විශේෂාංග

ගී ලොව හැඩ කළ මල් ගී

මේ එළැඹ ඇත්තේ මැයි මාසයයි. එය අපට බෙහෙවින්ම වැදගත් වන්නේ වෙසක් උත්සවය නිසාවෙනි. අපේ බෞද්ධ ගීත සාහිත්‍යයේද මල්වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි.

‘‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා – පේවි රකිති සොඳ සීලේ නිබන්දා…’’ අතිශය ජනප්‍රිය එම නූර්ති ගීයෙහි තැනක ‘ඕලූ නෙළුම් හා මානෙල් පුෂ්පාදී’ යැයි සඳහන් වේ. 1904 වර්ෂයේදී මුල්වරට වේදිකාගත වූ ජෝන් ද සිල්වා. සූරීන්ගේ සිරිසඟබෝ නාට්‍යයෙහි ඇතුළත් එම ගීතය. මලෙහි අසිරියෙන් හැඩ වූ අපේ පැරැණිතම ගීතයක් ලෙස සංගීත වංශයට එක්ව ඇත.

‘‘සුවඳ පත්ම ඕලු ආදි – නොයෙක පුෂ්පයෙන් සැදී’’ සිය වසකටත් වඩා පැරැණි එම ගීතයද අදටත් ජනප්‍රියය. එය නීතිඥ ජෝන් ද සිල්වාගේ ‘දුටුගැමුණු’ නූර්තියෙහි ආ ගීයකි. එදවස ඕලු නෙළුම්, මානෙල් ගැන ගී ලියවුණා සේම මෙ දවසද ඒ ගී ලියැවෙයි ගැයෙයි.

‘‘ශාන්ත මේ රෑයාමේ දේ කුමුදු මලේ සිරියා – සඳ කාන්ති නැගේ සෞම්‍යා…’’ මේ ගීතයෙහි පද රචනය, සංගීත නිර්මාණය හා ගායනය පණ්ඩිත් අමරදේවයන්ගෙනි. එම ගීතයෙන් කියැවෙන්නේ රැයෙහි පිපි කුමුදු මලෙක සිරියාව ගැනය. අමරදේවයන්ම ලියා, සංගීතවත් කොට ගැයූ ‘වඳිමු සුගත ශාක්‍ය සිංහ සසර දිනූ බුදු පියා ගීතයෙහි ‘රමණී මන්දාර කුසුම්’ යැයි සඳහන් වේ. එයද යුග යුග රසික සිත් බැඳි ජනප්‍රිය ගීතයකි.

‘‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන – ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලැවෙන කැලෑමල් ගෙන – ඔබේ පිණිපා පුදන්නම්’’ සාම්ප්‍රදායික බොදු බැති ගී ආරෙන් බැහැරව අමරදේවයන් ගයන එම ගීතයේ කැලෑමල් ගැන

මහගමසේකරයන් සඳහන් කර ඇත. මෑත කාලයේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ද කැලෑ මලේ කොහේ ගියාදෝ කියා ගැයුවේ ධර්මරත්න පෙරේරා ලියූ ගීතයකි.

‘‘සමිඳු පාමුල පිදෙන විලසින් – නාමලක් වී මා මළත් කම් නෑ’’ ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පදමාලාවකට අනුව එම ගීතය සංගීතවත් කොට ගායනා කළේ වික්ටර් රත්නායකයන්ය.

‘‘පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න – දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න’’ වික්ටර්ගේ ගී මගෙහි වෙනස් මානයක් සනිටුහන් කළ මෙම ගීතය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පබැඳුමකි. ටී.එම්. ජයරත්නද නාමල් ගැන ගැයු‌වේ නාමල් පිපිලා මේ ගං ඉවුරේ ගීතයෙනි.

මලෙහි සුන්දරත්වය කැටි වූ වෙසක් මලක් ගැන ඉන්ද්‍රානි විජේබණ්ඩාර, රේඛාව චිත්‍රපටයට ගයා ඇත. ඒ ‘වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ’ යන ගීතය ඉන්ද්‍රාණි එසේ ගයද්දී සිසිර සේනාරත්න ‘ඕලු නෙළුම් නෙරිය රඟාලා’ යනුවෙන්ද ඒ චිත්‍රපටයට ගැයුවේය.

ඉතා රමණීයවූත්, මටසිලිටි වූත් බස් වහරකින් යුත් ඒ ගී පදමාලා රචනා කළේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමන්ය.

