විශේෂාංග

ගෝඨා සමග යුද්දෙට ගියෙමි

ගෝඨාභය රාජපක්ෂ එකල ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකි. දැන් නම් යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරු බොහෝ වෙත්. එනමුත් දශක දෙක තුනකට ඉහතදී එම නිලය දැරුවේ අතළොස්සක පිරිසකි. ඒ පිරිසෙන් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂගේ නම හමුදාවේ ප්‍රකට වීමට හේතුවක් තිබුණේය. අද මෙන් නොව එකල වීර පදක්කම් තිබුණේ ටික දෙනකුට පමණි.

කොටින්ම කියනවා නම් යුදහමුදාපතිවරුන්ට පවා එකල වීර පදක්කම් තිබුණේ නැත. එහෙත් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යුදබිමේ දැක්වූ වීර වික්‍රමාන්විත දස්කම් වෙනුවෙන් සිය නිල ඇඳුමේ ළය පැත්තේ රණවික්‍රම හා රණශූර පදක්කම් පැලඳවීමට උරුමකම් කීවේය. එකල ඔහු පළමුවැනි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියාය. ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ කීර්තිමත් සෙන්පති ලුතිනන් ජෙනරාල් විජය විමලරත්නගේ ගෝලයෙකි. ගෝඨාභය රාජපක්ෂ 1 වැනි ගජබා රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරියා ලෙස රාජකාරි කරන කාලයේ ඔහුගේ දෙවන අණදෙන නිලධාරියා වූයේ මේජර් සුමේධ පෙරේරාය. ඒ එක්දහස් නවසිය අනූව වසරය. කොටි ත්‍රස්තවාදීහු මුතූර් කඳවුර වටකර පහර දෙමින් සිටියහ. කොටු වූ සෙබළුන් බේරා ගැනීමට අතිරේක බළඇණි යවන්නැයි යුද හමුදා මූලස්ථානය තීරණය කළේ ය. ඒ සඳහා මුලින්ම තෝරා ගත්තේ කොමාන්ඩෝ සෙබළුන්ය. කොමාන්ඩෝ සෙබළුන් පිරිසක් එහි යන විටත් කට්ටපරිච්චාන් පාලම උඩදී කොටින්ගේ දැඩි ප්‍රහාරයට ලක් වී විශාල පිරිසක් දිවි පුදා තිබුණි. මේ හේතුවෙන් යුද හමුදා මූලස්ථානයේ තේරීම වුණේ කොටු වී සිටින සෙබළුන් ගලවා ගැනීමේ මෙහෙයුමට පළමුවැනි ගජබා රෙජිමේන්තුව යැවීමටය. එහි අණ දෙණ නිලධාරියා වූයේ ගෝඨාභය රාජපක්ෂය. එකල ඔහුගේ දෙවැනි අණ​දෙන නිලධාරියා මේජර් සුමේධ පෙරේරාය.
එල්ටීටීඊ සංවිධානය මුතූර් සාම්පූර් ඇතුළු නැගෙනහිර පළාතේ බලය අත්පත් කරගත්තේ එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස යුගයේය. කොටිත් සමග සටන් විරාම ගැසූ ජනපතිවරයා ඔවුන්ට අවි ආයුධ දුන් බව ප්‍රසිද්ධ රහසකි. ජනපතිවරයා දුන් ​ආයුධවලින් අන්තිමේදී කොටි යුද හමුදාවට ගැසූහ. නැගෙනහිරදී පොලිසියේ 600 ක් ඝාතනය කෙරුණි. ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පළමුවන ගජබා රෙජිමේන්තුවට මුතූර් ප්‍රදේශය මුදා ගැනීමට යාමට සිදු වූයේ මෙවන් පසුබිමක් යටතේය.

