කතුවැකි

ගුරු – විදුහල්පති වර්ජන කා වෙනුවෙන් කුමක් සඳහාද?

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පැවැති උද්ඝෝෂණයකට ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරයට විරෝධය පළ කරමින් රට පුරා ගුරුවරු ගුරුවරියෝ අද වැඩවර්ජනයක් අරඹා තිබේ. යෝජිත කොතලාවල පනතට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා (08දා) දිවයිනේ නොයෙක් තැන්වල විරෝධතා පැවැති නමුත් දීපව්‍යාප්ත ගුරු වර්ජනයකට නිමිත්ත සැපයූ උද්ඝෝෂණය පැවැතියේ පාර්ලිමේන්තුව අසල පොල්දූව වටරවුමේය. මෙම විරෝධතාවට නායකත්වය දුන් වෘත්තිය සමිති නායකයන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් උසාවියට රැගෙන ගියේ තිරිසන් සතුන්, වන මෘගයින් මෙල්ල කරන ආකාරයෙනි. වයෝවෘද්ධ කාන්තාවන්ට පවා පොලිසියේ මේ සැලකීමෙන් ගැලවී යෑමට හැකි වූයේ නැත.

මෙම පිරිස අත්අඩංගුවට ගත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කළ නිසා බව පොලිසිය කියන නමුත් එය ඇඟ බේරා ගැනීමේ පිළිතුරක් බව ඕනෑම මෝඩයෙකුට තේරුම්ගත හැකිය. ඇප නියම වීමෙන් පසු නිරෝධායනයට ගෙන ගිය පිරිසට සලකන ආකාරය දෙස බැලීමෙන් පමණක් වුවත් එය තේරුම්ගත හැකිය. විරෝධතාකරුවන්ට මේ ආකාරයට සලකන්නැයි උපදෙස් දුන්නේ කවුරුන් වුවත් අපට නම් සිතෙන්නේ, ඒ අය මොලය උඩ වාඩි වී සිටින්නකු විය යුතු බවය.

වෘත්තීය සමිති නායකයන් ඇතුළුව විරෝධතාකරුවන්ට තිරිසනුන්ට මෙන් සැලකීමෙන් ඔවුන් මර්දනය කළ හැකි වේ යැයි පොලිසියද කල්පනා කරන්නට ඇති බව පෙනී යන නමුත් පොලිසිය මෙවරද කර ඇත්තේ විරෝධතාකරුවන් ලවා තමන්ගේ පමණක් නොව ආණ්ඩුවේද රෙද්ද කඩා දැමීමය. රෙද්ද කඩාගෙන හෝ ආණ්ඩුවේ මූලික අවශ්‍යතාව ඉටු වූයේ නම් එයද ජයග්‍රහණයකැයි කිව හැකිය. එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා සම්මත කර ගැනීමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත දින නියමයකින් තොරව කල් දැමීමට ආණ්ඩුවට සිදුව තිබේ. දැන් සිදුව ඇත්තේ එළුවාත් මුට්ටියත් දෙකම නැතිවුණා වැනි වැඩකි.

බැලූ බැල්මට මෙම තත්ත්වය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි සටන පළමු පියවරේදී ජය ගෙන ඇති බවක් යැයි කිව හැකිය. එසේ තිබියදී අද සිට දිවයින පුරා ගුරු වර්ජනයක් කැඳවා තිබීමෙන් පෙනී යන්නේ ගුරු සංගම් ඇතුළු කොතලාවල පනතට එරෙහි බලවේගයද ආණ්ඩුව තරම්ම තකතීරු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි සටනේ මුඛ්‍ය අරමුණ ලෙස වෘත්තිය සංගම් පෙන්වා දෙන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමය. නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගත යුතු බවට විවාදයක් නැත. එහෙත් එම පනත පිළිබඳ තීරණයක් ගැනීම දින නියමයකින් තොරව කල් දමා තිබෙන තත්ත්වයක් තුළ ගුරු වර්ජනයක් කැඳවා ඇත්තේ කුමටද? අපට සිතෙන ආකාරයට නම් මෙම ගුරු වර්ජනයත්, ආණ්ඩුව පොලිසිය ලවා විරෝධතාකරුවන්ට අමානුෂිකව සලකා නිරෝධායනය ඔවුන්ට දඬුවමක් කිරීම අතරත් වෙනසක් නැත. ගුරු සංගම් මේ වර්ජනය කැඳවා ඇත්තේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන්ද නැතහොත් ආණ්ඩුව තමන්ට සැලකූ ආකාරයට පිළිතුරක් ලෙසද?

ආණ්ඩුව කොතලාවල පනතට එරෙහි විරෝධතාකරුවන්ට සැලකූ තුච්ඡ පිළිවෙතට එරෙහිව පියවර ගත යුතු නමුත්, ඊට විරෝධය පළ කළ යුතු නමුත්, ගුරු වර්ජනයක් කැඳවීමෙන් රිදෙන්නේ ආණ්ඩුවටද? මේ රටේ ලක්ෂ සංඛ්‍යාත සිසු පරපුරටද? තමන්ගේ කුමන හෝ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකින් රටේ සිසුන්ට අයහපතක්, අවැඩක් සිදුවන්නේ නම් ගුරු සංගම් හෝ කුමන බහුජන සංවිධානයක් හෝ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කිව හැකිද?