සිංහල ගීතය ස්වතන්ත්‍ර කලා මාධ්‍යයක් බවට පත් කිරීමෙහිලා පුරෝගාමි වූ ආනන්ද සමරකෝන් සූරීන් ද මලෙහි සුන්දරත්වය නිතැතින් දුටු කලාකරුවෙකි.

එන්නද මැණිකේ මමත් දියඹටා
‘නෙළන්න කෙකටිය මල්’ වැනි ගීතයක රැඳී ඇත්තේ මලෙහි සුන්දරත්වයයි.
‘‘ඕලු පිපීලා විල ලෙළදෙනවා – සුදට සුදේ නංගෝ’’ මෙයට දශක හතකට පමණ පෙර සුනිල් සාන්තයන් හෙළ ගී ලොවෙහි සුපිරි තරුවක් බවට පත්වූයේ මෙම ගීතයෙනි. එහි රචනය මෙන්ම සංගීත නිර්මාණයද සුනිලුන්ගේම වීම විශේෂත්වයකි.

‘‘සුවඳ රෝස මල් නෙළා – මාලයක් ගොතාලා’’ යන ජනප්‍රිය ගීතයද ගැයුවේ සුනිල් සාන්තය. සුනිල් සාන්ත, සුවඳ රෝස මල් නෙළූ යුගයේම ගායන ශිල්පී සී.ටී. ප්‍රනාන්දු ද එම ගීතය ගැයුවේය. එම ගීත දෙකම රසිකයන් අතර ජනප්‍රියත්වයට පත් වූයේ එක ලෙසිනි. රෝස මලක් දුටුවාම – සිහිවෙයි ඔබව සුදා, ක්‍රිස්ටෝපර් පෝල් ගැයූ එකල අතිශය ජනප්‍රිය ගීයකි. ‘‘රෝස මලේ නටුවෙ කටූ – වන බඹරෝ ඔහොම හිටූ’’ ඇනස්ලි මාලේවනගේ මියුරු ගායනයකි. ‘රෝස මලක් රතු රෝස මලක්’ යැයි දමයන්ති ජයසූරිය ගයද්දී, ඉන්ද්‍රාණි පෙරේරා ඉරට අකීකරු සඳට අකීකරු රෝස කැලේ රතු කැකුළී යනුවෙන් ගැයුවාය.

‘‘රෝස මලක කටු ඇනුණා’’ යැයි එඩ්වඩ් ජයකොඩි වරෙක වේදනාබරව ගැයුවේද සොඳුරු රෝසමල ගැනමය. නන්දා මාලනියත් රෝස කුසුම් ගැන ගැයුවාය. ඒ රතු රෝස කුසුමක් පිපේවි ගීයෙනි.
නන්දා රෝස කුසුම් ගැන ගයද්දි ජයන්ත පෙරේරා සුදු රෝස හා රතු රෝස ගැන ගයන්නේය. ඒ සුදු රෝසයි මුහුණ පුරා රතු රෝසයි දෝත දරා ගීයෙනි.

විශාරද නන්දා මාලිනිය සිය අභිමානවත් සංගීත චාරිකාව ආරම්භ කළේ ළමා පිටිය ඔස්සේය. ඒ ‘‘බුදු සාදු’’ ගීය ගයමිනි.

සමන් පිච්චමල් ඉහිරුණු, නිල් තණකොළ පිට්ටනියක්, ඇය ළමා පරපුර උදෙසා ගැයූ සෙනෙහෙබර ගීතයකි. රුක්අත්තන මල මුදුනේ – බඹරු නටන හැන්දෑවේ. යැයි වරෙක ඇය මහින්ද අල්ගමගේ ගී පදවැලක් තමන් විසින්ම සංගීතවත් කොට මියුරු ලෙස ගායනා කළාය. කන්ද උඩින් හඳ පායන ලීලා – ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා යනුවෙන් බක්මහ දීගේ චිත්‍රපටයට අමිතා වැදිසිංහ ගැයූ ගීතයේ ද රුක්අත්තන මලෙහි අසිරිය ගැන කියැවේ.

