විශේෂාංග

චූන් පාන් ගහන්නේ බීතෝවන්ගේ සංගීත කණ්ඩයක්

ලොව බොහෝ රටවල වැසියන්ට මෙන් ලෝක ප්‍රකට සම්භාව්‍ය සංගීත රසයක් විඳීමට ශ්‍රී ලාංකීය අපට නිසි අවකාශයක් ලැබී නැතැයි සමහරෙක් දෙනෙක් සිතති. එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවන්නේ රස විඳීම කෙසේ වෙතත් ඇතැම් විට කන් කරච්චලයක් වන තරමට දැන් කලෙක සිට මෙතෙක් ලොව පහළ වූ විශිෂ්ටතම සංගීත කණ්ඩයක ඉලෙක්​ට්‍රොනික නාදයක් උදය සවස අපට ඇසෙමින් තිබෙන බැවිනි. එම සංගීත කණ්ඩය නම් දහ අට සහ දහ නවවන සියවස් අතර ජීවත් වූ ලොව විශිෂ්ටතම සංගීතඥයකු ලෙස සැලකෙන ජාතික ලුඩ්විග් වෑන් බීතෝවන්ගේ (For elise, එලිස් සඳහා) නම් වන වාද්‍ය කණ්ඩයේ මුල් කොටසයි.

ලොව පුරා සංගීතවේදීන්ගේ සංගීත රසිකයන්ගේ සේම සුවහසක් රසිකයන්ගේ දැඩි ආකර්ෂණය දිනා ගත් මෙම සංගීත රාවය දෙසවන් උතුරා යන තරමට උදය සවස ශ්‍රී ලාංකීය අපට අසන්නට ලැබෙනුයේ දැන් අප රටේ සෑම නගරයක් ගමක් පාසාම දිවෙන ‘චූන් පාන්’ යන අතිශය ජනප්‍රිය නමින් හැඳින්වෙන පාන් ඇතුළු තිරිඟු පිටි නිෂ්පාදන අලෙවි කෙරෙන සැහැල්ලු ට්‍රක් රථ සහ ත්‍රිරෝද රථ මගිනි. එම අලෙවි රථ හැඳින්වෙන නමට ‘චූන්’ යන නම ලැබී ඇත්තේ තාලය යන අරුත ගෙනෙන Tune යන ඉංග්‍රීසි වදන මුල් කරගනිමිනි. එහෙත් සංගීත රස වින්දනය පසෙක තිබියදී කන් පතුලටම කාවැදෙන තියුණු හඬකින් යුතු ඉලෙක්ට්‍රොනික නාදයක් මුල් කොට ගත් ප්‍රචාරක අඬහැරයක් ලෙස යොදා ගැනෙන මෙම ලෝක ප්‍රකට සංගීත Xණ්ඩය පිළිබඳ යටගියාව තවමත් මෙරට බොහෝ දෙනකු දන්නා බවක් නොහැඟේ.

1770 වසරේ ජර්මනියේ බොන් නගරයේ උපන් ලුඩ්විග් වෑන් බීතෝවන් විශ්ව ගාන්ධර්වයාගේ ළමා විය අතිශයින් දුක්ඛදායක වූ බව පැවැසෙයි. එහෙත් තම බේබදු පියා බලහත්කාරයෙන් වාදනයට යොමු කරවීම නිසා කුඩා කාලයේදී ලත් සංගීත පුහුණුව ඔහු තුළ පැවැති අසාමාන්‍ය ප්‍රතිභාවද සුසංයෝග වී පසුව මානව ඉතිහාසයේ එතෙක් කිසිවකුත් අත් නොවිඳි භාවමය අත්දැකීම් සම්භාරයක් සඳහා සංගීතය නම් වන විෂය පථය ගැඹුරු තලයක් දක්වා විහිදුවීමට තරුණ බීතෝවන්ට හැකියාව ලැබිණ. එහෙත් ඒ සමගම ඔහු දෛවයේ කුරිරු සරදමකට ලක්වනුයේ වයස අවුරුදු විසිහයේදී ඔහු මුහුණ දුන් කන් නොඇසී යාමේ රෝගයක් නිසාය. එය වර්ධනය වීමෙන් වයස අවුරුදු හතළිහේ දශකයේදී බීතෝවන් මුළුමනින්ම ශ්‍රව්‍යාබාධිතයකු බවට පත්ව තිබේ.

