brand logo
logo

ලිට්‍රෝ නඩු විභාගයෙන් ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කෙරේ

08 August 2019

පසුගිය පාලන සමයේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව රජය විසින් අළුතින් ස්ථාපිත කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකළ ප්‍රථම නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද (08) නියෝග කරන ලදී. කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරුවරු වශයෙන් කටයුතු කරන සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත් කරන ලදී. 2014 වසරේ පෙබරවාරි මස 01 වන දා සහ 2015 වසරේ ජනවාරි මස 19 වන දා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමේ සිට කැන්විල් හෝල්ඩිං සමාගම වෙත යවන ලද රුපියල් මිලියන 500ක මුදලක් නීති විරෝධී ආකාරයෙන් හෙලෙන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා නැමැති සමාගමේ ආයෝජනය කිරීම මගින් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, එම සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී පියදාස කුඩාබාලගේ සහ හිටපු මූල්‍ය නිළධාරි ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 24 ක් යටතේ ඉකුත් 2018 වසරේ අගෝස්තු මස මෙම නඩුව ගොනු කර තිබුණි. පැය දෙකයි විනාඩි පහළොවකට ආසන්න කාලයක් විවෘත අධිකරණයේ මෙම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා හා සාක්ෂි වල ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවේය. " මෙම නඩුව තුළින් ලිට්රෝ ගෑස් සමාගම විසින් කැන්විල් සමාගම වෙත යවන ලද රුපියල් මිලියන 500ක මුදලක් නිසි අවසරයකින් තොරව හෙලෙන්කෝ නැමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් එම මුදල පිළිබඳව සාපරාධී විශ්වාසය කඩ කළ බවට පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. මෙහිදී ලිට්රෝ සමාගමේ සිට කැන්විල් සමාගම වෙත අදාල රුපියල් මිලියන 500 ක මුදල යොමු කිරීම නීත්‍යානුකූලව සිදු වී තිබෙන බව පැමිණිල්ල විසින් පිළිගෙන තිබෙනවා. එහෙත් කැන්විල් සමාගමේ සිට හෙලෙන්කෝ සමාගමක වෙත එම රුපියල් මිලියන 500 ක මුදල ගමන් කිරීම නීතියට අනුකූලව සිදු වී නොමැති බවයි පැමිණිල්ල චෝදනා කරන්නේ. කැන්විල් සමාගම විසින් හෙලෙන්කෝ සමාගම වෙත එම මුදල යැවීමෙන් පසුව ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබීම සැකකටයුතු තත්ත්වයක් බවද පැමිණිල්ල විසින් නඩු විභාගයේ දී පෙන්වා දුන්නා. එහෙත් ලිට්රෝ ගෑස් සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘති ඇරඹීම සඳහා මුදල් ආයෝජනය කිරීමට සූදානමක් පැවති බව මෙම අධිකරණය හමුවේ පැවැති සාක්ෂිවලින් අනාවරණය වී තිබුණා. මෙම අධිකරණයේ සාක්ෂි ලබාදුන් ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂකවරු වශයෙන් කටයුතු කළ එස්.එම්. පියතිස්ස සහ නයන දෙහිගම යන සාක්ෂිකරුවන් විසින්ද මේ බව තහවුරු කර තිබුණා. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් අදාළ මුදල කැන්විල් සමාගම හරහා හෙලෙන්කෝ සමාගම මගින් එම මුදල ආයෝජනය කිරීමට විත්තිකරුවන් සැලසුම් කර තිබූ බව සාක්ෂිවලින් අනාවරණය වී තිබුණා. ප්‍රශ්නගත රුපියල් මිලියන 500 ක මුදල සඳහා අනුමැතිය ලබා දීමේදී එම මුදල් හෙලෙන්කෝ සමාගම මගින් හම්බන්තොට හෝටල් ව්‍යාපෘතියක් සඳහා යෙදවෙන බව තමන් පූර්ණ අවබෝධයකින් පසුවූ බවද එම සාක්ෂිකරුවන් ප්‍රකාශ කළා. 2015 වසරේ පෙබරවාරි මස 11 වනදා රුපියල් මිලියන 50 ක් ද එම මාසයේම 19 වනදා තවත් රුපියල් මිලියන 450ක් ද නඩුවේ දෙවන විත්තිකාර පියදාස කුඩාබාලගේ විසින් හෙලෙන්කෝ සමාගම වෙත යොමුකර තිබෙනවා. එම මුදල් සඳහා හෙලෙන්කෝ සමාගම විසින් කැන්විල් සමාගම වෙත කොටස් නිකුත් කර තිබෙන්නේ පෙබරවාරි මස 24 වනදා. එහෙනම් පෙබරවාරි මස 11 වන දා සිට එම මස 24 වැනිදා තෙක් අදාළ රුපියල් මිලියන 500 ක මුදල හෙලෙන්කෝ සමාගමේ රැඳී තිබෙනවා.