කතුවැකි

ගුරු සංගම්වල බ්‍රහ්ම ප්‍රතිපත්තිය

අපේ රටේ විරුද්ධ පක්ෂවලටත් වෘත්තීය සමිතිවලටත් එක් පොදු ලක්ෂණයක් තිබේ. ඒ ඕනෑම දේකට විරුද්ධවීම හා හැම දෙයක්ම විවේචනය කිරීමය. කුමන පක්ෂය විපක්ෂයේ සිටියත් ඔවුන්ගේ සිරිත වන්නේ ආණ්ඩුවේ හැම වැඩක්ම විවේචනය කිරීමය. අඩුපාඩු සෙවීම හා විවේචනය කිරීම පහසුය. දුෂ්කර වන්නේ වැඩ කිරීමය. අපේ බොහෝ වෘත්තීය සමිතිද තෝරා ගෙන තිබෙන්නේ පහසු මාර්ගයයි. හැම දේටම බාල්දි පෙරළනවා මිස යමක් කරනවා තබා කළ හැකි ක්‍රමයක් ගැන හෝ කියන්නට ඔවුන් අසමත්ය.

මේ දිනවල අපේ ගුරු සංගම් කියන කරන දේවල්වලින් මේ බව හොඳින් තේරුම් ගත හැකිය. ඔවුන්ට අනුව පාසල් වැසීම වැරදිය. එහෙත් පාසල් විවෘත කිරීමටද විරුද්ධය. පාසල් වසා තිබීම නිසා දරුවන්ට සිදුවන පාඩුව පියවා ගැනීමට ඔන්ලයින් ඉගැන්වීමටද විරුද්ධය. එහෙත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවීමට කළ යුත්තේ කුමක්දැයි ඔවුන් කියන්නේද නැත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් තත්ත්වය නිසා පැවැත්වීමට සිදුවූයේ මේ වසරේ මාර්තු මාසයේය. සාමාන්‍යයෙන් මාස තුනකින් පමණ එම විභාගයේ ප්‍රතිඵල ලබා දෙන නමුත් මෙවර ප්‍රතිඵල තවත් ප්‍රමාද වන තත්ත්වයක් උද්ගත වී තිබේ. කොවිඩ් නිසා නොව ගුරු සංගම් විරෝධය නිසාය.

මාස තුනක් ප්‍රමාද වී හෝ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ නමුත් සංගීතය, නාට්‍ය හා රංග කලාව හා නැටුම් යන සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කොවිඩ් වයිරසය ඉඩ දුන්නේ නැත. මේ නිසා සෞන්දර්ය විෂයයන් සඳහා පාසල් පාදක ඇගයීම් ලකුණු හෙවත් සිසුන් පාසල් වාර විභාගවලදී ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලබා ඇති ලකුණු මත පදනම්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත. ඊට හේතු වූයේ ගුරු සංගම් විරෝධයයි.

ගුරු සංගම් අවධාරණය කරන්නේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍ර්‍රායෝගික පරීක්ෂණ අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවය. එහෙත් ඊට සාධාරණ හේතුවක් ඔවුන් ඉදිරිපත් කරන්නේ නැත.

ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා පත් කෙරෙන්නේ ගුරුවරුන් වන අතර ඒ සඳහා ඔවුන්ට දීමනාවක් ද ගෙවනු ලැබේ. කොවිඩ් තත්ත්වය නිසා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විය නොහැකි බව දැන දැනත් එම පරීක්ෂණ පැවැත්විය යුතු බව බල කරන්නේ මේ නිසා විය හැකිය. එය එසේ නම් ඔවුන් යළිත් ඔප්පු කර පෙන්වන්නේ තමන් මුදලට වැඩ කරන කම්කරුවන් පිරිසක් මිස වචනයේ අර්ථයෙන්ම ගුරුවරුන් නොවන බවය. ඔවුන් සැබෑ ගුරුවරුන් නම් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාදය නිසා සිසුන්ට සිදුවන පාඩුවත් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවන අවුලත් තේරුම්ගත යුතුය.

