Uncategorized

චන්දිමාගේ සෙනෙහසේ කතාව

 

හිතක රෝපණය විය හැකි භයානකම විෂබීජය අහේතුක සැකයයි. අහේතුක සැකය හිතෙන් අතුගා නොදැම්මහොත් එය ක්‍රමයෙන් හතර අතට බෝවී හදවතත් බුද්ධියත් බෙලහීන කොට අහස පොළොව නුහුලනා අපරාධත් සිදු කරන තැනට කෙනෙකු පත් වීමට ඇති ඉඩකඩ බොහෝය. හාලිඇළ චන්දිමාගේත්, ඇගේ පෙම්වතාගේත් ජීවිතවල ඉරණම වෙනස්වට ලියවුණේ සැකයේ විෂබීජය හිත ආක්‍රමණය කළ නිසාය. සොඳුරු සිහින දිගේ දිලෙන අනාගතයක අහස් මාළිගාව හැදූ චන්දිමාගේත් පෙම්වතාගේත් ජීවිත මහ දවල් ගිනිඅව්වේ සැකය විසින් ගිනි තැබුවේ දෙදෙනා බැඳි සෙනෙහසේ තරම නොදැනම නොවේ.

චන්දිමා ප්‍රියදර්ශනී චන්ද්‍රසේකර හාලිඇළ අරළුගස්හින්න, ජබුල්ලේ ජීවත්වූ 23 හැවිරිදි තරුණියකි. ඇයට සහෝදරියන් දෙදෙනකු වූ අතර ඇය පවුලේ බාලයා වූවාය. චන්දිමා කුඩා අවදියේ පටන් පියාගේ මව වූ ආච්චි අම්මා ළඟ හැදුණේ ඇගේ මව්පියන්ගේ ඈත්වීම නිසාය. ආච්චි අම්මාගේ ඇසුරේ චන්දිමා ජීවිතය හොඳින් ඉගෙන ගත්තේ අහල පහලවූ තාත්තාගේ නෑදෑයින්ගේද ඇසුර ලබමිනි. ඇයට කුඩාකල සිටම උවමනාව තිබුණේ හොඳින් ඉගෙන රැකියාවක් කර අනාගතය යහපත් කරගැනීමටයි.

ඌව කැටවල ග්ලාස්කෝවත්ත වූයේ චන්දිමාගේ නිවස ආසන්නයේය. තේ වත්තක් වූ එහි නානුඔය තරුණයෙකු ද ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස කටයුතු කළේය. බොහෝ තැන්පත් පෙනුමක් හිමි ක්ෂේත්‍ර නිලධාරි තරුණයාගේ හිත වයසින් වැඩෙන චන්දිමා පසු පස යන්නේ බෝගොඩ විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේය. එවකට චන්දිමාට වයස අවුරුදු දහනවයක් වූ අතර තරුණයාගේ වයස අවුරුදු විසිතුනක් විය. කියන්නට තරම් නරකක් නොදුටු ක්ෂේත්‍ර නිලධාරී තරුණයා හා චන්දිමා සම්බන්ධයක් ගොඩනගාගන්නේ ඔහුගේ ආදර ඇරයුම ඉවත දමන්නට ලෝබ වූ නිසාය.

රැකවරණය, ආදරය සෙනෙහස දෙන්නට අම්මෙක් තාත්තෙක් ළඟ නැති වුවද චන්දිමා ඉගෙනීම නිසියාකාරව කරගත්තාය. ඈ උසස්පෙළ විභාගයට ලියන වයස එද්දී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙහිම හොඳ හැකියාවක් පෙන්වුවාය. ඇගේ වාසනාවට උසස්පෙළ ලියා අවසන්වත්ම සමෘද්ධි බැංකුවේ රැකියාවක් ලැබුණි.

ඈ ගමේම රැකියාවක් කිරීම ගැන පෙම්වතා සතුටු වූ අතර එය නිතර ඈ දකින්නට , මුණගැසෙන්නට ද පහසුවක් විය. ඒ වනවිට චන්දිමාගේ ගෙදරින් මෙන්ම තරුණයාගේ ගෙදරින්ද මේ සම්බන්ධයට කැමැත්ත හා ආශිර්වාදය හිමිව තිබුණේය. ඒ නිසා ඔවුන්ගේ ආදරයට කිසිවකුගෙන්වත් බාධාවක් නොවූ අතර ප්‍රශ්න ගැටලු නැති ජීවිතයක් ඔවුහු ගෙවූහ.