එම කාලසීමාව තුළ ප්‍රශ්නගත මුදල විත්තිකරුවන් විසින් කිසියම් නීති විරෝධී හෝ වංචනික ක්‍රියාවක් සඳහා භාවිතා කළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නෑ. "යයි සඳහන් කර සිටි විනිසුරු සම්පත් අබේකෝන් මහතා එමගින් විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ සාපරාධී විශ්වාසය කඩ කිරීම නැමැති චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකිවී ඇතැයිද සඳහන් කර සිටියේය. ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ යන විත්තිකරුවන් අදාළ සමාගම් වල අධ්‍යක්ෂකවරු වශයෙන් කටයුතු කර තිබෙන්නේ නාමික පදනමක් මත බවත් ඔවුන් කිසිදු අවස්ථාවක එම සමාගම් ඔවුන්ගේ පෞද්ගලික සමාගම් නොවූ බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයිද විනිසුරුවරයා සඳහන් කළේය. වැඩිදුරටත් සිය තීන්දුව තුලින් කරුණු අවධාරණය කළ විනිසුරු අබේකෝන් මහතා කැන්විල් සමාගමේ සිට හෙලෙන්කෝ සමාගම වෙත රුපියල් මිලියන 500 ක මුදල යවනු ලැබුවේ නිසි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව බවත් ඒ සඳහා අනුමැතිය ලබා ගෙන තිබෙන්නේ එම මුදල හෙලෙන්කෝ සමාගම වෙත යැවීමෙන් පසුව බවත් එය සැක කටයුතු තත්ත්වයක් ලෙසත් පැමිණිල්ල විසින් නඩු විභාගයේ දී කරුණු මතු කර තිබූ බව සිහිපත් කර සිටියේය. " ප්‍රශ්නගත රුපියල් මිලියන 500 ක මුදල කැන්විල් සමාගමේ සිට හෙලෙන්කෝ සමාගම වෙත යැවීම සඳහා කැන්විල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් නොතිබූ බව පැමිණිල්ලේ නීතිඥවරයා නඩු විභාගයේදි සඳහන් කළා. බැලූ බැල්මටම මෙය සැකකටයුතු තත්ත්වයක් විය හැකියි. එහෙත් සැකයක් මත පුද්ගලයෙක් වරදකරු කරන්න බෑ. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතුයි. ප්‍රශ්නගත රුපියල් මිලියන 500 ක මුදල හෙලෙන්කෝ සමාගමේ ආයෝජනය කිරීමේදී කිසියම් අවිධිමත් තත්ත්වයක් දක්නට තිබෙනවා. එහෙත් එය වංක අපරාධමය ක්‍රියාවක් වශයෙන් හඳුන්වා දීමට හැකියාවක් නැහැ. එහිදී අපරාධයක් සිදු වූ බවට සාක්ෂි වලින්ද සනාථ වී නැහැ" යනුවෙන් සඳහන් කර සිටී විනිසුරු සම්පත් අබේකෝන් මහතා විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් ඔවුන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ද ඔප්පු වී නොමැති බව අවධාරණය කර සිටියේය. විත්තිකරුවකුට එරෙහිව ඍජුවම චෝදනා එල්ල කළ හැකි අවස්ථාවක හැරුණු කොට අනෙකුත් අවස්ථාවල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ඒ සඳහා යොදා ගැනීම නුසුදුසු බවද මෙහිදී විනිසුරු සම්පත් අබේකෝන් මහතා අවධාරණය කර සිටීම විශේෂයෙන්ම වැදගත් කරුණක් විය. එහෙයින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබ තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරුවන් තුන්දෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණය ඇමතූ විනිසුරු සම්පත් අබේකෝන් මහතා දිනපතා නඩු විභාග කිරීම සඳහා ස්ථාපිත කෙරුණු මෙම අධිකරණ පද්ධතිය හරහා මෙම කටයුතු සාර්ථකව ඉටු කිරීමට සහය ලබාදුන් පැමිණිල්ලේ හා විත්තියේ නීතිඥවරුන්ටත් ,අධිකරණය කාර්ය මණ්ඩලයටත් සිය ස්තූතිය පළ කරන බව සඳහන් කර සිටියේය. පුරා මාස නවයකට ආසන්න කාලයක් පැවති මෙම නඩු විභාගයේදී පුද්ගලයින් විසි තුන් දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් රජය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය. විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙනී සිටි අතර විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා වෙනුවෙන් නවීන් මාරපන සහ ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥවරු පෙනී සිටියහ. විත්තිකාර ලසන්ත බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
 

More News..