අරලිය ලන්දට සඳ පායන කොට ලෙසින් නන්දාමාලිනිය ගැයූ අයුරු අපට අමතක නොවේ. ඒ අතරම ඇය සකුරා මල් පිපිලා – හරි පුදුමයි යැයි පවසන්නීය. එය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්පනාවකි.සකුරාමල් ගැන ලියැවුණු අනෙක් ජනප්‍රිය ගීතය ගැයුවේ එච්.ආර්. ජෝතිපාලයන්ය.
‘‘ආයුබෝවන්… ආයුබෝවන් – ජපන් ළඳේ සයොනාරා

සකුරා මල් ලොව මල් කුමරී – පෙම් සිහින සැබෑ වේවි’’ ජෝතිගේ අතිශය ජනප්‍රිය ගීයක් වන මෙහි පද රචනය හා සංගීතය මෙල්රෝයි ධර්මරත්නගෙනි. වැඩිම මල් ප්‍රමාණයක් ගැන එකම ගීතයකින් කියැවෙන්නේත් ජෝතිපාලයන් ගයන ගීතයකිනි.
‘‘සල් සපුනා නිල් මහනෙල් – කුමුදු සමන් මල් අතරේ

කිඩාරම් මලේ පවා – සුවඳ දිග හැරේ’’ එය කරුණාරත්න අබේසේකරයන්ගේ අපූර්ව පදමාලාවකි.
‘‘මධුමල ලෙස මුදු මගේ ප්‍රියාදර – මිහිරාවිය වෙතටයි’’ මේ යොවුන් හදවත් ප්‍රේමයේ චමත්කාරයෙන් මුසපත් කළ සදාදරණීය ගීතයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එකල පෙම්වතුන් තම පෙම්වතියට ලියූ ආදර හසුන් ආරම්භවූයේ ඉහත ගී පදවැලෙනි. මිල්ටන් මල්ලවාරච්චි ගැයූ එම ගීතයේ පද රචනය කරුණාරත්න අබේසේකරගෙනි.

අවස්ථා කිහිපයකම ‘මධුමල’ අපේ ගීත සාහිත්‍යයට එක්ව ඇත. අමරදේවයන් ගයන පිලේ පැදුර හේනට අරගෙන යනවා. ගීතයෙහි අන්තරා කොටසක මධුමල් පිපෙනවා හේනේ වැට දිගට යනුවෙන් සඳහන්වේ. එහි රචකයා මහගම සේකරය. වැට දිගටම එදා මෙන්ම මධුමල් පිපිලා යනුවෙන් ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගයන පොඩි කාලේ අපි දෙන්නා ගීතයෙහි අන්තරා කොටසක සඳහන්ය.
මිල්ටන් මල්ලිවාරච්චි ගැයූ තවත් අතිශය ජනප්‍රිය ගීයක් වන්නේය.

‘‘මේ මැයි ගහයට දවසක් දා – වැස්සට අපි ​උන්නා’’ ගීතයයි. මේ මියුරු මැයි මල් ගීයේ පද රචනය අජන්තා රණසිංහගෙනි. ප්‍රේමයේ විප්‍රයෝගය ගැන කියැවෙන එම ගීතය බිඳුණු පෙම් හදවතකට ගෙන එන්නේ අපමණ පහන් සංවේගයකි.

‘‘දොඹ මලින් මලට රේණු සලන – තුරුණු බඹර රැහේ’’ ගීතය ලියූවේ කුමාරදාස සපුතන්ත්‍රීය. එම ගීතය, සංගීතවත් කළේ රෝහණ වීරසිංහය, එය එඩ්වඩ් මුල් යුගයේ ගායනා කළ ගීයකි. දොඹ මල් කැලෑවේ යනුවෙන් ගුණදාස කපුගේද ගීතයක් ගායනා කර ඇත. පින්න මලේ සුද ඇන්න ගිහින්වද එඩ්වඩ් ගැයූ තවත් මියුරු ගීයකි. පින්න මල් ගැනත් බොහෝ දෙනෙක් ගයා ඇත. දයාරත්න රණතුංග ගැයූ පින පෑදූ දා පින්න මලෙත් බඹරු, අමිතා වැදිසිංහ ගැයූ පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි.

ප්‍රියාල් අමරසිංහ ගැයූ නටුවෙන් ගිලිහුණු පින්න මලක් ඒ අතරින් කිහිපයකි. එඩ්වඩ් ජයකොඩි හා පුණ්‍යා කත්‍රිආරච්චි ගායනා කළ බකිණි ගහේ බකිණි මලෙන් පාර අසන්නේ ගැමි සුන්දරත්වය කැටි වූ ගීයකි. එහි රචකයා ඩෝල්ටන් අල්විස්ය. සංගීතය රෝහණ වීරසිංහගෙනි. ප්‍රියා සූරියසේන ගැයූ ‘‘සුදුවත කමලේ – වතුසුදුමල් පෙති’’ පෙම් හදවත් මිහිරෙන් යා කළ ආදරණීය ගීතයක්ම විය. උණ පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ යැයි ගැයුවේ විජේසිරිවර්ධන පොළොන්ඕවිටය. හැන්දෑකරේ ‘‘අඹමල් වට බඹරු නටන්නා’’ රෝහණ වීරසිංහ සංගීවත් කොට ගැයූ තවත් මල් ගීයකි. ‘‘රන් දුනුකේ මලසේ, රන් මැණිකේ සැරසේ’’ ක්ලැරන්ස් විජේවර්ධන ගැයූ මියුරුතම ගීතයකි. එසේම සුජාතා අත්තනායක ද දුනුකෙයියා මලට ගීත ගැයුවාය. ඒ දුනුකෙයියා මලක් වගේ ගීතයෙනි.
බොහෝ විට අපේ ගීත සාහිත්‍යයේ දක්නට ලැබෙන්නේ මලෙහි සුන්දරත්වයයි. එහෙත් ප්‍රේමකීර්ති ද අල්විස් මේ පවසන්නේ වෙනස් මල් කතාවකි.

‘‘ආදරේ රන් බිඟුන් නැසූ – බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන් බිඟුන් නැසූ – කපුරු මල ඔබ තමයි ළඳේ’’ එම ගීතය සංගීතවත් කොට ගායනා කළේ මර්වින් පෙරේරාය. දීපිකා ප්‍රියදර්ශනී ගායනා කළ බොරලු ඇනෙන පය රිදවන ගීතයේ ස්ථායී කොටසේ කාසි ඈතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න යනුවෙන් කියැවේ. එය අපූර්ව යෙදුමකි.

මිදුලේ මල් සූරිය ගහ මුදුණේ චන්ද්‍රිකා සිරිවර්ධන කලකට ඉහත ගැයූ ගීයකි. නොහඬන් සූරිය කාන්තා ගීතය ගැයුවේ අබේවර්ධන බාලසූරියයි. සුනිල් එදිරිසිංහ ගැයූ පිනිබර යාමේ ගීතයෙ නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා යනුවෙන් සඳහන්ව තිබේ. නිල්කටරොඩු මල් ගොමුවේ සුනිල් ගැයූ තවත් ජනප්‍රිය ගීයකි. මලේ මලේ ලස්සන බෝගන්විලා මලේ ගීතය ගැයුවේ නිහාල් නෙල්සන්ය.

80 දශකයේ අග භාගයේ රසික රසිකාවන් උන්මාදයට පත් කළ ලියතඹරා ගීතය ගැයුවේ ආත්මා ලියනගේය. කැලුම් ශ්‍රීමාල් රචිත ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මෑත කාලයේ අපේ මල් ගීත රැල්ලේ පුරෝගාමී ගීතය ලෙස හැඳින්විය හැකිය. අමරසිරි පීරිස් ගැයූ එම ගීතය සංගීතවත් කළේ සංගීත් වික්‍රමසිංහය.

මේ අතරේ එතෙක් අපේ ගීත සාහිත්‍යයට එක් නොවුණ අප අසා නොතිබුණු මල් ගීත කිහිපයක්ම නිර්මාණය වූයේ රසිකයාට නවමු අත්දැකීමක් ලබා දෙමිනි. දයාන් විතාරණ ගැයූ සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හා කිත්සිරි ජයසේකර ගැයූ කැමිලියා මල් සුවඳට එබඳු ගීත දෙකකි. එම ගී දෙකම රචනා කළේ නව පරපුරේ ගීත රචකයකු වන චාමින්ද රත්නසූරියයි.

කෙසේ වෙතත් එක්තරා කලෙක මෙරට මල් ගීත රැල්ලක් බිහි වූ අතර ඒවා අවර ගණයේ නිර්මාණයැයි බොහෝ අය චෝදනා කළහ. පුද්ගලික බස් රථවල කන්අඩි පැළෙන තරම් ඝෝෂාවකින් නිතර දෙවේලේ අපේ සවනත වැකුණේ එම මල් ගීතය. අපේ අභිප්‍රාය ඒවා විචාරයට ලක් කීරිම හෝ විවේචනය කිරීම නොවේ.
‘‘සුදු අරලියා මල – පිපුණේ ඇයි තනිව’’ අජිත් මුතුකුමාරණ ගැයූ එම ගීතය රචනා කළේ චන්න ජයනාත්ය.

