විශේෂාංග

චිත්‍රපට හෝල් කීයක් තියෙනවද කියලා චිත්‍රපට සංස්ථාව දන්නෙ නෑ

මෙලෙස දේශීය කලා ක්ෂේත්‍රය, සිනමාව, රූපවාහිනිය, වේදිකාව පත්ව ඇති ශෝචනීය තත්ත්වය පිළිබඳ සුවිශේෂ වැඩපිළිවෙළක් කෙටුම්පත් කර තිබේ ද? ඒවායේ අද පවතින කනගාටුදායක තත්ත්වයට හේතු කාරණා රාශියක් තිබේ. ඒ පිළිබඳ මේ දක්වා පත්වුණු රජයන්ගේ අවධානය ලැබීම හෝ නොලැබීම එකී පත්වුණු රජයයන් සහ මෙහි තනතුරුවලට පත්වූ දේශපාලකයන්ගේ මෙම ක්ෂේත්‍රය පිළිබඳ තිබෙන අවබෝධය හෝ අනවබෝධය, එලෙසම විවිධ තීරණ මත විවිධ කාලවල සේවය කළ නිලධාරීන්ගේ ආකල්ප, උනන්දුව, අවශ්‍යතාව, අඩු වැඩි වීම යනාදිය සලකා බැලීම සුදුසු යැයි මට සිතෙනවා.

කලා ක්ෂේත්‍ර සියල්ලම කෙසේ වෙතත්, මා නියෝජනය වන සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි මස අග සතියේ (මට මතක විදිහට මෙය ජුනි මස 26වැනි සිකුරාදා විය යුතුයි) පවත්වන ලද සාකච්ඡාව සඳහා එතුමාගෙත් අපගෙත් අවධානය යොමු කිරීමට කැමතියි. කොරෝනා වසංගතයෙන් මුළු ලොවම බැට කන අවස්ථාවේදී එයට සාර්ථක අන්දමට මුහුණ දුන් රටක් ලෙස, ඉදිරියටත් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්නේ කෙලෙසද? එය සිනමාවේ විවිධ අංශ සහ ක්ෂේත්‍ර සඳහා බලපාන්නේ කෙලෙසද? යන්න පිළිබඳ කතාබහ කෙරුණා.

මෙකී සහනවලින් බොහොමයක් 2015ට ප්‍රථම, මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ සමයේ අප ක්ෂේත්‍රය ලබාගත් වරප්‍රසාදයි. ඒවා අප විසින් නැවත ඉල්ලනු ලැබුවා. එය ලබා දීමේ අවශ්‍යතාවක් අගමැතිතුමාට තිබූ නමුදු රට මුහුණ පා තිබෙන ආර්ථික පසුබෑම යටතේ ඒ මොහොතේ එය ඉටුකිරීමේ ඇති අසීරුතාව එතුමා පෙන්වා දුන්නා. නමුත් අපගේ ඉල්ලීම් බලවත් වූ බැවින් ඊළඟ අයවැයෙන් එය ඉටු කර දීමට යම් උත්සාහයක් දැරීමට අගමැති ලේකම් ගාමිණී සෙනරත් වෙත අප ඉදිරියේ ම උපදෙස් දුන්නා. දැන් එකී කාල සීමාව එළඹ තිබෙනවා.

විශේෂයෙන් අප විසින් ඉල්ලන ලද, චිත්‍රපට නිපදවීමේදී කරනු ලබන ආයෝජනවලට බදු සහනත්, සිනමා කර්මාන්තය සඳහා බැංකු ණයත් එතුමා විසින්ම අප වෙත ලබා දී තිබූ වෙනත් මූල්‍යමය සහනයන් නැවත ලබා ගැනීමට අප එදා කළ යෝජනා අද ද මතක් කරනවා.

එමෙන්ම ජනක තෙන්නකෝන් ඇමතිවරයාත් සිනමාවේම නියෝජනයක් වූ සරත් වීරසේකර රාජ්‍ය ඇමැතිවරයාත් විනෝද බද්ද පිළිබඳ අප විසින් කරන ලද යෝජනා සලකා බලනු ඇතැයි මා විශ්වාස කරනවා.