මේ වන විට යුද හමුදාව අල්ලාගෙන සිටියේ මුතූර් කඳවුර පමණි. මුතූර්වලට උතුරෙන් පිහිටි සාම්පූර් කින්නියා, ෆවුල් තුඩුවේ පිහිටි ප්‍රදීපාගාරය ඇතුළු සියලු ප්‍රදේශ එල්ටීටීඊය විසින් අත්පත් කරගෙන තිබුණි. ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය වරායට කිසිම යාත්‍රාවක් ඇතුළු වීමටත්, පිටවීමටත් නොහැකි විය. ඊට​ හේතුව වරාය කටේ ෆවුල් තුඩුව එල්ටීටීඊ ග්‍රහණයේ තිබීමය. ඔවුන්ගේ ඊළඟ සැලසුම වී තිබුණේ වරායේ අනෙක් කෙළවර වූ මුතූර් අල්ලාගෙන තිරිකුණාමලය වරායේ පාලනය අල්ලා ගැනීමටය. මේ වන විට කට්ටපරිච්චාන් පාලමද කොටි ත්‍රස්තයෝ අත්පත් කරගෙන සිටියහ.

ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මුතූර් මෙහෙයුම භාර ගන්නේ මෙවන් බිහිසුණු වටපිටාවක් මැදය. තිරිකුණාමලය රැක ගැනීමට නම් කෙසේ හෝ මුතූර් හි බලය තහවුරු කරගත යුතු බව ඔහුගේ කල්පනාව විය. එය ජාතික අවශ්‍යතාවකි. මුතූර් මෙහෙයුමට වහාම ඔහුගේ මූලිකත්වයෙන් සැලසුම් සකස් කෙරුණි. මුතූර් යන ගමනේදී කිලෝ මීටර් තිස්පහක් පමණ දුර යාමට සිදුවන්නේ පා ගමනින්ය. අවශ්‍ය වෙඩි බලයත්, ආහාරපානත් සමග සෙබළුන් හයසියයක් මෙහෙයුමට එක් විය. ඔවුනට අභියෝගයක් වූයේ කිලෝ මීටර් තිස්පහක පමණ දුර ගෙවා මුතූර් කඳවුර වෙත යාමේදී අතරමගදී එල්ලවන කොටි ප්‍රහාරයන් පිළිබඳවය.

‘‘අපිට යන්න තිබුණේ සේරුවිල ඉඳලා මුතූර්වලට කිලෝ මීටර් තිස්පහක පමණ දුරක්. ප්‍රායෝගිකව ප්‍රශ්න බොහෝයි. නමුත් අපට හයියක් වුණේ අපේ අණදෙන නිලධාරිවරයායි…’’ එසේ කියන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාය.
පළමු දින කිලෝ මීටර් කිහිපයක් කිසිදු කරදරයකින් තොරව ගමන් කිරීමට ගජබා රෙජිමේන්තු භට පිරිසට හැකි විය. නමුත් දෙවැනි දින සිට එල්ටීටීඊය මුතූර් බලා ඇදෙන ගජබා සෙබළුන්ට රැක සිට පහර දීම ඇරඹූහ.

‘‘අපි සේරුවාවිල ඉඳලා දින දහයක කාලයක් පයින්ම එල්ටීටීඊ ප්‍රහාර මැද මුතූර්වලට ගියා. දවල් වරුවේ අපි ඉදිරියට ඇදෙනවා. රාත්‍රියේදී සුදුසු තැනක් බලලා රාත්‍රිය ගත කළා. මේ දවස් දහයම අපි ගමන් කළේ කැලෑව මැදින්. මොකද ගම්මාන මැදින් ගමන් කරන්න වුණා නම් අපිට එල්ලවන ප්‍රහාර වැඩිවෙන්න තිබුණා. අපේ අණදෙන නිලධාරී ගෝඨාභය සර් මේ හැම දෙයක්ම හිතලා තමයි එහෙම කළේ.’’

මුතූර් කඳවුරට ළඟා වීමට පෙර භට පිරිසට සිතා බැලීමට තවත් කරුණක් තිබුණේය. ඒ මීට දින කිහිපයකට ප්‍රථම කට්ටපරිච්චාන් පාලම උඩදී ප්‍රහාරයට ලක් වූ කොමාන්ඩෝ භට පිරිසෙන් කවුරුන් හෝ ජීවතුන් අතර සිටීදැයි යන්න සොයා බැලීමය.

