කතුවැකි

ගෑස් හිඟවෙන්නේ කා​ගේ ගෑස් නිසාද?

කොවිඩ් රෝගීන් සඳහා රෝහල් ඇඳන් හිඟයට අමතරව වෙළෙඳපොළේ පාරිභෝගික භාණ්ඩ ගණනාවක හිඟයක් පවතින බවට වාර්තා පළවෙමින් තිබේ. රෝහල්වල ඇඳන් හිඟවීම බරපතළ ප්‍රශ්නයක් වන නමුත් එහි බලපෑම ඇත්තේ කොවිඩ් ආසාදිතයන්ට හා ඔවුන්ගේ සමීපතම ඥාති හිතමිත්‍රාදීන්ට පමණය. එහෙත් පාරිභෝගික භාණ්ඩ හිඟය මුළු රටටම දැනෙන දෙයකි. එහෙත් රෝහල්වල ඇඳන් හිඟය තරමට ඒ ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමු වී ඇති බවක් නම් දක්නට නැත.

මේ දිනවල හිඟයක් පවතින පාරිභෝගික භාණ්ඩ අතරින් ඉදිරියෙන්ම ඇත්තේ කිරිපිටි හා ගෑස්ය. මේ භාණ්ඩ දෙකේම හිඟයට හේතුව එකකි. එහෙත් හිඟයක් ඇති වී හෝ කිරිපිටි භාවිතය අඩුවීම නම් හොඳ දෙයක් වුවත්, ගෑස් හිඟය ගැන එසේ කියා හිත හදාගත නොහැකිය. කිරිපිටි වෙනුවට කහට තේ බීමට හෝ පුරුදු විය හැකි නමුත් ගෑස් වෙනුවට යළි දර භාවිතයට හැරෙන්නට නොහැකි නිසාය.

ගෑස් හිඟයට හේතු වී ඇත්තේ ලෝකයේ ගෑස් හිඟවී ඇති නිසා නොව මෙරට ප්‍රධාන ගෑස් සැපයුම්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු ගෑස් ආනයනය අත්හිටුවීමය. ඔවුන් කියන ආකාරයට 2020 වසරේ ලෝක වෙළෙඳපොළේ ඩොලර් 305ක් වූ ගෑස් ටොන් එකක මිල මේ වසරේ අප්‍රේල් මාසය වන විට ඩොලර් 620 ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. මේ නිසා ගෑස් මිල ඉහළ නැංවීමට ආණ්ඩුවේ ගෑස් සමාගම හා පෞද්ගලික ගෑස් සමාගම යන සමාගම් දෙකම ඉල්ලා සිටියත්, ආණ්ඩුවෙන් ඊට අවසර ලැබුණේ නැත. මේ නිසා මෙම සමාගම් දෙකම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අලෙවි කළේ රුපියල් අටසියයක පමණ පාඩුවකටය. මෙම තත්ත්වය තවත් නරක් වූයේ ඩොලරයට සාපේක්ෂව ඉතා ඉහළ අගයකින් රුපියල අවප්‍රමාණ වීම සහ රටේ ඩොලර් හිඟයක් ද මතුවීම නිසාය. අවසානයේ සිදු වූයේ පෞද්ගලික ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමය.

ආණ්ඩුව ගෑස් මිල වැඩි කිරීමට අවසර නොදීම ජනාවගේ පැත්තෙන් හොඳ තීරණයක් යැයි කිව හැකි නමුත් ඒ තීරණය නිසා ජනතාවට අත් වී ඇති සෙතක් නැත. මේ නිසා ජනතාවට සිදුව ඇත්තේ තමන්ගේ හිස් ගෑස් සිලින්ඩරය උස්සාගෙන කඩයෙන් කඩයට යන්නටය. ආණ්ඩුව සතුව ගෑස් සමාගමක් ඇතත්, ඔවුන් කුමන කතා කිව්වත් වෙනත් සමාගමක පාරිභෝගිකයාට ගෑස් සපයන්නට තවමත් ඔවුන්ටත් නිසි ක්‍රමවේදයක් නැත. මේ නිසා පාරිභෝගිකයා ඔවුන්ගේ ගෑස් සිලින්ඩරයත් අලුතින් මිලදී ගන්නට කල්පනා කළත්, එලෙස නව සිලින්ඩර් අලෙවි කෙරෙන්නේ නැත. ගෑස් හිඟයට කළ යුත්තේ කුමක්දැයි ආණ්ඩුවේ ආර්ථික ඔස්තාද්ලා පිළිතුරක් දෙන්නේත් නැත.

