කතුවැකි

ගෝඨාට ඉතිරිව තිබෙන එකම හාස්කම

ජාතියට වසර සිය ගණනක් තිස්සේ රැගෙන ආ ප්‍රාර්ථනා විය. ගෙරිමස් කන සුද්දා පන්නව් කියා ඇරඹුණ 18 කැරැල්ලෙද 48 පුරන්අප්පුගේ කැරැල්ලෙන්ද ජයගත නොහැකි වූ ජාතියේ ප්‍රාර්ථනා ජාතියට තිබුණි. අනගාරික ධර්මපාලතුමා  කළු සුද්දට ගරහමින් රටපුරා සරමින් මතු කළ අදහස්ද ඒ අතර විය. මේ ජාතියේ ප්‍රාර්ථනා පිළිබඳ අතීතය පිරික්සා බැලුවේය 1956 පත් කළ බුද්ධ ශාසන කොමිසම් සභා වාර්තාවෙනි. සිංහල ජනතාවගේ බහුතර ඡන්දෙන් ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන් බව රුවන්වැලි සෑ බිමේදී ගෝඨාභය රාජපක්ෂ මීට වසරකට පෙර මංගල කතාවේ කියන විට මහා සංඝරත්නය සාධුකාර දුන්නේ දුරාතීතයේ සිට ගෙනා මේ ප්‍රාර්ථනා මතක් වූ බැවිනි. එබඳු වූ මහා ප්‍රාර්ථනාවක් ඉටුකර දෙන්නට ගෝඨාට පුළුවන්ද යන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී මේ වර්ෂ පූර්ණයේදී ජනතාව තුළ නැගුණ අදිසි සිතුවිල්ලය.
ගෝඨාභය නිදහස් කර ගත්තේ පීඩාවට පත්ව තිබූ ජාතික බලවේගය, ගෝඨාභයට කලින් මේ ජාතික බලවේග ඒකරාශී කළේ 1956 දී බණ්ඩාරනායකය. පළමුවරට 1956 සිංහලයා ප්‍රමුඛ පොදු ජනතා බලවේගය එස්. ඩබ්. ආර්. ඩී.බණ්ඩාරනායක අගමැති විසින් නිදහස් කරගත් විට වසරක් තුළ වර්ජන රැලිපිට රැලි ආවේය. එමතු නොව භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ බලවේගවල ඉල්ලීම් නැගිටීම් ඉතා ප්‍රබල විය. වසරක් ගෙවුණ තැන අගමැති බණ්ඩාරනායක මෙසේ කීවේය.
‘‘අද පොදු ජනතාවගේ විරෝධතා වැඩියි. දීර්ඝ කාලයක් යටපත්වෙලා තිබුණ තමන්ගේ අභිලාෂ ඉක්මනින් ඉටුකරගන්නයි ජනතාව හිතන්නේ. ඒක තමයි අපේ මිනිසුන්ගේ හැටි.’’ වෙනදා නැති වුවමනාවකින් ජාතික බලවේග තම ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය. ගෝඨා බලයට ආවාට පසුද එසේම විය.
යූඑන්පීය 19 වැනි සංශෝධනය යහපාලන ආණ්ඩුව ගෙනෙන මොහොතේ නොපැමිණි විරෝධයක් 20 වැනි සංශෝධනයේදී ආවේ ඒ නිදහස් කරගත් ජාතික බලවේගවලිනි. 1956 දී බණ්ඩාරනායකට බලයට එන්න මග පෑදූ භික්ෂුවක් එතුමාට වෙඩි තබා ඝාතනය කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ඉතිහාසය යළි කැරකැවෙන්නට ඉඩ නොදිය යුතුය. මක් නිසාද යත් ගෝඨා ගෙදර යවන්නේ අපේ අතින් බව වොයිස් කට් නිකායේ එක් භික්ෂුවක් දැනටමත් පාරම්බා ඇති බැවිනි.
ජයග්‍රහණය හමුවේ සෑම ක්ෂුද්‍ර ජීවියාම සිතන්නේ තමා එහි මහා පාර්ශ්වකරුවා බවය. දැන් කේන්දර බලන කපුවා පවා කියන්නේ මගේ සුරය නැතිනම් ගෝඨා නැති බවය. ගෝඨා හැදුවාය කියන අයගේ කතා අසන විට ‘ඉතිං උඹලාම ඉල්ලන්න තිබුණානේ. මට ඉල්ලන්නට දුන්නේ ඇයි’ අසන්නට ගෝඨාභයට නොසිතුණොත් පුදුමය. ඇතා පිට සිටින මැස්සා ඇතාට බැරවැඩි යැයි සිතා කකුලක් උස්සා ඔහේට මාව බර වැඩි ඇතැයි කියූ ජන කතාවක් වෙයි. ඒ මේ ජනමනසේ හැටිය.
මේ පිරිස් කළමනාකරණය කරගෙන සනසාගෙන ගමනක් යාමේ අභියෝගය කොරෝනා ජය ගැනීම බඳුය.