වරින්වර එල්ලවන ප්‍රහාරයන් මධ්‍යයේ මේ සොයා බැලීම සිදු කළ භට පිරිසට වැටහී ගියේ කිසිවකුත් ජීවතුන් අතර නැති බවය. මුතූර් බේරා ගැනීමට කලින් ගිය කිසිවකු ජීවතුන් අතර නැති බව දත් භට පිරිසගේ චිත්ත ශක්තිය මඳක් හීන විය. නමුත් අණදෙන නිලධාරිගේ දැඩි අධිෂ්ඨානය සෙබළුන්ට අස්වැසිල්ලක් විය.

දින දහයක් ගෙවා දමමින් විවිධ බාධක මැද ගජබා සෙබළු මුතූර් කඳවුර වෙත ළඟා වූයේ එල්ටීටීඊය පලවා හරිමිනි.

ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීමෙන් මුතූර් කඳවුරේ සෙබළු යළි පණ ලද්දෝය. එදා ගෝඨාභය සමග මුතූර් දක්වා පා ගමනේ ගිය මේජර් සුමේධ පෙරේරා සිය මතකය දිගහැරියේ මෙසේ ය.

අපි මුතූර්වලට ආවේ නැතිනම් මුතූර් කෑම්ප් එක අවදානම් තත්ත්වයට වැටෙනවා. මොකද ඒ වෙනකොට එල්ටීටීඊයට ඕන වෙලා තිබුණේ වරින්වර මුතූර් ආමි කෑම්ප් එකට ගහලා ඒක අල්ලා ගන්න. මේ තත්ත්වය නැති කරන්න තමයි අපිට කලින් කොමාන්ඩෝ භටයන් එවලා තිබුණේ. නමුත් පසුව අපිට දැනගන්න ලැබුණේ මුතූර් ප්‍රදේශයේ පිහිටි ඉල්ලකන්තෙයි කියන ගමේ එල්ටීටීඊ එක ඉඳලා තිබෙනවා. ඔවුන්ට මේ කමාන්ඩෝ භටයන් එන බවට තොරතුරුත් ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි සැලසුම් කරලා කමාන්ඩෝ භටයන් සියලු දෙනාට ප්‍රහාර එල්ල කරලා තිබෙන්නේ. ප්‍රහාරයෙන් පසුව අඩුම තරමින් එක බොඩි එකක්වත් දාලා ගිහින් තිබුණේ නැහැ. ඒ කමාන්ඩෝ භට පිරිසට අණ දුන්නේ ලුතිනන් අසාද් කියලා නිලධාරියෙක්. ඔහුත් ඉතා දක්ෂ නිලධාරියෙක් කියලා අපි දන්නවා. මේ පසුබිම යටතේ තමයි ගෝඨාභය සර් මේ වගකීම භාර ගත්තේ. ඔහු ගම්මාන මගහැරලා කැලෑව මැදින් දුෂ්කර වුවත්, අපේ ගමන් මාර්ගය සැලසුම් කළේ මේ නිසයි.’’

මුතූර් කඳවුර මුදා ගැනීමෙන් පසු මෙහෙයුමේ දෙවැනි අදියර ඇරඹුණි.

එහි ඉලක්කය වී තිබුණේ සාම්පූර්, කින්නියා ප්‍රදේශවල බලය අත්පත් කර ගැනීමය. ඒ කාර්යයන් කළ පසු ෆවුල් තුඩුවට ඇතුළු වූ පළමුවැනි ගජබා රෙජිමේන්තුව කොටි ත්‍රස්තයන් අල්ලාගෙන සිටි ප්‍රදීපාගාරයේද බලය තහවුරු කර ගත්තේය. පසුව දෙවන අණදෙන නිලධාරි මේජර් සුමේධ පෙරේරා එහි නැවැත් වූ අණදෙන නිලධාරියා නැවතත් ෆවුල් තුඩුවේ සිට මුහුදු මගින් තිරිකුණාමලයට ආවේය.