කිසිම ව්‍යාපාරිකයකු අතින් කා හරක් බලන්නට සූදානම් නැත. ලාභයක් නැතත් දිගින් දිගටම පාඩු ලබමින් ව්‍යාපාර කරන්නට සූදානම් කවුද? මේ නිසා ගෑස් හිඟයට ඇති එකම පිළිතුර නම් ගෑස් මිල ඉහළ නැංවීමට අවසර දීම බව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවකුට පවා තේරෙනවාට සැකයක් නැත. සාමාන්‍යයෙන් භාණ්ඩ මිල ඉහළ යනවාට පාරිභෝගිකයා නොසතුටු නමුත්, මේ අවස්ථාවේ නම් ගෑස් මිල වැඩි කරනවාට ගෑස් පාරිභෝගිකයාද කැමැති වනු ඇත. එවිට මේ හිඟය නැතිවන බව දන්නා නිසාය.

පාරිභෝගිකයාද එසේ කල්පනා කරද්දී ආණ්ඩුව ගෑස් මිල වැඩි කිරීමට අවසර නොදෙන්නේ පාරිභෝගිකයා තමන් ගැන කල්පනා කරනවාටත් වඩා ආණ්ඩුව පාරිභෝගිකයා ගැන කල්පනා කරන නිසාදැයි අප දන්නේ නැත. අපට ඇති ප්‍රශ්නය වන්නේ ගෑස් පාරිභෝගිකයා ගැන ඇති මේ ප්‍රේමය සමස්ත පාරිභෝගිකයා ගැන නැත්තේ කුමක් නිසාද යන්නය.

ගෑස් ප්‍රශ්නය දැවෙන ප්‍රශ්නයක් බවට පත් වී ඇත්තේ ගම්බදටත් වඩා නගරබදවය. වෙනදාට සාපේක්ෂව වර්තමානයේ ගම්බදවද ගෑස් පාරිභෝජනය කෙරෙන නමුත් එහිදී ගෑස්වලට විකල්පයක් සොයා ගැනීම නගරබදට සාපේක්ෂව පහසුය. මේ නිසා ගෑස් ප්‍රශ්නය රටේ සියලු දෙනාට සාධාරණ ප්‍රශ්නයක් යැයි කිව නොහැකිය. එහෙත් මේ රටේ සියලු දෙනා සහල්, සීනි, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය එකසේ පරිභෝජනය කරති. ආණ්ඩුව ගෑස් මිල වැඩි කරන්නට ඉඩ නොදෙන්නේ පාරිභෝගිකයා මත බර පැටවීමට අකැමැති නිසා නම් ඊට පෙර පාලනය කළ යුත්තේ සහල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල නොවේද? දේශීය වෙළෙඳපොළ තුළ දෙසතියක් ඇතුළත රතු පරිප්පු සහ සීනි මිල රුපියල් 10 කින් ඉහළ ගොස් ඇතැයි තොග වෙළෙඳුන් සඳහන් කර තිබේ. විටින් විට මෙවැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදන නිකුත් කරන බව සැබෑ නමුත් ඒ ගැසට් නිවේදන නොතකා වෙළෙඳපොළේ මිල ඉහළ යන බව නොදන්නේ කවුද?

ලොකුම විහිළුව හා ඛේදය වන්නේ ගෑස් මිල වැඩි කිරීමට ඉඩ නොදීම නිසා ආණ්ඩුවට සිදුවන පාඩුව ගෑස් පාරිභෝගිකයා පමණක් නොව ගෑස් භාවිත නොකරන අයට පවා දරන්නට සිදුවීමය. අප ඉහතදී ද සඳහන් කළ ආකාරයට ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් අටසීයක තරම් පාඩුවකට නම් ඉන් කියැවෙන්නේ මේ වන විට ආණ්ඩුවේ ගෑස් සමාගමද අධික පාඩුවක් ලබමින් සිටින බවය. මෙම සමාගම පසුගිය දිනවල අලෙවි උපක්‍රමයක් ලෙස බරින් අඩු ගෑස් සිලින්ඩර් අලෙවි කිරීමට පටන් ගත්තේ ද මේ නිසාය. පෞද්ගලික ගෑස් සමාගම ගෑස් ආනයනය නතර කිරීම නිසා එකී පාරිභෝගිකයන්ද දැන් මිලදී ගන්නේ ආණ්ඩුවේ සමාගමේ ගෑස්ය. මේ නිසා ආණ්ඩුවේ සමාගමේ අලෙවිය ඉහළ ගොස් ඇති නමුත් ඊට සාපේක්ෂව ලබන පාඩුවද ඉහළ යෑම වැළැක්විය නොහැකිය. ආණ්ඩුවේ සමාගමක් ලබන පාඩු පියවිය යුත්තේ ගෑස් මිල වැඩි කරන්නට අවසර නොදෙන ආර්ථික ඔස්තාර්ලාගේ පොල්වතු ආදායමෙන් නොව ජනතාවගේ මුදලිනි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද පත්ව තිබෙන තත්ත්වය දන්නා අයට මෙහි ඇති භයානකකම ඉතා හොඳින් පැහැදිලි වනු ඇත.