චන්දිමාට පොලිස් සේවයට එක්වන්නට හිතෙන්නේ පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමක් ගැන තොරතුරු ලද නිසාය. පොලීසියට යන්නට ඇත්නම් ජීවිතය මීටත් වඩා යහපත්වන බව ඈ දැන සිටියාය. පොලීසිය යනු රජයේ ආයතනයක් නිසා විශ්‍රාම වැටුපකටද හිමිකම ලැබෙයි. එසේම මීට වඩා සමාජය දැකීමේ හැකියාවද ලැබෙයි. ඇය පොලිස් සේවයට යනවාට ගෙදරින් ද කැමති විය.

ඒ අනුව චන්දිමා පොලිස් සේවයට බැඳෙන්නේ 2017 වසරේ අප්‍රේල් මාසයේය. කුරුළු ජෝඩුවක් සේ සතුටෙන් ළං ළංව ජීවත් වූ චන්දිමාගේත් ක්ෂේත්‍ර නිලධාරි තරුණයාගේත් ප්‍රේමයට කණකොකා හඬන්නට ගන්නේ ඈ ගම අතැර දමා කළුතර කටුකුරුන්දේ වූ පොලිස් අභ්‍යාස විද්‍යාලයට ගිය පසුවය. නිතර කතා බහ කර , හමුවී දැක, ප්‍රේමයෙන් පසුවූ ඔවුන්ගේ ඈත්වීම චන්දිමා දුරකට යෑම තරුණයාට දරාගන්නට නොහැකි විය. දකින්නටත් නැති එකේ කතාව හෝ සැනසීමක් බව සිතූ තරුණයා හැම මොහොතකම බැලුවේ ඈ හා කතා කරන්නටයි. ඒත් ඔහු අවබෝධ කර නොගත් එක් දෙයක් තිබුණේය. ඒ පෙම්වතිය සිටින්නේ නීති රීති හා විනය ඉහළින්ම පවතින තැනක බවයි. විනය ඉහළින්ම පැවති තැනක් වූ එහි නීති රීතීන්ට අනුව ආධුනිකයන් හැටියට දවසේ හැම පැයම ඇයට දුරකතනය කන තබාගෙන සිටින්නට හැකියාවක් වූයේ නැත. ඔහු කෙතරම් ඇමතුම් දුන්න ද ඈ ඔහුට කතා කළේ ඇයට කතා කරන්නට හැකි වේලාවේ පමණය. මුළු ලෝකයම චන්දිමා කොටගෙන සිටි තරුණයාට ඇගේ මේ හැසිරීම පෙනුණේ ඇය හිතා මතා කරන වෙනස්කමක් ලෙසය. හිතෙන හිතෙන වේලාවට දුරකතනයෙන් කතා කළ නොහැකි බව ඈ කොතෙක් කීවත් ඒ දෙය තේරුම් නොගත් ඔහු පෙම්වතිය ගැන සැක සිතුවේය. ඒ ඔහුට කතා නොකරන්නේ එසේ දුරකථන පාවිච්චියේ සීමාවක් තිබූ නිසා නොව ඇය වෙනත් කෙනකු හා කතා කරන නිසා කියාය. ඒ සැකය දිනෙන් දින තරුණයාගේ හිත තුළ දලුදානා අයුරු චන්දිමා දැන සිටියේ නැත.

පුහුණුව ලබන වසරක කාලයේ ගෙදර යන්නට දෙවතාවක් පමණක් නිවාඩු ලැබුණත් නිවැසියන්ට පුහුණු පාසලට ගොස් ඈ හමුවී දැක බලා කතා කර එ්මේ අවස්ථාව පෙම්වත් තරුණයා තනිවමද, ඇගේ ඥාතින් සමගද කීප වතාවක් කළුතර ගොස් ඇය දැක බලා කතා කර ආවේය. ඒ ගොස් ආවද නැවතත් හිත් අමනාපකම් ඇතිවන්නේ ඈ දුරකථනයට සීමාසහිතව කතා කිරීම නිසාය.

