පිනි පලස

ගෝඨාභය නොහිටියා නම් අද අපි ඉවරයි

‘මමත් ගෙදර පරිස්සමින් ඉන්න
යන්න එපා කොහෙවත් මමත් ගෙදර
මේක හරිම භයානකයි යමන් ගෙදර
මොනවා කරන්නද හරි ප්‍රශ්නයක්
මමත් ගෙදර’

කොරෝනාවට හැදුණ පළවැනි ගීතය නිර්මාණය කිරීමේ අයිතිය හිමිවන්නේ ෆ්ලෑෂ් බැක් රොෂාන් ප්‍රනාන්දුට. ෆේස්බුක් එකේ නොදැම්මට බොහෝ දේ කළ රොෂාන්ව මුණගැහුණේ මිනිසුන්ගේ ආකල්ප ගැන කතා කරන්නමයි…

පුත්තලම් දිස්ත්‍රික්කයේ මාස ගාණක් හිරවෙලා නේද?

මොනවා කරන්නද… මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්නේ. මටත් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න වෙලා.

ගෙදර ඉඳන් හරි නිර්මාණ එළියට එනවා නේද?

ගීතයක් කළා. මේක ටිකක් විතර වෙනස් ගීතයක්. කොරෝනාවලට මුල්ම ගීතය හා වීඩියෝ එක කළේ මම. මේ ගීතයේ අදහස හා තනුවත් මගේමයි. මුළු ගීතයම කළේ ෆෝන් එකෙන්. මොකද කිසිම කෙනෙක්ව මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ෆෝන් එකෙන් වීඩියෝ කෝල්වලින් සම්බන්ධ වෙලා සම්පූර්ණ ගීතයම කළා. පටිගත කළෙත් ෆෝන් එකෙන්ම තමයි. වෙනස් විදිහට කරපු සාර්ථක නිර්මාණයක්. ජනාධිපතිතුමා පවා නිර්මාණය බලලා තිබුණා.

ප්‍රසංග වේදිකාව නැතත් ඔන්ලයින් ක්‍රමයට ලෝකයේ ප්‍රසංග පවත්වනවා. ඔබ තුළත් අලුත් අදහස් නැද්ද?
දැන් රට ටික ටික විවෘත වෙනවා. හැමෝටම රැකියා කරන්න ටිකෙන් ටික අවස්ථාව ලැබෙනවා. හැබැයි අවසානයේ කිසිම දෙයක් කරගන්න බැරිව ඉතිරි වන්නේ ප්‍රසංග වේදිකාවට සම්බන්ධ කලාකරුවෝ විතරයි. මේක ලොකු ප්‍රශ්නයක්. ඔන්ලයින් කොන්සට් එකක් කළත් ඒකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ ගායකයන්ටයි, වාදකයන්ටයි විතරයි. අනිත් අයට මොකද වෙන්නේ.

කලාකරුවන් වෙනුවෙන් අලුත් අදහසක් නැද්ද?

අදහස් ගොඩක් තියෙනවා. නමුත් කරන දේ හරියටම කළ යුතුයි. ඔන්ලයින් කොන්සට් එකක් වුණත් සාර්ථක වැඩක් විය යුතුයි. පුංචි ඉල්ලීමක් තියෙනවා. රාජ්‍ය මාධ්‍යවලට කලාකරුවන් වෙනුවෙන් හා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කළ හැකි හොඳ දෙයක්. රූපවාහිනියේ පැය දෙකක් අරගෙන සජීවී ප්‍රසංගයක් කරන්න. ආලෝකකරණය කරලා, බෑන්ඩ් කීපයක් අරගෙන. නර්තන කණ්ඩායම් සහභාගි කරගෙන. අපි එළිමහන් වේදිකාවේ කරනදේ රූපවාහිනියට අරගෙන එන්න පුළුවන්. එත​කොට කලාකරුවන්ගේ අතට කීයක් හරි ලැබෙනවා වගේම ප්‍රේක්ෂකයන්ටත් හොඳ ප්‍රසංගයක් බලන්න අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ මේ මොහොතේ රජයක් හැටියට ප්‍රසංග වේදිකාවට දියහැකි හොඳ සහයෝගයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

ප්‍රසංග වේදිකා ශිල්පීන් තුළ මේ මොහොතේ ඇතිවන කතිකාව මොකක්ද?

ප්‍රශ්නය හැම කෙනෙක්ම තේරුම් අරගෙන තියෙනවා. මටත් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. කිසිම කෙනෙක් ප්‍රසංග පැවැත්විය යුතුයි කියන ආත්මාර්ථකාමී චේතනාවේ නැහැ. අපි සටන් කරන්නේ නොපෙනෙන සතුරෙක් සමග.

නමුත් දේශපාලනඥයෝ ආයෙමත් බලය වෙනුවෙන් කුළල් කාගන්නවා නේද?