සිනමා ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කළ යුතු අණපනත් යටතේ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත්තේ රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනතයි. (1971 අංක 41) නමුත් මෙම පනත නිසියාකාරව ක්‍රියාත්මක වූයේ අප රටේ සංවෘත ආර්ථික ක්‍රමයක් සහ රජයට පූර්ණ බලතල හිමි යුගයකදීයි. අද ඇත්තේ එවැනි ආර්ථික ක්‍රමයක් නොවේ. මේ තත්ත්වය මා පෙන්වා දීම අවශ්‍ය නෑ.

71 රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත 1980 දී ජාතික චිත්‍රපට සංස්ථා පනත බවට පරිවර්තනය වුණා. එකී පරිවර්තනයෙන් පසු අද දක්වා විවිධ අණපනත්, නිතී රෙගුලාසි, චක්‍රලේඛ, සුවිශේෂී කමිටු, නිර්දේශ වාර්තා නිකුත් වී තිබුණත් යුගයට සරිලන, ආර්ථික ප්‍රතිපත්තියට සරිලන විදේශ ප්‍රතිපත්තියට සහ වර්තමානයේ යාවත්කාලීන බව අවබෝධ කරගත් ප්‍රතිපත්තියක් නම් අපට ලැබීනෑ.

එයට විවිධ හේතු කාරක රාශියක් තිබෙනවා. එකී හේතුකාරක අවබෝධ කර ගැනීම මෙන්ම වර්තමාන රජයේ ප්‍රතිපත්තියත් අවබෝධ කර ගතහොත් මේ දක්වා තිබුණු ඇඳුමට හරියන ශරීරය වෙනුවට, ශරීරයට සරිලන ඇඳුමක් සාදා ගැනීමට හැකි වෙතැයි මට හිතෙනවා.

කෙටිකාලීන වැඩපිළිවෙළක් යෝජනා කරන අතරතුර, දීර්ඝ කාලීන ප්‍රතිපත්තියක් සකස් කිරීම වැදගත් වන්නේ අප පරම්පරාවට වඩා ඊළඟ පරම්පරාවටයි. ජ්‍යෙෂ්ඨයන් ලෙස අප සෑම විටම එකී පරම්පරාව ගැන සුබවාදීව සිතීමෙන් එය ඔවුන්ට පමණක් නොව අප කර්මාන්තයටත්, පොදුවේ අප රටටත් වාසිදායක ගුණවත්, හරවත් තත්ත්වයක් ඇති කරන බව මාගේ පෞද්ගලික මතයයි. නමුත් ඒ සඳහා ජනාධිපති හා අගමැතිගේ ආශිර්වාදය සහ උපදෙස් යටතේ සුදුසු දේශපාලඥයන්ගෙන් සහ පළපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක අවශ්‍යතාව වැදගත් වෙනවා.

රටට, දේශීය කලාවට, ශ්‍රී ලාංකික අනන්‍යතාවට භක්තියක් මෙන්ම ඇල්මක් ඇති පිරිසක් ද ගෝලීය ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ විදේශ සම්බන්ධතා පිළිබඳ නිවැරැදි විපරමක් කළ හැකි පිරිසක් ද, නවීන තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ඇත්තෝ දේශීය කලාව යනු සියලු ජාතීන්, ආගම් කුලවල නියෝජනයක් යැයි සිතන පතන පිරිසකගෙන් මෙම කමිටුව සමන්විත විය යුතු යැයි විශ්වාස කරනවා.

සංස්කෘතික ඇමැති වන අග්‍රමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සැකසෙන මේ කමිටුවට ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක, ගෙවිඳු කුමාරතුංග, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, අජිත් නිවාඩ්, බුද්ධික පතිරණ, එස්.එම්.මරික්කාර්, නිරෝෂන් පෙරේරා, මනෝ ගනේශන්, විජේදාස රාජපක්ෂ, පියල් නිශාන්ත‍, විජිත හේරත් වැනි පාර්ලිමේන්තු නියෝජනයක් ඒ සඳහා සුදුසු යැයි මා යෝජනා කරනවා. නමුත් මෙම කමිටුවේ සිටිය යුතුම තැනැත්තෙක් ලෙස අධිකරණ ඇමැති අලි සබ්රි ද යෝජනා කරනවා. ඒ නම මා යෝජනා කරනුයේ වර්තමානයේ චිත්‍රපට කර්මාන්තයේ නීතිමය තත්ත්වය ප්‍රශ්නාර්ථයක් බැවින් ඒ පිළිබඳ නීතිමය ගැටලු විසඳා ගැනීමටයි.

