අතන මෙතන

ගිනිගෙන දැවුණු ලොරියේ ඝාතකයා හමුවෙයි

ත්‍රිකුණාමලය – නුවර ප්‍රධාන මාර්ගයේ පාලම්පටාරු ප්‍රදේශයේ දි ගිනිගෙන දැවුණු ලොරියේ තිබු පුද්ගලයාගේ මරණය සම්බන්ධව සැකපිට මෙතෙක් අතුරුදන්ව සිටි ලොරියේ රියදුරු වන කන්දසාමි යෝගනාදන් යන අය මන්නාරම ප්‍රදේශයේ දි සංවිධානාත්මක අපරාධ විමර්ශණ ඒකකය විසින් ඊයේ (05) අත් අඩංගුවට ගනු ලැබිය.

අත්අඩංගුවට ගත් සැකකරු තමා මෙම ඝාතනය සිදුකල බව ප්‍රකාශ කල බව පොලීසිය පවසයි.

කන්තලේ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය තඹලගමුව පොලීසියේ අපරාධ විමර්ශණ අංශය හා සංවිධානාත්මක අපරාධ විමර්ශණ ඒකකය යන පොලිස් කණ්ඩායම් තුනක් දුරකතන සංඥා හා විදයාත්මක සාක්ෂි උපයෝගී කර ගනිමින් ඝාතකයා කොටුකර ගැනිමට කටයුතු කරනු ලැබිය.

මෙසේ ඝාතනයට ලක්වුයේ ලොරියේ සහයක ලෙස කටයුතු කල එල් ජී එච් විජයදාස නැමැති මිහිදුපුර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයයි.

ඝාතනයෙන් පසුව ලොරි රියදුරු වන කන්දසාමි යෝගානන්දන් යන අය පලා ගොස් තිබු අතර ඔහු පළමුව මුලතිවු ප්‍රදේශයටත් පසුව මන්නාරමටත් පැන ගොස් තිබුණි.

ඝාතනයෙන් පසුව පරික්ෂණ මෙහෙයවූ පොලීසිය විදයාත්මක සාක්ෂි පදනම් කර ගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනිමට මෙහෙයුම් දියත් කරනු ලැබිය.

 

ත්‍රිකුණාමලය – මංගලනාත් ලියනආරච්චි