කතුවැකි

චාරයක් නැති වීරයා

පසුගිය දිනවල දුෂ්ටයා වූ රන්ජන් ගිය අඟහරුවාදා (21 වැනිදා) යළිත් වීරයාගේ චරිතයට ඇන්දේය. එදින පාර්ලිමේන්තුව අමතමින් ඔහු කළ ප්‍රකාශය දෙස කවුරුත් බලා සිටියේ ඇස් උඩ තබාගෙන, කට ඇරගෙනය. රන්ජන්ගේ කතාව ගැන මුහුණුපොතේ සටහන් තැබූ වැඩි දෙනකුගේ අදහස වූයේ රන්ජන් හැම දෙනාගේම රෙදි ගැලවූ බවය. රන්ජන්ට මගහැරුණු යමක් වී නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඒ අඩුව සම්පූර්ණ කළාය.

රන්ජන් හා හිරුණිකාගේ කතාවන්ට ආණ්ඩුවේ ප්‍රතිචාරයද වෙනදාට වඩා වෙනස් ස්වරූපයක් ගැනීම රන්ජන්ගේ වීරකම තහවුරු වීමට හේතුවක් විය. රන්ජන්, අගමැතිවරයාගේ සිට ආණ්ඩුවේ බොහෝ දෙනකුට චෝදනා කරමින් කතා කළත් ආණ්ඩුවේ කිසිවකු ඊට එරෙහිව අදහස් දැක්වූයේ නැත. වෙනදා නම් මෙවැනි කතාවක් කරන්නට සිදුවන්නේ ආණ්ඩු පක්ෂයේ බාධා මධ්‍යයේය. රන්ජන්ගේ කතාවට එවැනි බාධාවක් එල්ල නොවූයේ ඔහුගේ කතා කිරීමේ අයිතිය පිළිගත් නිසාද, නැතහොත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියූ අන්දමට ආණ්ඩුවේ අයද රන්ජන් සමග එකට ‘කුඩු’ කා ඇති නිසාදැයි දන්නේ නැත.

දැන් සියලු දෙනා කතා කරමින් සිටින්නේ දුරකථන සංවාද පටිගත කිරීම නිර්දෝෂී කරමින් රන්ජන් පාර්ලිමේන්තුවේ නැගූ ‘‘සිංහ නාදය’’ පිළිබඳවය. ඔහුගේ කතාව සිංහනාදයක් සේ පිළිගැනීම නිසා ඔහුගේ ක්‍රියාවේ යුතු අයුතු බව යටපත් වී ගොස් තිබේ. ඒ ගැන කතා කරන්නට අපගේද අදහසක් නැත. දුරකථන සංවාද පටිගත කිරීම මුල්කරගෙන නඩු කටයුත්තක් පැවැත්වීමට නියමිත බැවිනි.

රන්ජන් සිය පාර්ලිමේන්තු කතාවෙන් හතර අතට ගැහුවේ යැයි කියන අයට අමතක වූ කාරණා කීපයක් තිබේ. රන්ජන් පාර්ලිමේන්තුවේදී කතා කළේද, ඔහුම කියූ ආකාරයට තෝරා බේරාගත් හඬපට පමණක් එළියට එන්නා සේ තෝරා බේරාගෙනය. රන්ජන් සිය කතාවේදී ඇඟිල්ල දිගු කළේ ආණ්ඩු පක්ෂය දෙසට පමණය. නම් සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ පමණය. විපක්ෂය දෙසට ඔහුගේ ඇඟිල්ල දිගු වූයේ නැත. ඉන් කියැවෙන්නේ විපක්ෂයේ සියලු දෙනා සුදනන් බවද? එසේ නම් දැනටමත් මාධ්‍ය හරහා ප්‍රචාරය වී ඇති සියලු හඬපට සංස්කරණය කරන ලද ඒවාද?

රන්ජන් මෙන්ම හිරුණිකා ද පාර්ලිමේන්තුවේ පෙන්වන්නට උත්සාහ කළේ තම තමන්ගේ නිර්දෝෂී භාවයයි. තමන් දුරකථන සංවාද පටිගත කළේ මහජන සුබසිද්ධිය සඳහා බවය. මේ තුළින් ඔහු අවධාරණය කරන්නට උත්සාහ කළේ තමන් පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් වෙනස් අයකු බවය. එහෙත් අපට නම් පෙනෙන්නේ ඔහු ද පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් තවත් කෙනකු පමණක් බවය. අපට එසේ සිතෙන්නට හේතුවන එක් කාරණයක් නම් ඔහුද අනෙකුත් මන්ත්‍රීවරුන් මෙන්ම තීරු බදු රහිත වාහන බලපත්‍රය විකුණූ අයකු නිසාය.