පසුගිය වසරේද කොවිඩ් තත්ත්වය නිසා ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා පාසල් පාදක ඇගයීම් ලකුණු මත පදනම්ව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට යෝජනා වූ නමුත් ඒ සඳහා වෘත්තිය සමිති එකඟ වූයේ නැත. මෙවර රටේ කොවිඩ් පැතිරීම පසුගිය වසරට වඩා බරපතළය. ඩෙල්ටා වැනි නව ප්‍රභේද පවා රට තුළ පැතිරෙන්නට පටන් ගෙන තිබේ.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම එම විභාගයට පෙනී සිටි තුන්ලක්ෂයකට අධික සිසු පිරිසගේ පමණක් නොව සමස්ත අධ්‍යාපන පද්ධතියම එක තැන හිරවෙන ප්‍රශ්නයකි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාදය නිසා උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කල් යෑමට හේතුවකි. උසස් පෙළ පන්ති ප්‍රමාද වී ආරම්භ කිරීමෙන් සිදුවන්නේ උසස් පෙළ විභාග කල්යාමය. එය විශ්වවිද්‍යාලවල නව කණ්ඩායම් බඳවා ගැනීම ප්‍රමාදයට හේතුවකි.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ගුරු සංගම් කටයුතු කරන්නේද මෙවැනිම බ්‍රහ්ම ප්‍රතිපත්තියකට අනුවය. ගුරුවරුන්ට හා සිසුන්ට එන්නත් ලබාදී නැති නිසා පාසල් විවෘත කිරීමට ඔවුන් විරුද්ධය. ඔවුන්ගේ විරෝධය ඇතත් නැතත් ප්‍රායෝගිකව පාසල් විවෘත කළ නොහැකි නිසා මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමට පියවර ගෙන තිබේ. එවිට ඔවුන් කියන්නේ පිට පළාත් දරුවන්ට ඒ සඳහා තාක්ෂණික පහසුකම් නොමැතිබවය. එයද සත්‍යයකි. මේ නිසා එවැනි දරුවන් වෙනුවෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන විට ඊටද ගුරු සංගම් අකැමැතිය. ඔවුන් කියන්නේ සිසුන්ට හා ගුරුවරුන්ට එනනත් ලබාදී නොමැති නිසා තමන් ඊට එකඟ නොමැති බවය. බැලූ බැල්මට මෙම ප්‍රකාශය සත්‍ය සේ පෙනෙන නමුත් වයස අවුරුදු 30ට අඩු අයට එන්නත් දීමට තවමත් අනුමැතියක් නොමැති බව ඔවුන් නොදන්නේද? එකී අනුමැතිය ලැබෙන තෙක් සිසුන්ට එන්නත ලබාදීමට ක්‍රමයක් නැත. එසේ නම් ඔවුන් කියන්නේ ගුරුවරුන්ට එන්නත නොමැතිව ඉගැන්වීමේ කටයුතුවල යෙදිය නොහැකි බව විය ​නොහැකිද?

සමාජයේ සියලු දෙනාට එන්නත ලබා දිය යුතු බව ගැන විවාදයක් නැත. එහෙත් එන්නත ලබා නොගත් රජයේ හා පෞද්ගලික සේවකයන් ඕනෑතරම් තම තමන්ගේ රැකියාවල නිරත වෙති. විශේෂයෙන්ම බැංකු සේවකයන් වැනි වැඩි අවදානමක් ඇති අයටද තවමත් එන්නත ලැබී නැත. එන්නත නැතත් ගුරුවරුන් පවා තම තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා සමාජයේ නොයෙක් තැන්වලට යමින් එමින් සිටිති. එසේ නම් සිසුන් දස දෙනෙක් පමණක් ගෙන්වන ප්‍රාදේශීය අධ්‍යාපන මධ්‍යස්ථානවලට ඔවුන්ට පැමිණිය නොහැකි කුමක් නිසාද? දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ගැන කෙසේ වෙතත් අඩුම වශයෙන් ජනතා මුදලෙන් ගෙවන වැටුප ගැන සිතා හෝ තමන්ගේ රාජකාරිය ඉටු කිරීමේ වගකීමක් ඔවුන්ට තිබිය යුතු නොවේද?

මේ රටේ සියලුම දරුවන් මේ ආකාරයට තමන්ට ලැබෙන දේ ගැන පමණක් සිතා කටයුතු කරන භ්‍රෂ්ටයන් යැයි අප සිතන්නේ නැත. බහුතරයක් ගුරුවරුන් රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් වැටුපට සීමා නොවී තමන්ගේ සේවය ලබාදීමට සූදානම් බව අපට විශ්වාසය. එහෙත් මේ ගුරුවරුන්ගේ ගෞරවය පවා කෙළසමින් සිටින්නේ ඊනියා වෘත්තීය සමිතිය.

අපට තේරුම්ගත නොහැක්කේ ගුරු වෘත්තියට මෙන්ම මිනිස්කමට පවා නිගා කරමින් සමස්ත ගුරු පරපුරේ හිමිකම් ග්‍රහණයට නතු කරගෙන සිටින ගුරු සංගම්වලට ඕනෑ ආකාරයට අධ්‍යාපන අමාත්‍යාංශයේ නැටවෙන්නේ කුමන හේතුවක් නිසාද යන්නය. මෙම ගුරු සංගම් පදයට නටන්නේ නොමැතිව දරුවන් ගැන සිතා කටයුතු කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නේ නම් එය දරුවන්ට පමණක් නොව මේ රටේ සැබෑ ගුරුවරුන්ටද මහත්ම සේවාවක් වනු ඇත.