ගෝඨාභය බලයට ආවේ පෝස්ටර්, කටවුට් යුගයට තිත තබමිනි. තම රුව රැගත් පෝස්ටරයක් කටවුට් එකක් නැතිව ඡන්දයක් කරන්නට ඉදිරිපත් වූ පළමු සහ නිර්භීත ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයය. පෝසටර්, කටවුට් තිබෙන තැනට ෆේස්බුක් ආදේශ කෙරිණ. එය නව යුගයකි. තමන් තැනූ දියුණුව තමා පස්සෙන් ඒම නිසාය.
ගෝඨාභයගේ පළමු වසර ගෙවුණේ කොරෝනා මැද්දේය. ලෝකයම කොරෝනා නිසා බිඳ වැටුණ බව ජනතාව දැනගෙන සිටීම ගෝඨාභයගේ වාසනාවය. ලංකාවේ ආර්ථික වර්ධනය සියයට ඍණ දශම හතරකට බල්ලම් බැස්සේය. ඉන්දියාවේ ඍණ  සියයට දශම 10.3 ය. ඇමෙරිකාවේ එය සියයට ඍණ දශම හතරක පසුබෑමකි. ඇමෙරිකාවෙන්, ඉන්දියාවෙන් ඉගෙන ගත යුතු යැයි කියන්නෝ දැන් එසේ ඔවා දෙන්නේ නැත. එය ද මේ ආණ්ඩුවේ වාසනාවකි. සෞභාග්‍යය කරා යන්නට කෙටි සහ පහසු මාවත් නැත. රටක ස්වයං පෝෂණයටද කෙටි සහ පහසු මං නැත.
ලංකාවේ ආනයන සීමා කිරීම ගැන යුරෝපා සංගමය දැනටමත් විරෝධය පාති. ලංකාවට කහ ආනයනය නතර කිරීමෙන් ඉන්දියාව ලබා ඇති පාඩුව ඉන්දීය රුපියල් කෝටි 50 කි.
ඉස්සර ලංකාවේ කහ පඳුරු සෑම ගෙදරකම තිබිණ. 1977 න් පසු තොණ්ඩමන් අමාත්‍යවරයා මුලදී ඉන්දියාවෙන් කහ නොමිලේ ගෙන්වූයේය. ඒවා දුන්නේ රජයේ සතොස සමුපකාරය බඳු ආයතනවලටය. ඊළඟට ගබොස්ලේන් එකට ඉන්දියාවෙන් ඉතා ලාභෙට ගෙනා කහ ලැබිණි. ලංකාවේ නොයෙක් ප්‍රදේශවල හැදුන කහ සිංගප්පූරුවටත් ඒ වන විට යවමින් තිබිණ. එහෙත් තොණ්ඩමන්ගේ මැදිහත්වීමෙන් ඉන්දියාවෙන් නොමිලේ කහ ලාභෙට ලැබෙන නිසා ලංකාවේ කහ වෙළෙඳපොළ බිඳ වැටිණ. ටික කලෙකින් අපගේ  කහ වඳ විය. ඉන්පසු ඉන්දීය වෙළෙඳපොළ විවෘත විය. අප රැකගෙන තිබෙන ස්වාධීන තාවයේ තරම එයින් පෙනේ. ලංකාවේ හැම ගෙයක්  පිටුපස්සේම කහ පඳුරක් සිටුවීමත් විදේශ ප්‍රශ්නයකි. මේ බලපෑම් අතීත  ජාවාරම්කාර ආර්ථික ප්‍රතිපත්ති නිසා අතවනා ගෙන්වාගත් ඒවාය. කහ පඳුර හිටවන විටත් මෙහෙම නම් සෞභාග්‍යය කරා යන්නට වෙනකොට කොතරම් අමාරු වේද?
මෙබඳු තත්ත්වයන් හමුවේ ගෝඨාභයගෙන්වත්, ආණ්ඩුවෙන්වත් ප්‍රාතිහාර්ය  බලාපොරොත්තු විය නොහැක. ආර්ථික, දේශපාලන කාරණාවලදී ප්‍රාතිහාර්ය  බලාපොරොත්තු විය නොහැක. මෙරට ප්‍රශස්ත ආර්ථික විශේෂඥයකු වූ ආචාර්ය ඇන්.  ඇම්. පෙරේරා වරෙක මෙසේ කීවේය.
සෞභාග්‍යයක් කරා ගමන් කිරීමේදී කෙටි  පාරවල් නෑ. හාස්කම්වල යුගය දැන් අවසන්ව තිබෙනවා. දේශපාලන ආර්ථික කාරණාවලදී  කළ හැකි හාස්කමක් නෑ. මා දන්නා එකම හාස්කම නිතිපතා වෙහෙසවී වැඩ කිරීමයි.
ගෝඨාභය දන්නා ඉතුරුව තිබෙන එකම හාස්කම එයයි.