අතන මෙතන

ගැට කිඹුලා මැරූ සිවිල් ආරක්ෂකයෝ 7ක් උසාවි

ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල නීලපනික්කන් වැවෙහි සිටි ගැට කිඹුලෙකු මරා දැමූ සිවිල් ආරක්ෂක බළකායේ හත් දෙනෙකු ගෝමරන්කඩවල පොලිසිය විසින් පෙරේදා (14 වැනිදා) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් මෙම නිලධාරින් 34,35,38 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.

ගෝමරන්කඩවල අඩෙවිපතෙයි සිවිල් ආරක්ෂක බළකා කඳවුරට අනියුක්තව සේවයේ නිරත මෙම නිලධාරීන් පෙරේදා (14 වැනිදා) සවස නීලපනික්කන් වැවෙහි මසුන් අල්ලමින් සිටියදී එම දැලට ගැට කිඹුලෙකු කොටු වී තිබේ. එම නිලධාරීන් කිඹුලගේ හිසට පහර දී ඝාතනය කොට වැවට යාබද කැලෑ ප්‍රදේශයක වළලා ඇති බවට ගෝමරන්කඩවල පොලිසියට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව පෙරේදා (14 වැනිදා) සවස 6.30ට පමණ පොලිසිය සැකකාර සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් 07 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණු අතර සැකකරුවන් ඊයේ (15 වැනිදා) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකරගෙ උපදෙස් මත ගෝමරන්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

එෆ්. අස්ලම්

මංගලනාත් ලියනාරච්චි – ත්‍රිකුණාමලය