කෙසේ නමුදු මා කලින් සඳහන් කළ රැස්වීමේදී අගමැතිතුමා “දැනට සිනමා ශාලා කීයක් තිබේ දැයි” ඇසූ පැනයට ක්ෂේත්‍රයේ පිරිස් උත්තර ලෙස විවිධ ඉලක්කම් කිව්වා. චිත්‍රපට සංස්ථා නියෝජිතයන්ද එකිනෙකට පරස්පර සංඛ්‍යාවන් ඉදිරිපත් කළා. මා සිතන විදිහට එතැන සිටි සෞඛ්‍ය අංශය නියෝජනය, අප කෙරෙහි විමතියෙන් බැලුවේ කොරෝනාවට වඩා වෙනත් භයානක ලෙඩක් චිත්‍රපට කර්මාන්තය තුළ ව්‍යාප්තව ඇති දැයි සිතා විය යුතුයි.

මෙකී රෝගය අප කර්මාන්තයට වැලඳුණේ අද ඊයේ නොවේ. මේ වැලඳීම නිසාම ඉතා ගෞරවනීය දේශපාලනඥයන්, ගෞරවනීය සභාපතිවරුන් ඇනගත් අවස්ථා, නා ගත් අවස්ථා එමටයි. මා ඒ පිළිබඳ මෙහි සඳහන් නොකරනුයේ, මා විසින් කරනු ලබන සත්‍ය ප්‍රකාශය ද්වේශ සහගත, වෛරී චෝදනාවක් ලෙසට අර්ථ දක්වන්නන් ද විරල නොවන බැවිනි. අගමැතිවරයා ඇසූ පැනයට අප දුන් උත්තරවලින් එතුමාගේ ස්වරූපය මඳකට වෙනස් වුණා.

මා අසල වාඩි වී සිටි චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මහාචාර්ය ධම්මික දිසානායකගෙන් මා ඇසුවේ, ඔයගොල්ලෝ මීට වඩා ලෑස්තිවෙලා එන්න ඕන නේද?” “මට ආරාධනාව ආවේ අද උදේ” ඔහු පැවසුවා.

කොරෝනාවෙන් ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් තදබල ලෙස බැටකන අවස්ථාවේදී ම ඔවුන්ගේ සිනමා නිර්මාණ රජයේ ආරක්ෂක සහ සෞඛ්‍ය නීති රෙගුලාසිවලට යටත්ව, කිසිම අවස්ථාවක එම නිතී උල්ලංඝනය නොකරමින් අප රට තුළ දර්ශනගත කිරීමට යම් මුලපිරීමක් ඉදිරියේදි හෝ කිරීමේ හැකියාවක්, අවස්ථාවක් තිබේදැයි මා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් පසුව විමසා සිටියා. ඒ පිළිබඳ ඉතා පරිස්සමින් වැඩ කටයුතු කළයුතු යැයි පැවසූ අගමැති ලේකම් ගාමිණි සෙනරත් මහතා එතුමාගේ නිලධාරියෙකු වන ඇන්ටන් පෙරේරා මහතාට ඉදිරි කටයුතු කිරීමට උපදෙස් දුන්නා.

මා මේ කරුණ මෙලෙස සඳහන් කරනුයේ විශේෂ හේතුවක් නිසායි. ඒ මොහොත වනවිටත් බොම්බායේ සුවිශේෂ නිෂ්පාදන කණ්ඩායමක් ලංකාවට පැමිණීමට සූදානම්ව සිටියා. එහි සම්බන්ධීකරණ කටයුතු කළේ යසස් රත්නායක නමැති තරුණ ව්‍යවසායකයායි. නමුත් වර්තමාන තත්ත්වය තාමත් සුබදායක නොවූ නිසා මෙම අවස්ථාව අහිමිවුණා.