වසරක පුහුණු කාලය අවසානයේ චන්දිමාගේ පළමු පත්වීම ලැබුණේය. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරියක ලෙසිනි. වලාන දූෂණ මර්යදන එ්කකයට යා හැක්කේ ද එතැන පැවැත්වෙන පරික්ෂණයෙන් සමත්වීමෙන් පසුවය. එසේම චන්දිමාගේ සිංහල මෙන්ම දෙමළ සහ ඉංග්‍රීසි බසේ වූ නිපුණතාවය ද පරිගණක තාක්ෂණය පිළිබඳ ඇයට තිබූ දක්ෂතාවයත් අමතර සුදුසුකමක් වුණේය. වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරියක ලෙස සේවය ඇරඹූ චන්දිමා මාස තුනක් එක දිගට එහි සේවය කළාය. එතැනද චන්දිමාට රාජකාරි කටයුතු වූයෙන් වැඩිපුර ඈ පෙම්වතා හා දුරකථන කතාබහේ යෙදීම වූයේ නැත. ඒ නිසා බොහෝවර තරුණයා ඈ හා උරණ වී සිටියේය. ඒත් චන්දිමා වෙනසක් නැතුවම ඔහුට ආදරය කළාය. වෙනකක් තබා ඒ වනවිට ඔහු හා විවාහ වීමේ උවමනාවද ඇයට තිබුණි.

” ඔයා බොරුවට මාත් එක්ක රණ්ඩු කරන්න එපා.. මං කාත් එක්කවත් යාළු නෑ ”

” එහෙනම් දැන් වලානට ආවට පස්සෙවත් මාත් එක්ක මට ඕනවෙලාවට කතාකරන්න බැරි ?”

ඔහුට හැම මොහොතකම වූ ප්‍රශ්නය එය පමණි. ඔහු හිතන්නේ ඔහුගෙන් ඇමතුමක් එන හැම විටෙකම කොහේ, කොතැන, මොන රාජකාරියක සිටියද ඇමතුමට උත්තර දිය යුතු බවයි.

” මේක වගකිවයුතු රස්සාවක්.. තේරුම් ගන්න.. ඒ වගේ තැනක මට වැඩ කරන වෙලාවේ ෆෝන් එක කනේ තියාගෙන ඉන්න බෑ. මං තාම අලුත්.. ඊට වඩා ලොකු මහත්තුරු එක්ක වැඩ කරන්නේ…”

” අපරාදෙ..ඔයා පොලිසියට නොයා හිටියානම් ඉවරයි… ”

” අපි බඳින්න ඕන.. මෙහෙම බොරුවට රණ්ඩු කර කර ඉඳලා හරියන්නෙ නෑ…”

ඇය ඒ උවමනාව එළිපිටම ඔහු හා කතා කළාය.

” ඔය රස්සාවෙ හිතෙනකොට බඳින්න බෑනේ.. තව අවුරුදු තුනක් බලන් ඉන්න එපැයි..”

” ඇපීල් එකක් දාලා ඒ කාලෙ අඩුකරගන්න පුළුවන්..”

” කොච්චර කාලෙකින්ද..? ”

” අවුරුදු දෙකහමාරකින්.. ”

අඩුවන මාස හයත් චන්දිමාට සහනයක් වුණේය. චන්දිමා ඔහු සමග අනාගත ලෝකයක් ගැන හීන මවද්දිත් පෙම්වතා ඈ ගැන නිරන්තර සැකයෙන්ම සිටියේය. එහෙමයි කියා කිසිවිටෙකත් ඔහු ඈ අත් හරින්නට කැමති වූයේ නැත.

මාස තුනකට පසු අගෝස්තු 30 වැනිදා රැකියාවේ පළමු නිවාඩුව ලැබූ චන්දිමා හාලිඇළ ආවාය. කාලෙකට පසු ගමට ආ චන්දිමා නිදහස උපරිමයෙන් වින්දාය. අගෝස්තු 31 වැනිදාත් හිතේ සතුටින් ගෙවා දැම්මෙ කලකින් නොදුටු පෙම්වතාගේ ඇසුරද ලැබූ නිසාය. එදින රාත්‍රියේ ඈ නිවසේ අයත් සමග අසල්වාසී ගෙදරක මතක බණකට ගියාය. නිවසේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරකින් වූ ඒ නිවසේ පසුදා දවල් දානය විය. නිවසේ අයත්, වටපිට නිවෙස්වල වූ ඥාතීන් ද සහභාගී වූ ඒ දානෙ ගෙදරට චන්දිමාත් ගියාය. හාමුදුරුවන් දානය වළඳා අවසන් වූ පසු ඒ නිවෙසින් කෑම කෑ චන්දිමා දානෙ ගෙදර අයටත් කියා පෙම්වතාට ද කෑම පාර්සලයක් ඔතාගත්තාය. ගෙදර අය එන්නට කලින් ඇය බත් පාර්සලයද ගෙන පෙම්වතා සොයාගෙන ගියාය. බත් පාර්සලය ද ගෙන ඔහුගේ නිල නිවසට ගියමුත් ඔහු ආපසු ඇයව නිවසට හරවා යැව්වේ ඔහු එහි එන බව කියමිනි.