මුතූර් ක්‍රියාන්විතය අවසන් කළ පළමුවන ගජබා රෙජිමේන්තු භටයන්ට කඳවුරු භූමියට වී විවේක ගැනීමට ඉස්පාසුවක් නොවීය. ඊට හේතු වූයේ කොතැනද ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ අණ දුන් පළමුවැනි ගජබා රෙජිමේන්තුව එතැන වීමය. මුතූර් බේරාගෙන හුස්ම ගැනීමටත් පෙර පළමුවැනි ගජබා රෙජිමේන්තුවට කැඳවීමක් ලැබුණි. ඒ ත්‍රිකුණාමලය නිලාවේලි බටහිරට වන්නට එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන කඳවුරක් වන ‘බාස්කරන් බේස්’ කඳවුර විනාශ කර දැමීමේ මෙහෙයුමටය. මේ සඳහා ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ අණදුන් පළමුවැනි ගජබා රෙජිමේන්තුවත්, ලුතිනන් කර්නල් ගාමිණී ගුණසේකර අණදුන් 4 වැනි ගජබා රෙජිමේන්තුවත් තෝරා ගත්තේ එකල ස්වාධීන බළසේනාධිපති ධුරය දැරූ කර්නල් ජානක පෙරේරාය.මන්ද යත් මෙම මෙහෙයුම අසීරු ඉලක්කයක් විය. කිලෝ මීටර් දහයක් පමණ දුර ගෙවාගෙන මෙකී ඉලක්කයට ළඟා විය යුතුය. එමෙන්ම දහවල් කාලයේ ගමනද අවදානම් සහිතය. එසේම ගම්මාන මගහරිමින් ගමන් කිරීමද අනිවාර්ය වේ. මේ සියලු කරුණු සිය සෙබළුන්ට අවධාරණය කළ අණදෙන නිලධාරි වන ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හා ලුතිනන් කර්නල් ගාමිණී ගුණසේකර තීරණය කළේ වටින් ගොඩින් අඳුර වැටෙන විට මෙහෙයුමේ ගමන ආරම්භ කිරීමටය. ඒ අනුව සවස හය පසුව විනාඩි තිහ පමණ ගත වූ තැන සිය අණදෙන නිලධාරීන් පෙරටු කරගත් භට පිරිස් පිටත් විය.

‘‘අපි හවස බාස්කරන් බේස් කඳවුරට යන්න පිටත් වුණා. හැබැයි කිසිම වෙලාවක කාගෙවත් අවධානය නොලැබෙන ආකාරයට ගමන් කිරීමට අවශ්‍ය වුණා. කිලෝ මීටර් දහයක පමණ දුර ගමන් කිරීමට වන්නේ පා ගමනින්. ඒ ගමනද අවදානම් සහිතයි. මග දිගට කොටි ත්‍රස්තයන් වළ දැමූ ජොනී බට්ටන්ද, තිබෙන්නට ඉඩ තිබෙනවා. කවදාවත් ලුතිනන් කර්නල් ගෝඨාභය සර් පස්සට යන්නේ නැහැ. අපිත් එක්කම තමයි මේ වාගේ ඔපරේෂන්වලදී ගමන් කරන්නේ.’’ සුමේධ පෙරේරා කියන්නේය.

කොටි ත්‍රස්තයන්ට මේ වන විටත් යමක් ඉව වැටී ඇති බව සෙබළුන්ට වැටහුණි. ඒ බව දැන ගන්නට ලැබුණේ කැලෑව මැද තිබෙන ජල පහරවල් සහ ළිංවලට වස දමා තිබූ බැවිනි.
මගදී කිසිම ස්ථානයකින් ජලය ලබා නොගන්නා ලෙසට සෙබළුන් දැනුවත් කර තිබීම වාසියක් විය. නමුත් කැලෑවේ ගමන මඳක් අවදානම්. ඇතැම් විට අවට ගම්මානවල දඩයමේ යන සාමාන්‍ය ජනතාව​ හෝ සිටීමේ හැකියාවක් තිබුණි. ඒ පිළිබඳ දැඩි අවධානයකින් යුතුව සෙබළු අවශ්‍ය ස්ථානයට පැමිණියහ.

‘‘අපි උදේ වටින් ගොඩින් එළිය වැටෙනකොට බාස්කරන් බේස් එකට ආවා. පසුව පෙර සැලසුම් කරලා තිබුණු විදිහට පැනලා යන අයට එක පැත්තක් විවෘත කරලා කඳවුර වටේම වට කළා. පැනලා යන කොටි ත්‍රස්තයන්ට ප්‍රහාර එල්ල කිරීමට වෙනම අපේ භට පිරිස් යෙදෙව්වා.’’