චන්දන ලියනාරච්චි ගැයූ කවිසීපද ඇහෙන ඈත කුරහන්මල් පිපෙන රෑට ගීතය රචනා කළේද චන්න ජයනාත්ය.
‘‘සේපාලිකා මලයි – සුදු පාට මීදුමයි’’ ඒ ගීතය සමග මතකයට නැගෙන තවත් ගීයකි
අප දෙදෙනා දිහා බල බලා – පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
‘‘වන්දනාවේ ගියා සමනලුන්’’ එය තිලකසිරි රත්නායකගේ ගායනයකි.

‘‘සඳ හාදු දිදී වලාකුළක සේද යහන සේ – නිල් තාරකා කුමාරියන්ගේ සේල විජිතයේ
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ’’ රත්න ශ්‍රී විජේසිංහ ලියූ රෝහණ වීරසිංහ සංගීතවත් කළ මෙම ගීතය ගැයුවේ චන්දන ලියනාරච්චිය. මොනර කුඩුම්බිය මල් නටුවක හිඳ අපේ ගීත රචකයන්ට වස්තු විෂය නොවූ මලක් ගැන ලියැවුණු ගීයකි. බන්දුල නානායක්කාරවසම් ලියූ එම ගීතය ගැයූවේ නුවන් නයනජිත් කුමාරය.

‘‘උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට – සිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම’’ චාමර වීරසිංහ ගැයූ මේ ගීතයද මල් ගීත රැල්ලේ බිහි වූ අතිශය ජනප්‍රිය ගීතයකි.

එසේ ගැයූ මල් ගීත අතරට සිසිර සේනාරත්න කොඳ මල් ගැන ගැයුවේ ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා ගීතයේය. එසේම නිදිකුම්බා මල ගැන සනත් නන්දසිරි ගැයුවේ සුළං හමයි ලොව නැළවෙයි නුඹ නිදියයි හිමින් සැරේ, නිදිකුම්බා මල් කැකුලි‌යේ ගීතයෙනි.

අපට දකින්නට පුළුවන් පිපෙන සුවඳ හමන මල් ගැන ගීත ලියැවුණා සේම තවත් පාට පාට වටිනා නෙළන්න බැරි මල් ගැනත් ගීත රචක​යෝ ගීත ලියා ඇත. සුදු මල් ගැන නාමල් උඩුගම ගැයුවේ සුදු මල් පාර දිගේ එන්න සමදරා ගීතයෙන් හා සුදු මල් සුගන්ධිනී ගීතයෙනි. රතුපාට මල් මට තාම මතකයි කීවේ ඉන්ද්‍රානි විජේබණ්ඩාරය. ඒ අතරේ සුදු පාට මල් ගැනත් කරුණාරත්න දිවුල්ගනේ ගැයුවේය.

ඒ සුදු පාට මල් පිපුණු අරලියා හෙවන යට ගීතයේය. තරු මල් යායම පොඩි කර අහස් ගැබේ ගීතයෙන් ගුණදාස කපුගේ තරුමල් ගැන ගයද්දි රන් කරදහි මල් ගැන මල් කාන්ති, සනත් නන්දසිරි කියන්නේ බඹරු නුදුටු මලක් පිපිලා ගෙයි මැද සාලෙ ගීතයෙනි. සඳමල පිබිදුණු නිල් කඳු රැල්ලක ගීතයෙන් සඳ මල ගැන අබේවර්ධන බාලසූරිය හා නිරන්ජලා සරෝජනි ගයද්දී බිංදු බිංදු මල් ගැන එඩ්වඩ් ජයකොඩි ගැයුවේ බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපාය කියා. දයාරත්න රණතුංග ගැයුවේ බිංදු බිංදු මල් අතු අග පිපි මල් ගීතයෙනි. රන් මල් ගැනත් ගී ලියැවුණේය. සුනිල් එදිරිසිංහ රන්මලක් ලෙස දෙව් බඹුන් ලෝකෙන් පිදූ මේ පිං බිමේ ගැන ගයද්දී අමරපෙම් ලතාවේ, රන් මලක් උදාවේ ලෙසින් ගැයුවේ ඇන්ජලීන් හා ජෝතිපාලයි. මේ සියලු මල් අතරින් මෙත් මල් ගැනත් කියැවුණේය.

ඒ මොරිස් දහනායකයන් ගැයූ මෙත්මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා ගීතයෙනි.
මෙහි නොලියවුණු මල් ගැන ලියූ තවත් බොහෝ ගීත අපේ සිංහල ගීත සාහිත්‍යයේ ඇත.

අසංක දේවමිත්‍ර පෙරේරා