විශේෂාංග

ගෙදර ඉඳන් රැකියාව කරන්නේ මෙහෙමයි

මෙකල ශ්‍රී ලංකාවෙහි ජීවත් වන්නේ ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දුන් ප්‍රථම ශ්‍රී ලාංකික පරම්පරාවයි.

එනිසාම ඔවුහු අලුත් අත්දැකීම්, අලුත් සංකල්ප, අලුත් සටන් පාඨ හා අලුත් වචන පවා හඳුනාගනිමින් භාවිතයට ගනිමින්ද සිටිති.

‘‘ලොක් ඩවුන්’’ කිරීම යනු එවැනි එක් සංකල්පයකි. සමහර රටවල් හා නගර මේ වන විට මුළුමනින්ම ලොක් ඩවුන්ය. ඒ සමග ලංකාවද ලොක් ඩවුන් කළ යුතු බවට සටන් පාඨයක් නිර්මාණය වී සමාජ ජාලා තුළ සැරිසරන්නට පටන් ගෙන තිබේ.

ඒ ආකාරයෙන්ම නැතත් ලංකාව වෙනත් ආකාරයකින් ඒ තත්ත්වයට මුහුණ දෙමින් සිටී. එහි කැපී පෙනෙන ආරම්භය සටහන් වූවේ පාසල් නිවාඩුවෙනි. අප්‍රේල් 06 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ පාසල් නිවාඩුව මාර්තු 13 දින දක්වා පෙරට ගෙන එන ලදී. යළි ආරම්භ වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 21 වැනිදාය. ඉන්පසු සතියේ පළමු දින හතර (16-19) රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එතැන් සිට රටේ බොහෝ දෙනකු මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නයක් වූවේ 20දා (සිකුරාදා) රජයේ නිවාඩු දිනයක් වේද. නැද්ද යන්නයි. එවිට සති අන්තයත් සමග දිගටම නිවාඩු බව ඔවුන්ගේ ගණන් හදා බැලීම විය.

එහෙත් සිකුරාදාට පෙරදා එනම් 19 වැනිදා ජනාධිපති කාර්යාලය මේ සම්බන්ධයෙන් වෙනස්ම චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. එමගින් කියැවුණේ 20 වැනි දා සිට 27 දින දක්වා කාලය ගෙදර සිට වැඩ කළ යුතු කාලයක් බවයි.

එය මෙරට රාජ්‍ය සේවයේ ඉතිහාස ගත වන චක්‍රලේඛයක් විය යුතුය. ගෙදර ඉඳන් වැඩ කිරීමේ සංකල්පය සමස්ත රාජ්‍ය සේවයට නිල වශයෙන් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙය වන බැවිණි.

එබැවින් මේ චක්‍රලේඛයෙන් ලබා දෙන පණිවුඩය කොතරම් දුරට ලාංකික සමාජය තේරුම් ගත්තේද යනු වැදගත් ප්‍රශ්නයකි. සරල මතික සමාජයට නම් එය එතරම් දැනුණු බවක් පෙනෙන්නට නැත. ඔවුන් මෙය සලකන්නේ තමන්ට නිවාඩු ලැබුණු තවත් එක් ක්‍රමයක් ලෙස පමණක් බව පෙනේ. ලංකාවේ ජනමතය පිළිබිඹු කරන එක් කැඩපතක් ලෙස සැලකිය හැකි සමාජ මාධ්‍යයෙහි මේ පිළිබඳ පළ කරන සමහර පෝස්ටු ඊට එක් උදාහරණයකි. එබඳු එක් සමාජ මාධ්‍ය ජාලාකරුවකු මෙවැනි ප්‍රශ්නයක් අසා තිබිණි. අසා තිබුණේ ‘‘කන්තෝරුවට ඇවිල්ලත් වැඩ කරන්නෙ නැති උන් ගෙදර ඉඳන් වැඩ කරයිද බං’’ යනුවෙනි.

බැලූ බැල්මට විහිළුවක් ලෙස පෙනුණනද පවතින සමාජ යථාර්ථය අනුව එය විහිළුවක්ම නොවන බව පැහැදිලිය.

එබැවින් මෙම තීරණය කොතරම් ප්‍රායෝගික හා යථාර්ථවාදී තීරණයක් වේදැයි සාකච්ඡා කිරීමේ වැදගත්කම සලකා ඒ පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වෙත යොමු වීමට තීරණය කළෙමු. තීක්ෂණ පර්‌යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ විජයවර්ධන මහතාය.