එහෙත් තමන්ගේ මනැසේ ව්‍යුහගත වී ඇති අතිශය පුළුල් සංගීත ඥානයත් සංගීත භාණ්ඩයන්හි ස්වර පද්ධතියත් පිළිබඳව තිබූ අත්දැකීම් එකතුවක් උපයෝගී කරගත් මෙම ශ්‍රව්‍යාබාධිත මහා සංගීතවේදියා ඉන්පසුව ලොව විස්මයට පත් කරවන සංගීත නිර්මාණ රැසක් බිහි කොට ඇත. මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම සංගීත ස්වර රචනයක් වූ වත්මන් යුරෝපා සංගමයේ නිල ගීතය සඳහා යොදාගෙන ඇත්තේ බීතෝවන් මුළුමනින්ම ශ්‍රව්‍යාබාධිත වීමෙන් පසුව ඉදිරිපත් කරන ලද ලෝක ප්‍රකට නව වන සංධ්වනියේ එන ස්වර රචනයයි.

රටේ ‘චූන් පාන්’ වෑන් සහ ත්‍රිරෝද රථ මගින් අපේ නිවෙස් අද්දරටම ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ‘නොමිලයේම ගෙන එන’ Fur elise නම් ලෝක ප්‍රකට සංගීත ඛණ්ඩයේ පසුබිම් කතාව පිළිබඳව පවසන බොහෝ දෙනකු තුළ පවතින පොදු මතයක් තිබේ. එනම් මෙම සංගීත කණ්ඩය ඔහු තිස් හැවිරිදිව සිටියදී තමන්ගේ ආදරය දිනූ එලිස් නම් යුවතියක් වෙනුවෙන් නිර්මාණය කරන ලද බවය. එහි වසර 1800 යනුවෙන්ද සඳහන්ය. සැබැවින්ම එම කතා පුවත එම සංගීත රාවයද සමග චූන් පාන්කරුවන් අප වෙතට ගෙන එන පාන්, බනිස්, මාළු පාන්, රෝල්ස් ආදියේ රසයට වඩා රසයක්-මිහිරක් ලබා දෙන්නක් විය හැකි බැවින් එයද මෙහි සටහන් කරමු.

බීතෝවන්ගේ සංගීත දිවිය පිළිබඳව විමර්ශනය කළ අධ්‍යයනය කළ විචාරකයන් ඉහත සඳහන් සංගීත කණ්ඩයේ එන ‘එල්ස්’ කවුරුන්ද බීතෝවන් කුමන හේතුවක් මත ඇය උදෙසා එවන් සංගීතයක් නිර්මාණය කරන ලද්දේද යන්න පිළිබඳව විමසුම් කොට තිබේ. එමෙන්ම ඒ සම්බන්ධ විවිධ තොරතුරුද අනාවරණය වී තිබේ.

සමකාලීන බටහිර සමාජයේ ප්‍රභූ පැලැන්තියේ යුවතියක විසින් දැක්විය යුතු සමත්කම් අතරට පියානෝ වාදනයද අනිවාර්ය වශයෙන්ම ඇතුළත් විය. ඒ අනුව තරුණ බීතෝවන්ට එවන් වංශවත් පවුල්වල දියණියන්ට පියානෝ වාදනය ඉගැන්වීමේ අවස්ථාව හිමි විය. හංගේරියානු සම්භවයකින් යුතු වංශවත් යුවතියක වූ ජොසපින් බෲන්ස්වික් එලෙස බීතෝවන් වෙතින් පියානෝ වාදනය ප්‍රගුණ කළ තරුණියක වූ අතර ඇය හා බීතෝවන් අතරේද ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගී තිබිණ. එහෙත් එවක සමාජයේ දැඩි ලෙස ක්‍රියාත්මක වූ පන්ති පරතරය අනුව ඇය බීතෝවන් වැනි කිසිදු සමාජමය වැදගත්කමක් නොමැති පරපුරක තරුණයකුට විවාහ කර දීමට ජොසපින්ගේ දෙමාපියන් දැඩි ලෙස අකමැති වූ බව පැවැසෙයි. එනිසාම ඔවුන් විසින් ඇය ජෝශප් කවුන්ට් ඩේම් නම් ජොසපින්ට වඩා සැලකිය යුතු වයස් පරතරයක් ඇති වංශවතකුට විවාහ කර දෙන ලදී.

