අතන මෙතන

ගාල්ලේ මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ හතරක් අත්අඩංගුවට

ගාල්ල තලාපිටිය ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කොට තිබුණේ ගාල්ල, තලාපිටිය, සකියුලර් ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් ලෙබ්බේ මරික්කාර් නොහාක් ගපිර් හාජ්ජයාර් (69) නැමති ව්‍යාපාරිකයෙකි. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා තනිපොල්ගහ, මෙහිදින්වත්ත හා නුගදුව මාර්ග සංඥා පද්ධතිය අසලදි අත්අඩංගුවට ගෙන ඇත. 2019.09.10වැනිදින අළුයම මෙම මැණික් ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑම සදහා මෙම කොල්ලකරුවන් සිව් දෙනා නිවසට ඇතුල්වි තිබේ. එම අවස්ථාවේ මැණික් ව්‍යාපාරිකයා නිදාගෙන සිට ඇති අතර ඔහු එකවරම අවදිවිම නිසා කලබලයට පත් කොල්ලකරුවන් මැණික් ව්‍යාපාරිකයා රෙදිපටි වලින් අත් පා බැද මුඛයට පාන්කඩ ඔබා නියනකින් ඇණ ඝාතනය කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මේ පිළිබද විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබිය. විමර්ශන කටයුතු සදහා මැණික් ව්‍යාපාරිකයාගේ නිවස අවට ඇති සි.සි.ටි.වි. දර්ශන ද උපයෝගි කරගනු ලැබිය. එහෙත් එම දර්ශනවලින් මෙකි පුද්ගලයින් හදුනා ගැනිම අපහසුවි තිබුණි. පසුව පොලිසිය මගින් දුරකථන සිම්කාඩි උපයෝගි කරගෙන එම අවස්ථාවේ ලැබුණු දුරකථන ඇමතුම් පිළිබද පුළුල් විමර්ශනයක් කිරිමෙන් පසු සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතකොට ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ගාල්ල පොලිසිය විසින් පවත්වයි.

සරත් කුමාර ලොකුගේ – අක්මීමන