මෙම තීරණය කොරතම් ප්‍රායෝගිකද යන ප්‍රශ්නයට ඔහුගේ කෙටි පිළිතුර වූවේ මූලික වශයෙන් එය ඒ ඒ වෘත්තිය ක්ෂේත්‍ර මත රඳා පවතින බවයි. උදාහරණයක් ලෙස දැනටත් තමා සම්බන්ධව සිටින පරිගණක ක්ෂේත්‍රයේ විශේෂයෙන් ව්‍යාපෘති කළමනාකරණය සහ ඊට අදාළ බොහෝ කටයුතු පරිගණක තාක්ෂණය මත පදනම්ව සිදු කළ හැකි බව හා දැනටමත් බොහෝ කටයුතු ඒ පදනමින් සිදුවන බවයි.

‘‘කාර්යාලයේ සිට කටයුතු කළත් අපි බොහෝ විට කටයුතු කරන්නේ ඒ ආකාරයටයි. ලිපි ලේඛන කටයුතු හැරුණු විට රැස්වීම්, සාකච්ඡා ආදිය පවා විවිධ මෘදුකාංග භාවිත කරමින් පැවැත්වීමේ හැකියාව අපි භාවිත කරනවා. එහෙත් සමහර ක්ෂේත්‍රවල ඒ හැකියාව ඒ අයුරින්ම ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ. ඒ හැකියාව තිබෙන අය පවා මෙතෙක් ඒවා භාවිත නොකිරීමට හේතුව එහි අවශ්‍යතාවක් මේ දක්වා මතු නොවීම විය හැකියි. එහෙත් මේ වන විට තත්ත්වය වෙනස් වී තිබෙන නිසා සියලු ආයතන ඒ තත්ත්වයට හැඩගැසිය යුතුව තිබෙනවා.’’

විවිධ ක්ෂේත්‍ර සඳහා දුරස්ථ සේවා සැපයීමට ඇති හැකියාව සඳහා එක් උදාහරණයක් ලෙස විජයවර්ධන මහතා ඉදිරිපත් කළේ වාහන සඳහා වාර්ෂික ආදායම් බලපත්‍ර සැපයීමේ සේවයයි.

‘‘දුම් සහතිකය ලබා ගැනීමේ අවස්ථාවේ සිට ආදායම් බලපත්‍රය ලබා ගැනීම දක්වා සියලු කටයුතු මේ වන විට ඔන් ලයින් සේවාවන් මගින් ඉටු කර ගත හැකියි.’’

ඒ හැරුණු විට දැනට මෙම තාක්ෂණය එතරම් දුරට අදාළ කර නොගන්නා බොහෝ ​ක්ෂේත්‍රවලටද එය අදාළ කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ විජයවර්ධන මහතා කරුණු පැහැදිලි කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුම අර්බුදය සම්බන්ධ වන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඔහු උදාහරණ දක්වමින් කරුණු පැහැදිලි කළේය.

ඉන්දියාව වගේ රටක් උදාහරණයට ගත්තොත් එහි තිබෙන විශේෂඥ වෛද්‍ය හිඟයට පිළිතුරු සොයාගෙන තිබෙන්නේ මෙම තාක්ෂණික ප්‍රවේශය මතයි. ඒ සඳහා ඔවුන් හඳුන්වා දී තිබෙන ටෙලි මෙඩිසින් ක්‍රමය ඔස්සේ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඔවුන් සමත්ව සිටිනවා.

එහිදී සුදුසුකම් ලත් සාමාන්‍ය වෛද්‍යවරයකු වෙත යාම ප්‍රමාණවත්. එම වෛද්‍යවරයා ටෙලි මෙඩිසින් ඔස්සේ රෝගියාට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දෙනවා.’’

ශ්‍රී ලංකාවද දැනටමත් යම් උපදේශන සේවාවන් ලබා ගැනීම සඳහා එවැනි ප්‍රවේශයන්ට එළැඹ සිටී. කඩිනමින්ම දුරස්ථ සේවාවන් සඳහා එළඹිය යුතු තවත් ​ක්ෂේත්‍රයක් ලෙස විජයවර්ධන මහතා හඳුන්වා දුන්නේ බැංකු ක්ෂේත්‍රයයි.

උදාහරණයක් ලෙස මම දැනට බැංකුවකට යන්නේ ඉඳහිට ​චෙක් එකක් මාරු කරගන්න අවශ්‍ය වුවොත් පමණයි. අනෙක් සියලුම කටයුතු එම online සේවාවන් මගින් ඉටු කර ගන්නවා.

මෙහිදී විජයවර්ධන මහතාගේ අදහස් වන්නේ තවදුරටත් එම අවස්ථා පුළුල් කළ යුතු අතර තිබෙන අවස්ථා පොදුජනයා අතර යන ප්‍රශ්න මෙහිදී නිතැතින්ම මතු වේ.

