත්වැල් බැඳගත යුතුය. නව රජය රටට ලෙන්ගතු ජනතාවගේ එකමුතුවේ ජයග්‍රහණයකි. ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රටේ අප ඉඩක් තබන්නේ නැත. ඒ හුදෙක් සැමට එකාවන්ව සතුටින් ජීවත් විය හැකි යහපත් පරිසරයක් නිර්මාණය කිරීම පිණිසය. නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි, ප්‍රාර්ථනයයි. අපේ සමස්ත ජනතාවටත්, අප දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුම වන නව වසරක් වේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
 

More News..