කතුවැකි

ගෙදර ඉන්න දරුවන්ට උගන්වන්නේ කොහොමද?

කොරෝනා වංසගතය නිසා අපගේ එදිනෙදා කටයුතු අඩපණ වී ඇතත් ඒවා මුළුමණින්ම අතහැර දමන්නට හැකියාවක් නැත. එසේ වුවහොත් මේ වසංගතය නිමාවූ දිනක අපට ජීවිත ආරම්භ කරන්නට වන්නේ පරාජිතයන් ලෙසිනි. අපගේ එදිනෙදා කටයුතු යම් යම් සීමාවන්ට යටත්ව හෝ කරගන්නේ කෙසේ දැයි අලුතෙන් සිතිය යුතුව ඇත්තේ මේ නිසාය. කාර්යාලයට ගියත් වැඩ නොකරන උන් ගෙදර ඉඳන් වැඩ කරයිද යනුවෙන් ඇතැමෙක් උපහාසයෙන් විමසුවත් දැන් බොහෝ දෙනකු ඒ ක්‍රමයට හුරු වෙමින් සිටිති. කොරෝනා වසංගතය අවසන් වූ පසුත් ඇතැමෙකු ඒ ක්‍රමයටම රාජකාරි කරන්නට සිතා බලනු ඇත. යම් යම් අඩුපාඩු ඇතත් එළවළු, මාළු පිනි පමණක් නොව ඖෂධද නිවසටම ලැබෙන පිළිවෙළක් දැන් ක්‍රියාත්මකය.

මේ අන්දමට දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහාද ගුරුවරුන්ගේ මට්ටමින්, පාසල් මට්ටමින් මෙන්ම දැන් රජයේ මට්ටමින්ද වැඩපිළි​වෙළක් ආරම්භ වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව ක්‍රියාත්මක කරන මෙම අධ්‍යාපන වැඩසටහන් දරුවන් වෙත ගෙනඑන්නේ ජාතික රූපවාහිනිය විසිනි. පාසල් විවෘත වන්නේ කවදාද සිතමින් විස්සෝපයට පත්ව සිටින සිසුන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් මෙම වැඩසටහන් මහත් සැනසිල්ලක්වනු ඇත.

කෙසේ වුවත් මීට පෙරත් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය වූ ඇතැම් අධ්‍යාපන වැඩසටහන්වල පැවැති ප්‍රධානම දුර්වලතාව මෙම වැඩසටහන්වලද දක්නට ඇති බව කනගාටුවෙන් වුවත් සටහන් කළ යුතුය. ජපානය ශ්‍රී ලංකාවට රූපවාහිනිය පරිත්‍යාග කරන්නේ එය අධ්‍යාපන මෙවලමක් ලෙස භාවිත කිරීම සඳහාය. ඒ අරමුණු මුළුමනින්ම ඉටු නොවුණත් පසුකාලීනව ඒ ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් විකාශය වුවත් ඒවා තමන්ගේ අධ්‍යාපනයට වැදගත් යැයි මෙරට සිසුන් සැලකිල්ලට ගත් බවක් දක්නට තිබුණේ නැත.

ඊට මූලික හේතුව නම් රූපවාහිනියෙන් ඉගැන්වීම යනු පන්තිකාමරයක හෝ දේශන ශාලාවක කරන ඉගැන්වීමක් රූපගත කර විකාශනය කිරීම ලෙස වරදවා වටහා ගැනීමය. ඉගැන්වීම ගුරුවරුන්ගේ කාර්යය වන නමුත් එය ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ කෙසේද යන්න තීරණය කළ යුත්තේ මාධ්‍යකරුවා විසිනි. නමුත් මේ දිනවල අප දකින අධ්‍යාපන වැඩසටහන්වලද අප එවැනි දෙයක් දකින්නේ නැත. මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති රූපවාහිනියෙන් ඉගැන්වීමේ වැඩසටහන කෙතෙක්දුරට ඵලදායී වනු ඇත්ද යන්න සැක සහිතය.

ගුරුවරුන් තමන්ගේ විෂය හා ඉගැන්වීම් පිළිබඳ ප්‍රවීණයකු විය හැකි නමුත්, ඔහු සන්නිවේදනයේ ප්‍රවීණයකු නොවේ. මාධ්‍යකරුවා සන්නිවේදනය පිළිබඳ දැනුමත් පළපුරුද්දක් ඇතත් ඔහුට විෂය පිළිබඳ හෝ ඉගැන්වීම පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නැත. රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ඉගැන්වීම් සාර්ථකවීමට නම් දෙදෙනාගේම දැනුම එක්කර නව ප්‍රවේශයක් තනාගත යුතුය. එවිට එය පන්තියක පාඩමක් ඉගැන්වීමක් පමණක් නොවන අතර රූපවාහිනී වැඩසටහනක් පමණක්ද නොවනු ඇත.

මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් තිබේ. පළමු කාරණය පන්ති කාමරයේදී මෙන්ම රූපවාහිනියෙන් විෂය නිර්දේශය මුළුමනින්ම ඉගැන්විය නොහැකි බවය. රූපවානිය වැනි මාධ්‍යයක්, වඩා සුදුසු වන්නේ දරුවන්ව ඉගෙනීම සඳහා යොමු කරවා ගැනීම, පුනරීක්ෂණ, ඔවුන්ගේ මානසික තත්ත්වයන්ට ආමන්ත්‍රණය, පොදුවේ සිසුන්ට බලපාන විෂය හා විෂය බාහිර ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම වැනි අධ්‍යාපනය හා බැඳුණු කාරණා සාකච්ඡා කිරීමත්ය.

පන්ති කාමරයකදී සිසුන් ඉගෙනීමට සූදානම්ව ඒ සඳහා සුදුසු මානසික තත්ත්වයක සිටියත්, රූපවානිය ඉදිරිපිට සිටින්නේ සිසුවෙකු නොව ප්‍රේක්ෂකයෙකි. ඔහු සිටින්නේ පාසල් පරිසරයක නොව වෙනත් පරිසරයකය. පන්ති කාමරයේ සියලුදෙනා ඉගෙනීමට සූදානමින් සිටියත් පිටත පරිසරයේ සිටින සියලුදෙනා එසේ නැත. පන්ති කාමරයේදී ශිෂ්‍යයාට අපැහැදිලි තැන් ගුරුවරයාගෙන් විමසා දැනගත හැකි නමුත්, රූපවාහිනියේ ගුරුවරුන්ගෙන් එලෙස පැහැදිළි කර ගැනීමට හැකියාවක් නැත.

ගුරුවරයා පන්ති කාමරයේ සිටින තම සියලු සිසුන්ගේ අධ්‍යාපන මට්ටම් වෙන් වෙන්ව දන්නා නමුත් රූපවාහිනියේ සිටින ගුරුවරයාට තම ප්‍රේක්ෂක සිසුන් ගැන එලෙස දැනගන්නට ක්‍රමයක් නැත. පාසලක විෂය කාලසටහනක් සකස් කිරී‍ම්දී කාලය පිළිබඳවද සැලකිලිමත් වේ.

රූපවාහිනියෙන් උගන්වන්නේ කෙසේ දැයි දැනගත හැකි විදේශ රූපවාහිනී වැඩසටහන් ඕනෑ තරම් තිබේ. එවැනි ඇතැම් වැඩසටහන් අපේ රූපවාහිනී නාළිකාවලද ඉඳහිට ප්‍රචාරය වේ. මේ නිසා අප කියන මේ කාරණා අලුත් දේ නොව දැනටත් ලෝකයේ විවිධ රටවල සාර්ථකව ක්‍රියාත්මක වන කාරණාය. අපේ අධ්‍යාපනඥයන් මෙන්ම මාධ්‍ය ප්‍රධානීන්ද මේවා ගැන නොදැන සිටින්නටද ක්‍රමයක් නැත්තේ මේ අය වාර්ෂිකව පුහුණු වැඩසටහනක් සඳහා විදේශ සංචාරයන්හිද නිරතවන බැවිණි.

කෙසේ වෙතත් රූපවාහිනියෙන් ඉගැන්වීමේදී මේ සියලු බාධාවන් අතික්‍රමණය කළ හැකි අවස්ථාවක් රූපවාහිනි මාධ්‍යයට තිබේ. වර්ණ, ශබ්ද, සංගීතය, රූපසටහන්, වීඩියෝ නිදර්ශන, කාටුන්, ග්‍රැෆික් සටහන් ආදී වශයෙන් රූපවාහිනී මාධ්‍යයේදී භාවිත කළ හැකි බොහෝ අංග උපාංග මෙහිදී භාවිත කිරීමට ගුරුවරයාට අවකාශය තිබේ. ගුරුවරයාත්, සන්නිවේදකයාත් එක්ව මේ වැඩසටහන් සම්පාදනය කිරී‍මේ වැදගත්කම මතුවන්නේ මෙම අංග උපාංග භාවිත කිරීමේදීය.

රූපවාහිනී මාධ්‍ය අද තිබෙන ප්‍රබලම සන්නිවේදන මාධ්‍යයක් වන නමුත් රූපවාහිනියෙන් ඉගැන්වීමේදී වුවත් ප්‍රධාන වන්නේ ගුරුවරයාය. ඒ නිසා රූපවාහිනියෙන් ඉගැන්වීමේදී ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් තෝරා ගැනීමද වැදගත්ය. උගන්වන පාසල හෝ දරන තනතුර මෙන්ම ගුරු සේවයේ දීර්ඝ කාලයක් සිටීම හෝ බලධාරීන්ගේ දැන ඇඳුනුම්කම්වලට වඩා වැදගත් වන්නේ දරුවකුට යමක් අවබෝධ වන ලෙස ඉගැන්වීමට හැකියාව තිබේද යන්නය.

රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් කොතරම් ප්‍රශස්ත අන්දමින් සකස් කොට ඉදිරිපත් කළත් ඒවා ඵලදායී වන්නේ රටේ සමස්ත ශිෂ්‍ය පරම්පරාව වෙතම ඒවා එකහා සමානව ළඟාවුවහොත් පමණකි. මේ නිසා මෙම වැඩසටහන් විකාශය කරන නාළිකාව රටේ සෑම තැනකදීම එකසේ නැරඹිය හැකිද යන්නත් සොයා බැලිය යුතු කාරණයකි.