‘‘මම හිතන්නේ ඒ අභියෝගය ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත්. දැන් ඔහු සමග වැඩ කරන කණ්ඩායමට, ආයතන ප්‍රධානීන්ට ඒ අභියෝගය ජය ගැනීමේ වගකීම පැවරෙනවා.’’

‘‘දැන් හෙට උදේ (හර්ෂ විජයවර්ධන මහතා සමග දුරකථනයෙන් අපන මේ සාකච්ඡා කරමින් සිටියේ චක්‍රලේඛය නිකුත් වූ දවසේ රාත්‍රියේය.) ඔව් හෙට උදේ මේ රටේ සියලු ආයතන ප්‍රධානීන්ට පැවරෙන වගකීමක් තමයි මේ අභියෝගය ජය ගැනීම සඳහා සැලසුම් සකස් කිරීම.

අත්‍යවශ්‍ය කී දෙනෙක් කාර්යාලයට පැමිණිය යුතුද, කී දෙනෙක් ගෙදර සිට වැඩ කරනවාද? ගෙදර සිටින අයට පැවරෙන වැඩ කිරීම සඳහා ප්‍රමාණවත් හැකියාවක් හා සම්පත් මොනවාද ඔවුන්ට ඒවා තිබෙනවාද.

මේ සියලු දේ තක්සේරු කොට අලුත් තත්ත්වය යටතේ වැඩ කිරීම තමයි හෙට සිට මේ රටේ ආයතන ප්‍රධානීන්ට පැවරෙන වගකීම. අලුත් සංස්කෘතියක් පටන් ගන්නේ එහෙමයි’’ වැඩි දුරටත් කතා බහ කිරීමේදී විජයවර්ධන මහතාගෙන් පැහැදිලි වූ කරුණක් වූවේ කොරෝනා වසංගතය වර්ධනය වෙමින් පැවැති මුල් අවස්ථාවේම තමන් ඇතුළු වෘත්තීය කණ්ඩායම් මේ අභියෝගය පෙර කියන දැක ඊට සූදානම් වූ බවයි. පළමුවන ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය වගේ අවස්ථා ගත්තොත් ඒවා ලෝක ඉතිහාසයේ මහා ඛේදවාචක. නමුත් ඒ සෑම ඛෙදවාචකයකටම පසු ලෝකයේ අලුත් පිම්මකින් ඉදිරියට ඇවිත් තියෙනවා.

මේ ඛේදවාචකයත් අපි එවැනි අවස්ථාවක් බවට පත් කරගත යුතුයි.

මෙහිදී ඔහු ශ්‍රී ලංකාව මේ ඛේදවාචකයෙන් ගොඩ එන අතර අත්පත් කර ගත යුතු ජයග්‍රහණය ලෙස සලකන්නේ නව තාක්ෂණයට මාරුවීමයි.’’

‘‘මම හිතන්නේ මේ අවස්ථාවේ වත්මන් ජනාධිපතිතුමා තමන් ගතානුගතික නායකයෙක් නොවන බව සනාථ කර තිබෙනවා. සාම්ප්‍රදායික කළ හැකිව තිබුණු දේ වන්නේ සතියක් නිවාඩු දීමයි. එවැනි නිවාඩුවක් දීම වෙනුවට ගෙදර සිට වැඩකිරීමේ සංකල්පයක් හඳුන්වා දීම මගින් ජනාධිපති තුමා තමන්ගේ මුළු රාජ්‍ය යන්ත්‍රයටම අභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා.’’

ඒ අභියෝගය භාර ගැනීමට පවතින රාජ්‍ය යන්ත්‍රය සූදානම්ද? ශක්තිමත්ද?

විජයවර්ධන මහතා මෙරට පරිගණක තාක්ෂණය මත පදනම් වූ විප්ලවයේ පුරෝගාමී අත්දැකීම් ඇත්තෙකි.

ඔහුගේ අදහස වන්නේ යෝජිත දුරස්ථ තාක්ෂණික විප්ලවය සඳහා අවශ්‍ය මෙවලම්, අවි, ආයුධ බොහෝමයක් දැනටමත් අප සතුව ඇති බවයි. අවශ්‍ය වන්නේ මේ මොහොතේම ඒ තාක්ෂණය ජයග්‍රහණ අදාළ කර ගැනීමයි.

‘‘එවැනි සමහර ජයග්‍රහණ මේ මොහොතට කොතරම් අදාළ දැයි අපි කල්පනා කළ යුතුය. උදාහරණයක් ලෙස තොරතුරු සන්නිවේදනය, ප්‍රවාහන සේවය වැනි ඕනෑම ක්ෂේත්‍රයකට මේ මොහොතේ එම තාක්ෂණික ජයග්‍රහණ අපට අදාළ කරගත හැකිය.