නමුදු ඉන්පසුද ජොසපින් හා බීතෝවන් අතර සමීප සම්බන්ධය පැවැති බවත් ජොසපින් දරු තිදෙනකු ලැබ සිව්වැනි දරුවා ප්‍රසූත කිරීමට සැරසී සිටියදී ඇගේ සැමියා නියුමෝනියාව වැලඳී මියගිය බවත් සඳහන්ය. ඇතැම් විචාරකයන් පවසන අන්දමට බීතෝවන්ගේ ජීවිතය හා වැඩීම සමීපත්වයක් දක්වන ලද කාන්තාව ජොසපින් වන අතර මෙම සංගීත ඛණ්ඩයට සම්බන්ධ එලිස් ඇය වීමටද හැකි බව ඔව්හු අනුමාන කරති. සැමියාගේ මරණයෙන් පසුවද ජොසපින් බීතෝවන් ඇසුර දිගටම පැවැති මුත් ඇය ඔහු හා විවාහ නොවීමද සුවිශේෂ සිද්ධියකි. කෙසේ හෝ තම ජීවිතයේ මැදි වයසේදී ඇති වූ ශ්‍රව්‍යාබාධිත තත්ත්වය මත දැඩි මානසික පසුබෑමකට පත්ව සිටි බීතෝවන් කලක් සමාජයට මුහුණ නොදී හුදකලාවේම සංගීත කටයුතුවල යෙදුණු අතර අධික ලෙස මත්පැන් පානයටද යොමුව සිටි බව පැවැසෙයි.

නමුදු ඔහු සතු අසම-සම සංගීත හැකියාව පිළිබඳව දැන සිටි සමාජය ඔහු නැවත බලහත්කාරයෙන් මෙන් සංගීත කරළියට කැඳවන ලද අතර ඔස්ට්‍රියාවේ වියානා නුවරදී එළිදක්වන ලද ඔහුගේ නව වන සංධ්වනිය එහි සුවිශිෂ්ට ප්‍රතිඵලය බව කියනු ලැබේ.
ලෝකයා විස්මයට පත් කරවන සුළු තමන්ගේ එම නිර්මාණය තමන්ට මනැසින් මිස සවනින් රස විඳීමට ඇති නොහැකියාවෙන් දැඩි චිත්ත පීඩාවට පත් ඔහු වරෙක දිවි නසා ගැනීමට පවා තැත් කොට ඇත. ඒ අනුව ඔහුගේ මෙම නිර්මාණයට පසුබිම් වන එලිස් බීතෝවන්ට සිය ජීවිතයේ තරුණ කාලයේදී මුණ ගැසුණු කාන්තාවක විය යුතුය.

නමුදු බීතෝවන්ගේ ජීවිතය පිළිබඳ විමර්ශනය කරන විචාරකයෝ තෙරේස් මල්ෆට්ටි, එලිසබෙත් රොකල් සහ එලිස් බර්ජන්ස්ෆෙල්ඩ් යන කතුන් අතරින් කෙනෙකු ඔහුගේ මෙම සංගීත රචනයට පදනම් වන එලිස් විය යුතු යැයි කියති. එහෙත් අප රටේ චූන් පාන් අලෙවි අඬහැරයට පදනම් වන එම ලෝක පූජිත ස්වර රචනයේ එන ‘එලිස්’ ගේ සැබෑ අනන්‍යතාව මේ දක්වා නිශ්චය කරගැනීමට නොහැකිව තිබේ.‍ කෙසේ නමුදු බීතෝවන්ගේ ජීවිත කාලය තුළ භාවිත කළ වගක් පිළිබඳව සඳහනක් නොමැති මෙම ස්වර ප්‍රස්ථාරය මුල් වරට සමාජ ගත කොට ඇත්තේ බීතෝවන්ගේ මරණයෙන් පසු වසර හතළිහකට පසු එනම් 1867 දීය. ඒ ඔහුගේ සංගීත දිවිය පිළිබඳ විධිමත් විමර්ශනයක් කළ ලුඩ්විග් නොල් නම් සංගීතඥයා විසිනි. නමුදු එම ස්වර රචනයෙහි බීතෝවන්ගේ අත්සනක් නොතිබීම මත එය ඔහුගේම නිර්මාණයක් බව ශාස්ත්‍රීය වශයෙන් පිළිගත නොහැකි බවටද මතයක් පවතී.