චන්දිමා කෑම පාර්සලයද ගෙන ඇගේ නිවසට ගොස් ඔහු එනතුරු බලා සිටියාය. ඒ වනවිට චන්දිමා සිටි ආච්චි අම්මාගේ ගෙදර කිසිවෙකුත් නොවූවා සේම ඒ අහල පහල වූ ඇගේ ඥාතී ගෙවල්වල අයත් ඒ දානෙ ගෙදර ගොස් සිටියහ. පෙම්වතාට චන්දිමාගේ ගෙදර ආගන්තුක නොවීය.

ගිනි රස්නෙට අව් රැස් විහිදුවමින් හිරු අහසට වී බලාසිටියේය. චන්දිමාගේ නිවසේ ඔරලෝසුවෙත් වෙනදා පරිද්දෙන්ම කටු කැරකුණේය. චන්දිමා නිවසට පැමිණ පැයක් දෙකකට කිට්ටුවන්නට ඇත.ඇගේ නිවසින් දුම්‍ රොටු සමග ගිනිදලු පිටවෙනු දැක තිබුණේ අසල්වාසී නිවැසියෙකි. ගෙදර සියල්ලෝම දානෙ ගෙදර ගිය බව අසල්වැසියා දැන සිටියෙන් ඔහු ඒ නිවසේ අයෙකුගේ දුරකථනයට ඇමතුමක් දී ගෙය ගිනිගන්නා බව දැනුම් දුන්නේය. දානෙ ගෙදර සිටි නිවැසියන් ද ඥාතීන්ද වහා දිව ආවේ ඇවිළෙන ගින්දර නිවා දමන්නටයි. ඒ අතරේ අයෙක් 119 කතා කොට සිදුවීම දැනුම් දුන්නේය. නිවැසියන් සහ නෑයන් පැමිණ ගිනිගෙන දැවෙමින් තිබූ චන්දිමාගේ කාමරයේ ඇවිළෙන ගින්න නිවා දමන්නට ගත්හ. ඔවුන් කිසිවෙකුටත් චන්දිමා මතක් නොවුණේ ඈ පෙම්වතා සමග ඇතැයි සිතාය. පිරිස ගින්න නිවමින් සිටියදී 119 පණිවිඩය ලැබී හාලිඇළ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ද එහි පැමිණියහ. ගින්න නිවීයද්දී කාගෙත් හිත් බියෙන් ත්‍රස්ත වූයේ පිච්චී තිබූ සුන්බුන් අතරේ දෙකකුල් පමණක් දිස්වූ පිලිස්සුණු මිනිස් සිරුරක් දුටු නිසාය. කාගෙත් හිත්වල ඇතිවූයේ එකම සැකයකි. ඒ චන්දිමාය. මෙතරම් දෙයක් සිදුවීත් ඈ නොපැමිණීමත් ගිනිගෙන දැවී තිබුණේ ඇගේ කාමරය නිසාත් ඒ සැකය තීව්‍ර විය. කාගෙත් කෑගැසීම්, හැඬීම් , විලාපදීම් මැද්දේ ගින්නට හසුව සිටියේ කවුදැයි බැලුවේ අමාරුවෙනි. පිච්චී වැටී තිබූ සුන් බුන් මැද්දෙන් බලද්දී ඒ ගින්නට හසුව තිබුණේ චන්දිමා බවට හඳුනාගත්තේය. ගින්න ඇතිවූයේ කෙසේද චන්දිමා ගින්නට මැදිවූයේ කෙසේද, පෙම්වතා සොයා ආ ඈ මෙතැනට කොටු වූයේ කෙසේද කියන ප්‍රශ්න කා අතරත් ඇතිවෙද්දී හාලිඇළ පොලිස් ස්ථානාධිපති විසින් සිදුවීම පිළිබඳ ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත් කළ අතර සොකෝ කණ්ඩායම්, ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්වද එම ස්ථානයට ගෙන්වීය. එදිනම සන්ධ්‍යාවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විනි. ඒ අවස්ථාවේ විසිත්ත කාමරයේ තිබූ ඈ පෙම්වතාට ගෙන ආ බත් පාර්සලය ද ඇඳ යට තිබී ලේ තැවරුණු පිහියක් සොයා ගැනුණු අතර නිවසින් පිටත් බිත්තියක් අසල ද වැටී තිබුණු පිහියක් සොකෝ කණ්ඩායමෙන් සොයාගෙන තිබුණි. එම පිහියෙන් චන්දිමා ඝාතනය කර ගින්නට දමන්නට ඇතැයි සැක කළ අතර ලේ තැවරුණ ඒ පිහිය බදුල්ල මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිල සුනඛ ඩස්පි ගෙන්වා ඉව කරන්නට දුන්නේය. පිහිය ඉව ඇල්ලූ ඩස්පි ගොස් නැවතුනේ අපරාධ ස්ථානයේ සිට මීටර් අටසීයක් දුරින් වූ තේ වත්තේ වූ චන්දිමාගෙ පෙම්වතාගේ නිල නිවසේය. ඒ මොහොතේ නිල නිවසේ රැඳී සිටි ක්ෂේත්‍ර නිලධාරී පෙම්වතා සැකපිට හාලිඇළ පොලීසියෙන් අත්අඩංගුවට ගැනුණේය. අත්අඩං ගනු ලැබූ සැකකරුගෙන් තොරතුරක් ලැබෙනතුරු පොලීසියෙන් පැය කීපයක් ප්‍රශ්න කරනු ලැබීය. ඩස්පිගේ ඉවට අනුව අත් අඩංගුවට ගැනුණු සැකකරු ප්‍රශ්න කිරීම් අතරේ ඝාතනයේ වරද බාර ගෙන තිබූ බව පොලීසිය කියයි.