ඇතැම් විටෙක රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඉතිරි 224 දෙනාටම වඩා පහත් අයකු යැයිද කිව හැකිය. ඔහු කාන්තාවකට බලහත්කාරකම් කරන්නට ගොස් චෝදනා ලැබූවෙකි. විවාහ කර ගන්නා බව පවසා කාන්තාවක රවටා මුදල් වංචා කිරීමේ චෝදනාවක්ද ඔහුට එරෙහිව නැගී තිබේ. නීතිය හමුවට ඉදිරිපත් නොවූ මෙවැනි චෝදනා තවත් කොපමණ තිබේදැයි අප දන්නේ නැත.

තවත් කෙනකු සමග පවත්වන දුරකථන සංවාදයක් ඔහුගේ දැනුවත්භාවයෙන් තොරව පටිගත කිරීම කුමන අන්දමකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි ශිෂ්ට සම්පන්න අයකු නොකරන පහත් ක්‍රියාවකි. ඒ ක්‍රියාව සාධාරණීයකරණය කිරීමට රන්ජන් රාමනායක ඉදිරිපත් කරන්නේ හොරු ඇල්ලීමට සාක්ෂි එකතු කිරීමට එසේ කළ බවය. හොරු ඇල්ලීම සඳහා නිල බලයක්ද නැති අයෙක් දුරකථන ඇමතුම් පටිගත කිරීම සාධාරණ නම් පාතාලය මර්දනය කිරීම සඳහා අපරාධකරුවන් නීත්‍යනුකූල නොවන ආකාරයට ඝාතනය කිරීමද සාධාරණ යැයි තර්කයක් ඉදිරිපත් විය හැකිය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කතාව නිසා මතුවන බරපතළ කාරණයක් තිබේ. කිසියම් චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඕනෑම මහජන නියෝජිතයකුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි විය හැකිය. එසේම පාර්ලිමේන්තු රැස්වීම්වලදී සිය අදහස් පළ කිරීමටත් අවස්ථාව තිබේ. එය මහජන නියෝජිතයන් ලෙස ඔවුන්ට හිමිවන වරප්‍රසාදයකි. සාමාන්‍ය පුද්ගලයන්ට බන්ධනාගාරගතව සිටියදී මහජන රැස්වීම් අමතන්නට අවස්ථාවක් නැත. වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට සහභාගි වීමට හෝ අවස්ථාව හිමි නොවූ බව අපට මතකය.

බන්ධනාගාරගතව සිටියත් රටේ ප්‍රතිපත්ති සම්පාදන කටයුත්තකට සහභාගි වීමට මහජන නියෝජිතයන්ට අවස්ථාව ඇතත් එහිදී තමන්ට එරෙහිව පවතින චෝදනාවකට විත්තිවාචකයන් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේද? නීතිය ඉදිරියේ අප හැම සමානයෝ නම් මාකඳුරේ මධුෂ් හෝ වෙලේ සුදා වැනි අයටද මේ අවස්ථාව හිමිවිය යුතු නොවේද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වරප්‍රසාදවලට මුවා වී සමාජයේ විවිධ පුද්ගලයන්ට චෝදනා කිරීම, අපහාස කිරීම, ඇතැම් විටෙක තර්ජනය කිරීම කලෙක සිට සිදුන්නකි. නමුත් ඔවුන්ගේ චෝදනාවන්ට ලක්වන අයට ඊට පිළිතුරු දෙන්නට අවස්ථාවක් නැත. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් මන්ත්‍රීවරුන් කියන ඕනෑම කතාවක් පළකරන මාධ්‍යවලටත් ඒ කතාවලට පිළිතුරු ලෙස කිසිවක් පළකරන්නට අවසරයක් නැත. රන්ජන් මෙන්ම හිරුණිකාද පසුගිය 21 දා පාර්ලිමේන්තුවේදී කළේ එවැනි දෙයකි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කතාව වඩාත් බරපතළ වන්නේ ඒ කතාව නඩු කටයුත්තක් හා සම්බන්ධ වීම නිසාය. නඩුවකට සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කිසිවකු අදහස් පළ කළහොත් ඊට විරෝධයක් මතු කිරීමට අවස්ථාව තිබේ. නමුත් ආණ්ඩුව ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත.

පෙරේදා (21 වැනිදා) පාර්ලිමේන්තුවේ පැවතියේ ධීවර හා ජලජ සම්පත් පනත පිළිබඳ විවාදයයි. එහෙත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කතා කළේ කුමක් ගැනද? ඕනෑම මන්ත්‍රීවරයකුට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් හිමි වෙතත් එසේ අවස්ථාව හිමිවන්නේ තමන් කළ වරදක් ගැන නිදහසට කරුණු කියන්නටද? මේ ප්‍රශ්න මතු කළ යුත්තේ අප නොව ආණ්ඩු පක්ෂයයි. එහෙත් ඔවුන් එසේ කළේ නැත.