කතුවැකි

ඡන්දෙ තියන්න කොරෝනා මිහිතලයෙන් තුරන් වෙන්න ඕනෑ ද?

මේ දිනවල අප රටේ පමණක් නොව ලෝකයේ හැම තැනකම තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්​ කියන අන්දමටය. වෙනදාට අප රටේ පෞද්ගලික බස් රථයක ගමන් කරන්නට සිදුවන්නේ කොන්දොස්තර මල්ලීගේ අණට අනුවය. නමුත් දැන් බස්වල ඇත්තේ කොන්දොස්තර මල්ලීගේ අණ නොව සෞඛ්‍ය අංශයේ අණසකය. වෙනදාට කාර්යාලයක පවතින්නේ එහි ප්‍රධානියාගේ අණ වුවත් දැන් එහි පවතින්නේද සෞඛ්‍ය බලධාරීන්ගේ අණය. ඒ අණ නොපිළිපැද්දොත් රස්සාවට යනවා වෙනුවට නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමට සිදුවිය හැකිය.

මේ දේවල් පමණක් නොව අපට ඇතැයි කියන පරම අධිකාරී බලය හෙවත් සර්වජන ඡන්ද බලය භාවිත කිරීමට සිදුව තිබෙන්නේද මැතිවරණ කොමිසමේ නියමයන්ට වඩා සෞඛ්‍ය බලධාරීන්ගේ නියමයන් සැලකිල්ලට ගනිමිනි.

අප්‍රේල් මස 25දාට දින නියම කර තිබූ පාර්ලිමේන්තු මහ මැතිවරණය දැන් ජුනි මස 20දාට නියම කර තිබේ. ඒ දිනයට මැතිවරණය පැවැත්විය හැක්කේද ඒ සඳහා සුදුසු වාතාවරණයක් රට තුළ පවතින බවට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් පමණකි. එදින ඡන්දය පැවැත්වීමට සිදුවනු ඇත්තේ ද සෞඛ්‍ය බලධාරීන් නියම කරන යම් යම් නියමයන්ට යටත්වය. මැතිවරණය තව වසරකින් කල් ගියත් එම නිර්දේශ වෙනස් නොවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කොට තිබේ. ඊට හේතු වී ඇත්තේ කොරෝනා වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් මේ මිහිතලය මත සක්‍රීයව පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළකොට ඇති බැවිනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය වැදගත් වන්නේ මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව රට තුළ මතයක් තහවුරු කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මකව පවතින බැවිනි. ජුනි 20දා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීමට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත්ව තිබේ.

අප රටේ දේශපාලනය තුළ මෙතෙක් කලක් අපට ඇත්තේ පවතින ආණ්ඩුව විසින් මැතිවරණ කල් දැමීමේ ඉතිහාසයකි. 1970 දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව 1975දී පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමුවේය. 1977 දී බලයට පත් එජාප ආණ්ඩුව 1983 පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහ මැතිවරණය ජනමත විචාරණයකට මුවාවෙමින් වසර හයකින් කල් දැමුවේය.

1988 වර්ෂයේ පැවැති පළමු පළාත් සභා ඡන්දයෙන් පසු – 1990දී විසුරුවා හැරි උතුරු නැගෙනහිර පළාත් සභාව සඳහා 2006 වන තෙක් යළි මැතිවරණයක් පැවැත්වීමට එතෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් කටයුතු කළේ නැත. 2015 වසරේ බලයට පත් යහපාලන ආණ්ඩුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් වසර දෙකක පමණ කාලයක් තිස්සේ කල් දමා තිබිණ. ඒ ආණ්ඩුව විසින් කල් දැමූ පළාත් සභා ඡන්ද විමසීම් තවමත් පවතින්නේ පොරොත්තු ලේඛනයේය.

දැන් පවතින්නේ ආණ්ඩුව ඡන්ද විමසීමට උත්සාහ කරන නමුත් විපක්ෂය ඊට එරෙහි වන තත්ත්වයකි. කෙසේ වෙතත් විපක්ෂයේ මෙම විරෝධයට පදනමක් තිබේ. මැතිවරණය පැවැත්වීමෙන් වළකින්නැයි විපක්ෂය කියන්නේ රට තුළ කොරෝනා වසංගතය පැතිර තිබෙන බැවිනි. මේ නිසා මෙම විරෝධය සාධාරණය. අප්‍රේල් මස 25දාට නියමිතව තිබූ මහ මැතිවරණය ජුනි මස 20දා දක්වා කල් දමා ඇත්තේද කොරෝනා වංසගතයේ පැතිරීම සැලකිල්ලට ගනිමිනි.

එසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන අන්දමට තවත් වසර දෙකක් පමණ යන තෙක් කොරෝනා වෛරසය සක්‍රිය තත්ත්වයේ පවතිනු ඇත. එසේ නම් අප මහ මැතිවරණය පැවැත්වීමට එතෙක් බලා සිටිය යුතුද? එය කිසිසේත්ම ප්‍රායෝගික පියවරක් නොවන බව නොතේරෙන්නේ කාටද?

ලෝකයේ කිසිම රටක් මේ දක්වා මුළුමනින්ම කොරෝනා වසංගතයෙන් නිදහස් වී නැත. එසේ වුණත් මේ රටවල් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටිති. කොරෝනා රෝගයෙන් බලවත් ලෙස බැට කෑ ඉතාලිය ඊයේ (04 වැනිදා) සිට පනවා තිබූ බොහෝ සීමාවන් ඉවත් කිරීමට පියවර ගත්තේය. සෑම රටක්ම මෙලෙස පියවරෙන් පියවර සමාජ තහංචි ලිහිල් කිරීමට පියවර ගන්නේ කොරෝනා සදහටම ලෝකයෙන් තුරන් වන තෙක් සිටිය​හොත් තම ජනතාව කොරෝනා නිසා නොව කුසගින්නේ මිය යෑමෙන් වළක්වා ගැනීමටය.

මේ අනුව අප රටේ ද දැන් බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කය හැර අනෙකුත් ප්‍රදේශවල දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කර තිබේ. ලබන 11දා වන විට බස්නාහිර පළාත තුළද ඇඳිරි නීතියේ යම් ලිහිල් කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ නොවුණත් රජයේ සහ පෞද්ගලික කාර්යාල සීමිත වශ‍යෙන් විවෘත කිරීමට නියමිතය. මේ මස අවසානයේ සිට පාසල් පවා කඩින් කඩ විවෘත කිරීමටද අවධානය යොමුව තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කර ඇති පළාත්වලද දැන් වෙනදා මෙන් නොව ජනතාව වෙළෙඳසල් ඉදිරිපිට ඉතා ඉවසිල්ලෙන් රැඳී සිටින අන්දම දැක ගත හැකිය. රටපුරා රුපියල් 5000 බෙදාදීමේ වැඩසටහන තුළද මෙම තත්ත්වය දක්නට තිබිණ. ඉන් කියැවෙන්නේ කොරෝනා වෛරසයට හසු නොවී තම තමන්ගේ දෛනික කටයුතු කරගන්නට ජනතාව හුරුවෙමින් සිටින බවකි.

ඉතින් එසේ නම් තවත් සති හයකින් මහ මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු තත්ත්වයක් රටේ නැතැයි කියන්නේ කෙසේද? මැතිවරණය පවත්වන්නේ නම් එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන් සහිත විශේෂඥ කමිටු වාර්තාව මැතිවරණ කොමිසමට භාර දී තිබේ. මේ දක්වා අපට කොරෝනා වසංගතය මේ තරමින් හෝ පාලනය කර ගන්නට හැකිවී ඇත්තේ අපගේ සෞඛ්‍ය අංශ නියම කළ ආරක්ෂිත විධි හේතුවෙනි. එසේ නම් මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන විධි විධානයන් සම්බන්ධයෙන් විශ්වාස නොකිරීමට හේතුවක් තිබිය නොහැකිය.

මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධ පාර්ශ්වයන් කියන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ ජනතාව අනතුරේ හෙළමින් දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කරන බවය. එය සැබෑවක් නම් මැතිවරණය පැවැත්වීමට විරුද්ධ කණ්ඩායම්ද මේ අවස්ථාවේ කරමින් සිටින්නේ පවතින තත්ත්වයෙන් වාසි ලබා ගැනීමට උත්සාහ කිරීමකි. මැතිවරණය පැවැත්වීමට එරෙහිව ඔවුන් ගෙන යන තර්ක තමන්ගේ බැරිකම වසා ගැනීමට ගෙන එන තර්ක බව පෙනීයන නිසාය. තමන්ගේ බැරිකම පිළිනොගන්නා නටන්නට බැරි එකා කියන්නේම පොළොව ඇද බවය.