වෙන කවදා වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වන ලෙස ගුරු වර්ජන පැවැත්වීම සාධාරණ යැයි කිව හැකි නමුත් මේ දිනවල ගුරුවර්ජන කිසිම ආකාරයකින් සාධාරණීයකරණය කළ හැකි යැයි අප සිතන්නේ නැත. කොවිඩ් වසංගතය හේතු කොට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් රටේ දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් ලබා ගන්නට හැකි වූයේ නැත. මීට විසඳුමක් ලෙස මාර්ගගත (Online) ක්‍රමයට ඉගැන්වීම සිදුවුවත් එම පහසුකම ඇත්තේ රටේ දරුවන්ගෙන් සියයට 60කට පමණක් බව අධ්‍යාපන බලධාරීන්ද ප්‍රකාශ කර තිබේ. පහසුකම් ඇති දරුවන්ටද පන්ති කාමරයේදී තරම් පරිපූර්ණ අධ්‍යාපනයක් නොලැබෙන බව ගුරුවරුන්ගේ හදවත්වලට තට්ටු කර බැලුවොත් කියනු ඇත. එසේ නම් හෘදය සාක්ෂියක් ඇති ගුරුවරුන්ට මේ අවස්ථාවේ කුමන හේතුවක් නිසා හෝ දරුවන්ගේ ඉගෙනීමට බාධාවක් වන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට නොහැකි බව අපගේ අදහසය.

නිදහස් අධ්‍යාපන අයිතිය රටේ දරුවන්ගේ අයිතියකි. ආණ්ඩුවක් ඒ අයිතියට බාධා කරන විට ඊට එරෙහි වන්නට මේ රටේ ඕනෑම කෙනෙකුට අයිතියක් තිබේ. ගුරු සංගම් ප්‍රමුඛව බහුජන සංවිධාන පසුගිය බ්‍රහස්පතින්දා පාරට බැස්සේ තමන්ට ඇති ඒ අයිතියේ නාමයෙනි. එහෙත් ගුරුවරුන් හෝ වෙනත් කවරෙකු හෝ දරුවන්ගේ ඉගෙනීමේ අයිතියට බාධා කරන විට පාරට බසින්නෙ කවුද?

විදුහල්පති සංගම් නවයක්ද නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් නොව තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන වැඩ වර්ජනයක් කැඳවා තිබේ. ඔවුන්ගේ එක් ඉල්ලීමක් වන්නේ මාර්ගගත ඉගැන්වීමේ රාජකාරිය නියාමනය නොකළ යුතු බවය. වැටුප් විෂමතා නැති කිරීම ඇතුළු ඔවුන්ගේ අනෙකුත් ඉල්ලීම් සාධාරණ යැයි කිව හැකි නමුත් මෙම ඉල්ලීමේ නම් කිසිදු සාධාරණත්වයක් පෙනෙන්නේ නැත. මාර්ගගත ඉගැන්වීමේ ක්‍රමවේදයේ බොහෝ අඩුපාඩු තිබෙන අතර එහිදී ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ටද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව සත්‍යයකි. එහෙත් ඊට ඇති පිළියම එය තවදුරටත් නියාමනය නොකර අයාලේ යෑමට ඉඩ දීම යැයි කල්පනා කරන්නේ කෙසේද? මෙහිදී අපට මතුවන ප්‍රශ්නය වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙම නියාමන වැඩසටහන මෙතෙක් කලක් ප්‍රමාද කළේ කුමක් නිසාද යන්නය.

උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය අදාළ ලේඛන සකස් කිරීමේ රාජකාරිවලින්ද ඉවත් වන බව විදුහල්පති සංගම් දැනුම් දී තිබේ. කොවිඩ් තත්ත්වය නිසා උසස් පෙළ විභාගය දැනටමත් කල් ගොස් ඇති අතර එය තවදුරටත් කල් දැමීමටද ඉඩ තිබේ. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකි වී ඇත්තේද ගුරු සංගම් විරෝධයක් හේතු කොට ගෙනය. විභාග හා ප්‍රතිඵල ප්‍රමාදය සමස්ත අධ්‍යාපන පද්ධතියේම ප්‍රමාදයකට හේතු වන බව කාටත් වඩා හොඳින්ම දන්නේ ගුරුවරුන්ය. දැන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින්නේද ගුරුවරුන්මය.

විදුහල්පති සංගම්වල අනෙකුත් ඉල්ලීම් කලක් තිස්සේ ඔවුන් ඉදිරිපත් කර තිබූ ඒවා මෙන්ම ඒවා සාධාරණ බවද අපි දනිමු. එහෙත් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඇති මොහොතක තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා සුදුසු අවස්ථාවක් ලෙස විදුහල්පති සංගම් කල්පනා කරන්නේ කුමක් නිසාද? ගුරු සංගම් වර්ජනයට තල්ලුවක් දීමටද නැතහොත් ඒ පහනින් එළිය ලබා ගන්නටද? හේතුව කුමක් වුවත් මේ අවස්ථාවේ වර්ජනය කිරීම නම් ශිෂ්ට සම්පන්න නොවන බව නොකියාම බැරිය.