ඉදිරියේදී එවැනි අවස්ථාවක් සඳහා කටයුතු කළ යුතු අන්දම දැනගැනීමට යසස් තරුණ මහතා සමග මා ප්‍රසන්න රණතුංග සංචාරක ඇමැතිවරයා​ හමුවුණා. එතුමා අපව සංචාරක මණ්ඩලයේ වර්තමාන සභාපතිනිය වන කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය වෙත යොමු කළා. එතුමිය ඒ වනවිටත් තම නිලධාරී මහත්ම මහත්මීන් සමග එකී කටයුත්තේ යෙදී සිටින බව මා දුටුවා. අගය කළ යුතු දේ අගය කිරීමට මා කිසි විටෙකත් පසුබට වෙන්නෙ නෑ. මෙම ක්‍රියාවලියම මීට ප්‍රථමද ක්‍රියාත්මක කිරීමට සංචාරක මණ්ඩලයේ විවිධ වගකිව යුත්තන් යටතේ කරන්නට උත්සාහ දැරුවත්, විවිධ හේතු මත එය අතර මගදීම ඇනහිටියා.

මෙය සංචාරක මණ්ඩලයට තනිවම කළ හැකි කාර්යාවලියක් නොවේ. ඒ සඳහා ආයතන රාශියක පූර්ණ සහය සහ අනුග්‍රහය අවශ්‍ය වෙනවා. එහි විශාල කාර්යභාරයක් ජාතික චිත්‍රපට සංස්ථාවට ද තිබෙනවා. මෙවැනි හොඳ දේකට ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහය ලබා දීමට වර්තමාන සභාපතිතුමා වන ජයන්ත ධර්මදාස මහතා කිසිම පැකිලීමක් නොමැති බව මගේ අත්දැකීමයි. අප කර්මාන්තයේ අනෙකුත් ක්ෂේත්‍රයන්ටද සංස්ථාවේ ලොකු කුඩා නිලධාරීන්ටද මේ සඳහා ධනාත්මක සිතිවිල්ලක් පහළ වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා.

මෙම කාර්යයන්හි ශ්‍රී ලංකාව ලබාගත් අතිමහත් ප්‍රචාරය දන්නෝ දනිති. ඒ පිළිබඳ film location service ,the film team ඇතුළු විවිධ ආයතන සහ පුද්ගලයන් අතීතයේදී කරන ලද සුවිශේෂී මෙහෙය වර්තමානයේ දී ද කරගෙන යෑමට සංචාරක මණ්ඩලයට සහ සභාපතිනියට තම සහාය පළකරනු ඇතැයි මා විශ්වාස කරනවා. මා මෙලෙස පවසන්නේ අන් කවර හේතුවක් නිසා වත් නොවේ, මෙම ක්‍රියාවලිය නිවැරැදිව කරමින් තම රටට ප්‍රසිද්ධිය මෙන්ම ධනය සහ සංචාරකයන් අඛණ්ඩව ලබා ගන්නා අනිකුත් රටවල් රාශියක්ම ඇති බව සංඛ්‍යා ලේඛන අනුව මා දන්නා බැවින්. මෙම ක්‍රියාවලියේ ඊට ප්‍රථම සිටි සංචාරක මණ්ඩලයේ සංචාරක විෂය හොඳින් දන්නා උසස් නිලධාරීන් විසින් කිරීමට උත්සාහ කළත්, එම ගමන දුරදිග ගියේ නෑ. ලොව කොරෝනා වෙන් පසුව ලෝකය අලුතෙන් පටන් ගන්නා මේ මොහොතේ දී අප කල්පනාකාරීව සහ ආරක්ෂාකාරීව ක්‍රියාත්මක වුවහොත් කොරෝනාවෙන් නැති වූ ආර්ථික වාසියෙන් යම් කුඩා ප්‍රතිශතයක් හෝ රටට ලබා ලබාගත හැකියි.