උදාහරණයක් ලෙස ප්‍රවාහන සේවය ගන්න. පවතින සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය තුළ එක් වාහනයක ගමන් කරන මගීන් සංඛ්‍යාව සීමා කිරීමේ අවශ්‍යතාව අපි දරනවා. නමුත් එය සාර්ථක කර ගැනීමට නම් මගීන්ට ගමන් වාර පිළිබඳ නිසි අදහසක් තිබිය යුතුයි. ඒ සඳහා GPS තාක්ෂණය යොදා ගත හැකියි. මෙවැනි උදාහරණ ඕනෑම ක්ෂේත්‍රයකට අදාළව දැක්විය හැකියි.

මේ මොහොතේ සියලු යෙදවීම් කළ හැකි යැයි මම සිතන්නේ නැත.

නමුත් ආරම්භයක් ලෙස මේ මොහොත යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අතර මේ මොහොතේ භාවිතයට ගත හැකි ක්‍රමවේද හඳුනා ගනිමින් අපට මේ අලුත් ආරම්භය සටහන් කළ හැකියි.’’

විශේෂයෙන්ම මේ මොහොතට අදාළ කරගත හැකි ප්‍රමුඛ විසඳුමක් ලෙස E learning මාධ්‍ය හඳුන්වා දිය හැකියි. කොරෝනා උවදුරෙන් මිදීමට නිවැරදි සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය සඳහා ප්‍රමාණවත් සෞඛ්‍ය අධ්‍යාපනයක් මේ මොහොතේ සමාජයට අවශ්‍යව තිබෙනවා. ඒ සඳහා E learning මාධ්‍ය ප්‍රචලිත කිරීමට ඉදිරි දින කිහිපය විශේෂයෙන් කැප කළ යුතු යැයි මම සිතනවා.

මෙහිදී විජයවර්ධන මහතා මෙරට තොරතුරු තාක්ෂණ ඉතිහාසයේ තම අද්දැකීම්ද මෙනෙහි කරයි.

‘‘විවිධ යුගවල, විවිධ ආයතන විශාල ධනස්කන්ධයක් මේ ර​ටේ තොරතුරු තාක්ෂණයේ ඉදිරිගමන වෙනුවෙන් ආයෝජනය කරල තියෙනවා. ඒ සමහර යෙදවීම් කිසිම විදියකින් නම් මේ රටේ හෝ සමාජයේ ඉදිරි ගමනට යොදා ගෙන නැති බවත් අපි දකිනවා. ඒ නිසා මම හිතනවා ඒ සියලු ජයග්‍රහණයන් අපේ ඉදිරි ගමන සඳහා යොදා ගැනීමට ලැබී තිබෙන හොඳම අවස්ථාව මෙය බව.

මෙහිලා එක් ජාත්‍යන්තර උදාහරණයක්ද විජයවර්ධන මහතා ඉදිරිපත් කළේය.

‘‘2001 අවුරුද්දේ ස්ටොක් හෝම්වල තිබුණු ජාත්‍යන්තර සමුළුවකට මම තවත් පිරිසක් සමග සහභාගි වුණා. එහි තේමාව වී තිබුණේ තොරතුරු තාක්ෂණය මත පදනම්ව ජාල ගත කිරීම. I net 2001 නමින් හැඳින්වූ ඒ සමුළුවට සර්වියානු විශේෂඥවරියක් පැමිණ සිටියා. ඒ වන විට සර්වියාව digital network ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් කරගෙන හිටපු රටක්. අපි ඒ සාර්ථකත්වයට හේතු සාකච්ඡා කළා. එහිදී හෙළිවූ කරුණ නම් ඔවුන්ගේ සාර්ථකත්වය හේතුව යුද්ධයෙන් එල්ල වූ තර්ජන හා අභියෝග බවයි. 90 දශකයේ සර්වියාව දරුණු යුදමය තත්ත්වයට මුහුණ දී සිටියා. ඊට අභ්‍යන්තරයේ අග නුවර තුළ පවා නිදහසේ ගමන් කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබුණේ නැත. ඔවුන් ඒ අභියෝගයට මුහුණ දුන්නේ තොරතුරු තාක්ෂණය මත හිටිමින්. digital network ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමෙනුයි.

මේ වනවිට යුද්ධයක් නැතත් ගෝලීය වසංගත තර්ජනය හමුවේ අපි ඊට නොදෙවෙනි අභියෝගයකට මුහුණ දී සිටිනවා.

ඒ දරුණු අභියෝගය අවස්ථාවක් බවට පත් කර ගනිමින් අපටත් දැඩි ජයග්‍රහනය අත්පත් කර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙන බව මගේ විශ්වාසයයි.

සී. දොඩාවත්ත