දේශපාලකයාගේ අරමුණ දේශපාලනය විතරයි. මනුසත්කම නැහැ. මානුෂික පාලකයෝ උන්නා නම් රටට මෙහෙම වෙන්නේ නැහැනේ. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණේ නැත්නම් මේ රටට කුමන ඉරණමක් අත්වෙයිද කියලා හිතාගන්නත් බැහැ. කොරෝනා වසංගතයේදී රට මේ වගේ යහපත් ස්ථාවර තැනක තියෙන්නේ එතුමා ජනාධිපති තනතුරේ ඉන්න නිසයි. උඩ ඉන්න කෙනාගේ තීරණ හොඳ වුණොත් විතරයි පහළට හොඳ දේවල් ගලාගෙන එන්නේ. බලන්න මේ මොහොතේ වෙන රටවල ජනතා නියෝජිතයන් පක්ෂ විපක්ෂ භේදයක් නොබලා රට වෙනුවෙන් යහපත් තීරණ ගන්නවා. නමුත් ලංකාවේ ඉන්න සමහර කුහක දේශපාලකයෝ වෛරය පතුරවමින් රට අස්ථාවර කරන්න හදනවා.

ඔබ කියන්නේ මේ මොහොතේ හරියාකාරව රට පාලනය වෙනවා කියලද?

ජනාධිපතිතුමාගේ උත්සාහයට අපි උදව් කරනවා. අඩුපාඩු තියෙනවා. මේ කොරෝනා තත්ත්වය මුළු ලෝකටම අලුත් ව්‍යසනයක්. මේකේ දිග, පළල තාම හරියට වෛද්‍යවරු දන්නෙත් නැහැ. ඉතින් අඩුපාඩු ඇතිවෙනවා. ඒවා නිවැරදි කරගත යුතුයි. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම එකක්. විවේචනය කිරීම තව එකක්.

මිනිස්සුන්ගේ ආකල්ප ගැන ඔබට මොනවද හිතෙන්නේ?

මිනිස්සු ඉස්සර වගේ තම්බන්න බැහැ. මම ප්‍රසංග වේදිකාවෙන්ම උදාහරණයක් ගන්නම්. අවුරුදු දහයකට කලින් ප්‍රසංග වේදිකාවට සංගීත කණ්ඩායම් නැග්ගේ කුණුහරුප කියාගෙන. බාල වචන කියාගෙන. ප්‍රේක්ෂකයා ඉල්ලුවෙත් එවැනිම පහත් දේවල්. නයිට් කඩේකට ගිහින් කැමති ආකාරයට මාළු හොදි දාලා කොත්තුවක් හදාගන්න පුළුවන්. හැබැයි පීසා හට් එකකට ගිහින් අපි කැමති දේවල් හදාගන්න බැහැ. ඒකේ ප්‍රමිතියක් තියෙනවා. ඕනම දේක ප්‍රමිතියක් ඇති කළ යුතුයි. මම ප්‍රසංග වේදිකාවේ මිනිස්සු ඉල්ලන දේ දුන්නේ නැහැ. මුලින්ම ප්‍රසංග වේදිකාව හැදුවා. ඉස්සර ස්ටේජ් එකට කොල්ලයි බල්ලයි ඔක්කොම නගිනවා. මම ගෙනාවා නීතියක් ස්ටේජ් එකේ ඉන්නේ සංගීත කණ්ඩායම විතරයි කියලා. වේදිකාවට අලුත් ලයිට් සිස්ටම් එකක් ගෙනාවා. සවුන්ඩ් සිස්ටම් එකක් හඳුන්වලා දුන්නා. එළිමහන් වේදිකාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. වේදිකාව උඩ ඉන්න අපි වෙනස් වෙනකොට පහළ ප්‍රසංගය බලන්න එන අය ඉබේම වෙනස් වෙනවා.

ගෙදරට වෙලා ඉන්න ලැබෙන කාලය ගැන මොකද හිතන්නේ?

හැම මනුස්සයෙක්ම මේක ජීවිතේ වෙනස් වෙන සංධිස්ථානයක් කරගත යුතුමයි. පරණ සිස්ටම් එකේ එල්ලිලා හරියන්නේ නැහැ. බලන්න, මිනිස්සු ගෙදරින් කන්න පුරුදු වුණා, කඩ කෑම කාලා ලෙඩ වෙන්නේ නැහැ. මරණ ගෙයක් දවසින් ඉවරයි. දාන ගෙවල් නැහැ. උපන් දින පාටි නැහැ. මිනිස්සු ජීවිතේට මහ ගොඩක් දේවල් එල්ලගෙන බොරු වියදම්වල එල්ලිලා උන්නේ. ගෙදර ඉන්න කාලේ මේවා මිනිස්සුන්ට වැටහුණා. කොත්තමල්ලි බොන්න පුරුදු වුණා. අපේ ගෙදර, මගේ බිරිඳ අද උයන්න ගත්තේ ගෙදර හිටවපු මිරිස්. කොච්චර ලොකු වෙනසක්ද… මිනිස්සු තේරුම් ගත්තා තමන් ගියේ වැරදි පාරක කියා. දැන් හරි පාරට වැටුණා. මේ කොරෝනාව යහපතක් වුණා කියලා මට හිතෙනවා.

රොෂාන් දේශපාලනයට එන්නද මේ සූදානම?

මම හිතන්නේ තාම මේ ඒකට කාලය නෙවේ කියලා. ඉල්ලීම් හුඟක් තියෙනවා. මම තවම මිනිස්සු ගැන, ආකල්ප ගැන අධ්‍යයනය කරනවා. කාලය විසින් බොහෝ ප්‍රශ්නවලට උත්තර සපයාවි.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර