News

ගෝඨාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

එම පෙත්සම සලකා බැලීම සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකෙරුණි.

ඉන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

මේ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද හැකියාවක් ලැබෙයි.