මේ වන විට සෙබළු මෝටර් විදිනද ස්ථානගත කර හමාරය. පාන්දර පහ පසු වී විනාඩි තිහක් පමණ ගත වූ තැන බාස්කරන් බේස් කඳවුර වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. හදිසියේ එල්ල වූ ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීහු අන්දමන්ද වූහ.

‘‘අපි ප්‍රහාරය එල්ල කරනකොට සමහර එල්ටීටීඊ සාමාජිකයන් රොටි පුච්ච පුච්ච හිටියා. තවත් අය උදෑසන විවිධ වැඩවල නිරත වෙලා හිටියේ.’’ සුමේධ පෙරේරා කියන්නේය.
ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කළද කොටින්ට තවදුරටත් එම කඳවුර අත්පත් කරගෙන සිටීමේ හැකියාවක් නොතිබුණි. ඔවුන් එය අතහැර යන්නට පටන් ගත්හ. ඒ අවස්ථාවේ පළායන කොටින්ට එම ස්ථානවල සිටි සෙබළුන් දැවැන්ත ප්‍රහාර එල්ල කළහ. මෙම ප්‍රහාරයෙන් කොටි සාමාජිකයන් දාසය දෙනකු පමණ මියගොස් තිබූ බව නිරීක්ෂණය විය. තවත් පිරිසක් ප්‍රහාරයන් මධ්‍යයේ කැලෑවට පැන ගියහ.

‘‘ප්‍රහාරයෙන් පසුව අපි කඳවුර නිරීක්ෂණය කළා. ඒ කඳවුර කොටින්ගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් වාගේම ප්‍රධාන ගබඩා සංකීර්ණයක් ලෙස භාවිත කරලා තිබුණා. ජීප් වර්ගයේ වාහන හත අටක් තිබුණා. තව සහල්, පාන්පිටි වාගේ වියළි ආහාර විශාල ප්‍රමාණයක් තිබුණා. මේ කඳවුරට ගුවන් ප්‍රහාරයන් පවා එල්ල කරන්න බැරි ආකාරයට තමයි කැලෑව මැද හදලා තිබ්බේ. ඉහළට පේන්නේ නැති ආකාරයට ආවරණය පවා කරලා තිබුණා.’’ සුමේධ පෙරේරා කියන්නේය.

පසුබැස ගිය කොටි සාමාජිකයන් දහවල වන විට නැවතත් සන්නද්ධ හමුදාවට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හා ලුතිනන් කර්නල් ගාමිණී ගුණසේකරගේ තක්සේරුව වූයේ තම භට පිරිස් වෙත එල්ලවන කොටින්ගේ සැඟවුණු වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයන් බවය. අණදෙන නිලධාරීහු වහාම සිය සෙබළුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත්හ.

‘‘අපි ප්‍රහාරය එල්ල කරලා තිබෙන්නේ ප්‍රධානම කඳවුරටයි. ඒ වටේ තවත් කුඩා කුඩා කඳවුරු බොහෝමයක් තිබිලා තියෙනවා. අර පැනගිය කොටි සාමාජිකයන් එම කඳවුරුවලට ගිහින් තමයි නැවතත් සන්නද්ධ වෙලා ඇවිත් තියෙන්නේ.

බාස්කරන් බේස් කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට ගිය සෙබළුන්ට ඔවුන් රැගෙන ගිය ජල බෝතලය හැර අතිරේක ජලය නොලැබුණි. පැය ගණනාවක් ජලය නොමැති බැවින් ඇතැම් සෙබළුන් විජලනයට පවා පත්ව තිබුණි. එවැනි අසීරු තත්ත්වයක් තිබියදී ප්‍රහාරය සාර්ථකව නිම කළ සෙබළු බාස්කරන් බේස් කඳවුර මුළුමනින්ම විනාශ කර නැවතත් ත්‍රිකුණාමලය වෙත පැමිණියහ.

තව කොටසක් ලබන සතියේ

ශිරෝමි රත්නායක