ඒ අනුව කෑම පාර්සලය ගෙන නිල නිවසට ආ චන්දිමාව ඇගේ නිවසට යැව්වේ නිවසේ කිසිවෙකුත් නැති බව දැනගෙන බවත් ඇය වෙනත් තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවට දැනගන්නට ලැබී ඒ ගැන කතා කරන්නට යාමේදී බහින් බස් වීමක් ඇතිවී පිහියකින් ගෙල කපා ඝාතනය කොට සිරුරට ගිනි තැබූ බවත් පවසා ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව කියයි.

ඇයව ගිනි තබන්නට අවශ්‍ය ඉන්ධන පිහිය ආදිය සපයා ගැනීම තුළින් සැකකරු මේ ඝාතනය සැලසුම් සහගතව කළාද යන්නට පරීක්ෂණ සිදුවන අතර අවට වූ අල්මාරියටද ගිනිතබා ඇතිබවත් පොලිස් විමර්ශනවලදී හෙළීවී ඇත. සැකකරු පසුගිය දෙවැනිදා බදුල්ල දිසා විනිසුරු හා අතිරේක මහේස්ත්‍රාත් තාරක ජනදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සිදුවීම පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත, සහකාර පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතාගේ මූලිකත්වයෙන් වැඩ බලන අපරාද අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යල්කුඹුර, පො.සැ.රත්නපාල (19803) කා.පො.කො.තරංගා (7822) , පො.කො.ජයප්‍රකාශ් (59200) පො.කො. හේරත් (60175), පො.කො.චාමින්ද (70793) නිලධාරිහු වැඩිදුර පරික්ෂණ කරති. සැකකරු සොයායාමේදී පොලිස් සැරයන් ජයතිස්සගේ(19995) අධීක්ෂණය යටතේ පොලිස් නිල සුනඛ මෙහෙයවනු ලැබුවේ පොලිස් සැරයන් බණ්ඩාරගේ සහයෝගයෙන් පොලිස් කොස්තාපල් කේ. ඒ. ප්‍රියන්ත විසිනි.

චන්දිමා ප්‍රියදර්ශනී මියගිය

හාලිඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර

වැඩ බලන අපරාද අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යල්කුඹුර