brand logo

ගොවීන් වී වගාවෙන් ඉවත්වීමට තීරණය කරයි (වීඩියෝ)

13 October 2021

කෘෂිකර්ම ඇමතිව අනිවාර්යයෙන්ම උසාවි ගේනවා - ගොවි නායකයින්

ප්‍රමාණවත් පොහොර කෘෂිරසායන හා වගා පාඩුවට වන්දි දෙන ප්‍රමාණය නිශ්චිත වශයෙන් සදහන් කරන තුරු මහ කන්නයේ වී වගාවෙන් ඉවත්වීමට ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීන් තීරණය කර තිබේ. ඒ, ඊයේ (12) පැවැති කන්න රැස්වීමේදීය. මෙහිදී ගොවි නායකයින් සදහන් කළේ නොවැම්බර් මස පළමු වැනි දිනට පෙර මෙම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නේ නම් පමණක් වී වගාවට යාහැකි බවයි. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් අයි එල් වික්‍රමනායක, කෘෂිකර්ම අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වීරවිල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැති කන්න රැස්වීමේදී කාබනික පොහොර සහ ජෛව ක්‍රම වලට පමණක් වල් මර්ධනය කරමින් මෙවර වී වගාව සිදු කළ යුතු බවට ප්‍රකාශ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

පසුගිය කන්නේ පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නිසි පරිදි වී වගාවට යෙදීමට නොලැබීම හේතුවෙන් එම කන්නේ අස්වැන්න සියයට 50කින් පමණ අඩු වී ඇති බවත්, ඒ පිළිබදව තක්සේරු කිරීමට හෝ කිසිදු නිලධාරියෙක් ක්ෂේත්‍රයට නොපැමිණි බවත් පාඩුවට වන්දි මුදල් ලබාදෙන බවට රජය වගකිව යුත්තන් විසින් මාධ්‍ය ඉදිරිපිට පුරසාරම් දෙඩුවට අද වෙනතුරුත් කිසිදු වන්දි මුදලක් ලබානොදීම හේතුවෙන් මහා කන්නයේ පිළිබද විශ්වාසය තැබිය නොහැකි බව ගොවි සංවිධානයේ සභාපති සාමිත චතුරංග පැවසීය.

අක්කරේකට කාබනික පොහොර කිලෝ ග්‍රෑම් පන්සියක් ලබාදෙන බවට රජය මගින් පවසා තිබුණද, එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකින් තහවුරු වී නොමැති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා සදහන් කළ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය වන්නේ කාබනික පොහොරත් රසායනික පොහොරත් මිශ්‍ර කිරීමෙන් සාර්ථක අස්වැන්නකට යා හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිර්දේශය බවත් මෙහිදී සදහන් කරන ලදි. වගා පාඩුවට වන්දි ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා ද යන්න පිළිබදව මෙහිදී ගොවීන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ. කෙසේ වෙතත් රජය මගින් ගත් ප්‍රතිපත්ති තීන්දුවට අවනතව කටයුතු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් තවමත් චක්‍රලේඛ නිකුත් කර නොමැති නිසා වගකීමක් ගත නොහැකි බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා මෙහිදී ගොවීන්ට සදහන් කර ඇත. පසුගිය කන්නයේ වී වගාව ආරම්භයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් වගා හානි වලට සහ අඩුවන අස්වැන්න පිළිබද යම් මුදලක් ගෙවන බව පැවසුවේ ද පසුගිය කන්නේ වගා හානිය සහ අස්වැන්න අඩුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වන්දි මුදලක් ලබාදීමට කටයුතු නොකල බැවින් කෘෂිකර්ම අමාත්‍යවරයා අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව දකුණු ඉවුරේ ගොවි සමිති නායකයෙක් එම කන්න රැස්වීමේදි පැවසීය. අමිල සම්පත් ශ්‍රී - තිස්සමහාරාම https://www.youtube.com/watch?v=hHQpQ72V-Lg
 

More News..