ඒ කෙසේ හෝ බීතෝවන් තරුණ වයසේදී එලිස් නම් වංශවත් යුවතියකට පියානෝව හුරු කළ බවත් එහිදී ඇය හා සමීප වීමට වැඩි කාලයක් හා අවකාශයක් ලබාගැනීමේ උපාය මාර්ගයක් ලෙස ඇයව පුහුණු කිරීම පිණිස තරමක් සංකීර්ණ ස්වර රචනයක් තනා එහි ‘එලිස් සඳහා’ යනුවෙන් පෞද්ගලික සටහනක් තබා ඔහු එය තමන් සන්තකයේ තබා ගන්නට ඇතැයි යන මතයක්ද පවතී. සැබැවින්ම අප රටේ චූන් පාන් විකිණීමට යෙදෙන මුල් කොටස හැරුණු කොට එහි ඉතිරි කොටසේ තරමක සංකීර්ණ බවක් තිබේ.

ඔස්ට්‍රේලියාවේ SBS (Special Broadcasting Service) මාධ්‍ය ජාලයේ නිල වෙබ් අඩවිය වන sbs.com.au මගින්ද පසුගිය කාලයේ අප රටේ ව්‍යාප්ත වූ මෙම චූන් පාන් රථ පිළිබඳ මනරම් විස්තරයක් කොට තිබිණ. එහිදී ඔවුන් එම ව්‍යාපාරය චූන් පාන් (Choon Paan) යනුවෙන් අප රටේදී හැඳින්වෙන බව සඳහන් කොට තිබුණේ ඒවායේ නාදය ලෙස බීතෝවන්ගේ Fur elise ස්වර රචනයද යොදා ගන්නා බවක් සඳහන් කරමිනි.

ලෝකයේ බොහෝ රටවල සුභාවිතයන් අව භාවිතයන් වශයෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වන අප ලෝක වාර්තාවක් තැබීමට සුදුසු මට්ටමක හිඳින බව ඇතැම් විට ඔබ පිළි නොගැනීමටද පුළුවන.

එහෙත් ලෝක ප්‍රකට සංගීතඥ බිතෝවන්ගේ මෙම සංගීත කණ්ඩය චූන් පාන් අලෙවිය සඳහා යොදාගනු ලබන කන්කරච්චලයක් ලෙස භාවිත කිරීම ඒ සඳහා වන එක් නිදසුනක් සේ මම දකිමි. එනිසාම ශබ්ද දූෂණය සඳහා පවා ඉවහල් වන මෙම චූන් පාන් අඬහැරය අවම කරවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව තිබිණ.

එමෙන්ම අවමඟුල් නිවෙස් ඉදිරිපිටදී මෙම ‘චූන් පාන්’ කන් කරච්චලය අවම නොකිරීම හේතුවෙන් එම පවුලට සම්බන්ධ ඥාති මිත්‍රාදීන් විසින් මෙම රථවල වෙළෙඳුන් හා බහින්බස්වීම් ඇතිකර ගත් හා ඒවාට පහර දුන් අවස්ථා කිහිපයක්ද පිළිබඳවද පසුගිය කාලයේ වාර්තා විය. ජීවිතයේ මැදි වයසේදී ශ්‍රව්‍යාබාධිත තත්ත්වයකට පත්වීම නිසා මෙම ලෝක පූජිත සංගීතඥයා පනස් හත් වසරකට සීමා වූ තම ජීවිතයේ අවසන් කාලය මහත් සිත් තැවුලින් ගෙවූ බව තහවුරු වී ඇත.

නමුදු යම් හෙයකින් ඔහු අද වන විටත් ජීවත්ව සිටියේ නම් ​ලොව කිනම් හෝ රටකදී තම ස්වර රචනයක් මෙලෙස හෑල්ලුවට, බාල්දුවට ලක්වන බව ඇසීමට සිදු වීමට වඩා තම ‘බිහිරි බව’ වාසනාවකැයි සිතනු ඇත.

තිලක් සේනාසිංහ