කතුවැකි

චීන මකරා අවදිවෙයි!

චීනය නිදාගෙන ඉන්නා යෝධයෙකි. ඔහු කූද්දා ගත්තොත් ලොව හෙල්ලුම් කාවි යැයි හිරු නොබසින අධිරාජ්‍යය සමග යුද වැදී සිටි නැපෝලියන් බොනපාට් වරෙක කීවේය. දැන් චීනය ලොව හෙල්ලුම් කවමින් සැලුම් වෙව්ලුම් ගන්වමින් සිටී. ඒ කොරෝනා වෛරසය හෙවත් චීන උණ හෙම්බිරිස්සාවෙනි. චීන කෑමෙන්, සෙල්ලම් බඩුවෙන් ලොව තිබෙන සියලුම කාර්මික තාක්ෂණ මෙවලම් නිපදවා ලෝක වෙළෙඳාම් භූමිය උලාකමින් සිටි චීන මකරා එළියට පැන්නේ දැන්ය. ලොව සියලුම ගුවන් තොටුපොළවල්, දැන් මුඛවාඩම් බැඳගෙනය.

තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා එකවර චීනෙට ගොඩ බැස්සොත් එක දෙවියෙක් අල්ලා ගන්නට චීන්නු තිදෙනෙක් ඉදිරියට පනිනවා යැයි චීන ජනහගනයේ තරම විස්තර කරන අවස්ථාවක ජේ. ආර්. පී. සූරියප්පෙරුම කීවේය. ඒ වූ චීනයේ අවශ්‍යතාද සුළු පටු නොවේ. චීනෙකුට උදේට කෑමට එක කඩල ඇටය බැගින් දුන්නොත් සිරිපාදේ කන්ද තරම් උස කඩල ගොඩක් තම්බන්නට ඕනෑය. ඒ වූ චීනයටම මුඛ වාඩම් දාන්නද? ඒ සඳහා යන රෙදි කන්ද ද එබඳුම වනු ඇත.

ඒ වූ චීනය කොරෝනා වෛරසය චීනයේම නතර කර ගන්නට ලොව විස්මයට පත් කෙරෙන වැඩක යෙදී සිටී.

චීනයට පිටස්තර එඬේර ගෝත්‍ර ගලා ඒම නතර කිරීමටත්, ආක්‍රමණවලින් ආරක්ෂා වීමටත් කිලෝ මීටර් 1500 ක් දිගට චීන මහා ප්‍රාකාරය බැන්දෝය. සඳ ගමනේ නිරත සඳගාමීන්ද අවසානයට දුටු මිනිස් නිර්මාණය චීනුන් බැඳි චීන ප්‍රාකාරයය. කොරෝනා වෛරසය පාලනය කරන්නටද දැන් චීන්නු ඒ සා මහත් වික්‍රමයක යෙදී සිටිති. චීන්නු ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ අකුණු සැරයක වේගයෙනි. මහ නගර වසා දමති. දින හතකදී දැවැන්ත රෝහල් සංකීර්ණ ඉදිකරති. ඒවා සමාන වන්නේ චීන මහා ප්‍රාකාරය බැඳීමටය.

මේ කොරෝනා වෛරසය ගැන ආරංචි වූ සැණින් ලාංකිකයන් හැසිරුණේ කවදාවත් මැරෙන්නේ නැති උන් ගාණටය. චීන කඩේ ඉදිරියෙන් යන විට පාරේ අනෙක් පැත්තෙන් යාමට වග බලා ගනිති. චීනෙකු බස් එකට නැග්ගොත් ලාංකිකයෝ බසයෙන් බසිති. මුහුණුපොතේ ඉන්නා දේශප්‍රේමීන් කියන හැටියට චීනා පන්නන්නට ඕනෑය. උපන් රටේම දරුවකු පාසලේදී ක්ලාන්ත වූ විට ළං වෙන්නට ගුරුවරු ඉදිරිපත් නොවෙති. ෆාමසිවල තිබෙන මුඛවාඩම් තොග අවසන් කළෝය. මේ මුඛවාඩම්වලට වුවමනා අමු ද්‍රව්‍ය ගෙනෙන්නේ චීනෙන් බව දැන ගත්තේ ඒවා හමාර වූ විටය.

මෙබඳු අනියත බියකට ජාතිය නතු වූයේ කෙසේද? අම්මලා දරුවන්ට දණගාන්නට ඉඩ දෙන්නේ විෂබීජ හරණය කළ මහ පොළොවේය. තෙත මහ පොළොව නිරුවත් දෙපයින් පෑගුවහොත් පොළොවේ ඉන්නා සියලු පණුවන්, විෂ සතුන් දෙපයින් ඇතුළු වී හදවතේ ලේ උරා බොන බව බාල වියේදීම දරුවන්ට උගන්වයි. කුරුලු කොබෙයියකුගේ හොට වැදුන පලතුර බුදින දරුවාට කුරුලු උණ වැලඳේ. වැස්සට තෙමීමෙන් හිරිකඩ වැදීමෙනුත් දරුවා දියව යාමට ඉඩ තිබෙන සබන් පෙණ බෝලයකි. ලොව ජීවය ඇති කළ හිරු එළියේ ඇවිද්දොත් පාරජම්බුල කිරණය ඇඟ වැදී නාඳුනන ලෙඩ ඇති වෙයි. ඉදින් මාගේ පරපුර ස්වභාව ධර්මයට බය නොවී පුළුවන්ද?

මේ හැසිරීම එක් අතෙකින් පුදුම විය යුතු දෙයක් නොවේ. සෙනසුරු මාරුව සිද්ධ වෙන විට විදේශගත වී සිටි ලාංකිකයෝ අපට සිටිති. 2012.12.12 ලෝක විනාශය වෙන බවට කී අනාවැකියක් නිසා ඒ කාලයේ ඇමෙරිකාවේ පදිංචියට ගිය ධනපති අප සතුය. සිංහල අවුරුද්ද කියන්නේ කෝණ මාසය ය. ඒ කාලයේ අපල නිසා විදේශ සංචාරයේ යෙදුණ නායිකාවකගෙන් අපි පාලනය වූයෙමු.

අනුරාධපුර රාජධානිය වැටීමට එක හේතුවක් වූයේ මැලේරියාව බව ඉතිහාසගතය. මැලේරියාවෙන්, හතර කෝරළේ දහස් ගණනින් මියගිය බව ඉතිහාසය දනී. සුනාමියෙන් එක පැය භාගයෙන් 40,000 මුහුදට ගසාගෙන ගියේය. ලොව සුපිරිම රෝහල් හැදූ ඇත්තෝද මළ බව තේරුම්ගත යුතුය. චීනා නගින බසයට නගින්නේ නැති ඇත්තෝ ග්‍රාහකයක් වැදී පෘථිවිය මොහොතකින් සුන්නද්ධූලි වන බව විද්‍යාඥයන් කියා ඇති බව වටහාගත යුතුය. එබැවින් දැන් එබඳු ඇත්තෝ කළ යුතු වන්නේ වහ වහා මේ පෘථිවි ගෝලයෙන් ඉවත් වීමය.