විශේෂාංග

ගාන ඇහුවම ගල්වෙන ගල්සියඹලා

වේලාව අලුයම එකයි තිහයි. මේ පිටකොටුවේ කැලෑ මාකට් එකයි. කැලෑ මාකට් එකට මේ නම වැටුණේ ගමේ ගොඩේ සුවදැල්, නෙල්ලි, මාදං, නමිනං ආදියේ සිට ඕන එළවළුවක් පලතුරක් බෙහෙත් නොගහ ගමෙන්ම ගේන නිසාය. රාත්‍රියට පමණක් ඇති මේ කැලෑ මාකට්ටුව විදේශිකයන් අතරද ජනප්‍රියය. අප බලා සිටියදීම සුද්දියක් යම් පලතුරක් ගැන විමසමින් තැනින් තැන ගොස් එක් තැනක නැවතුණාය. ඇය සෙව්වේ Velvet Tamarind නමැති පලතුරයි. විදේශීය කාන්තාව තමන් සෙවූ පලතුර මිලදී ගත්තේ ග්‍රෑම් 100ක් ඩොලරයකටය. රුපියල්වලින් ගෙවීම කරන්න විදේශීය කාන්තාව සතුව මුදල් තිබුණත් පලතුර අලෙවි කළ වට්ටි අම්මා වැනි කාන්තාව ඩොලරය ගෙන තම හැට්ටයේ තිබෙන ලෝකයේ පරණම බැංකුවේ සඟවා ගත්තාය.

විදේශීය කාන්තාව එතැනින් ඉවත් වූ පසු එතැනට ටිකක් කිට්ටු කොට මේ තරම් මිලකට අලෙවි වන ගමේ ගොඩේ පලතුර කුමක්දැයි විපරම් කළ බැලුවෙමි. විදේශීය කාන්තාව මේ Velvet Tamarind ලෙස හඳුන්වා තිබුණ පලතුර අන් කිසිවක් නොව අපේ ‘‘ගල්සියඹලාය.’’ ඩොලරයක වටිනාකම රුපියල් 180ක් පමණ වන බැවින් ගමේ ගොඩේ පලතුරු අඩුමිලට ගත හැකි කැලෑමාකට් එකේද ගල්සියඹලා කිලෝවක මිල රුපියල් 1800කි. ඒ කියන්නේ ගල්සියඹලා කිලෝවක මිල ඇමෙරිකන් ඩොලර් 10කි.

පසුදින අපේ අවධානයට ලක් වූයේ සුප්‍රකට මැනිං මාකට්ටුවේ පලතුරු තොග අලෙවියට ඇති ප්‍රදේශයය. එහි වූ ඉමක් කොනක් නොපෙනෙන පලතුරු ගොඩ ගසා ඇති ශාලාවේ ඇති පලතුරු දෙස බැලූ විට අපට පැහැදිලිව පෙනී ගිය කරුණක් නම් ලංකාවේ ජනප්‍රියම පලතුර කෙසෙල් බවය. ඊළඟට ගස් ලබු විය යුතුය. සාමාන්‍ය වෙළෙඳපොළේ රුපියල් 100කට පමණ අලෙවි වන අඹ ගෙඩියක මිල රුපියල් 20-30ත් අතරය. හැබැයි පුතෝ මුළු පෙට්ටියම මිලදී ගත යුතුය. තඩි ලෑලි පෙට්ටි මෙන්ම දැන් ෆොටෝ කොපි කඩදාසි පැකට් 5ක් අසුරා එන කොරියුකේටඩ් පෙට්ටිවල ඇසුරූ පලතුරු පෙට්ටිද ඇත්තේ ලෑලි පෙට්ටි කඩා පලතුරු සිල්ලරට අලෙවියක් නොවන නිසාය. අප සෙවූ පලතුරු තොග අතර ගල් සියඹලා තිබුණේ නැත. අවසානයේ අපට මැනිං මාකට්ටුවේ ඉඟුරු රජ්ජුරුවන් වූ ‘‘ඉඟුරු ආරි’’ ගේ පිහිට පතන්නට සිදු විය. ඔහුගේ ගමන් විස්තරය අසා ගල්සියඹලා සොයා ගිය අපට සිහිවූයේ රත්‍රං බඩු උකසට ගන්නා තැන්වල ඇති යකඩ කූරු මැද්දේ සිටින නිලධාරියෙකි. ගල්සියඹලා මෙච්චර මිල ඉහළ යාමට හේතුව අපි මුලින්ම විමසා සිටියෙමු.

‘‘බොසා කොච්චර ඕනද? බඩු ෆුල් ඩිමාන්ඩ් අද ඕඩර්ස්වලට බඩු රිසව් කරගෙන ඉවරයි. ට්‍රාන්ස්පෝට්වලට දාන්න තමා නට්ටාමිලා එනකන් මං ඉන්නේ. දැන්ම ඇඩ්වාන්ස් කළොත් හෙට බඩුවලින් ගතහැකි. ඉරිදා පෝය නිසා බසාර් එකම ක්ලෝස්.’’

මා සමග ගිය මිතුරා ගල්සියඹලා තොග අලෙවිකරුගේ කතාව අසා කරකවා අතැරියා මෙන් ෆුල් හොල්මන් විය. මේ පුද්ගලයා මේ කියන්නේ මහ ලොකු දෙයක් නොවේ.

‘‘මහත්තයෝ ගල්සියඹලාවල ඉල්ලුමට සැපයුම් මදි. අද දාපු ගල්සියඹලා තොග උදේම විකිණිලා ඉවරයි. ’’කොළඹින් පිටට භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රවාහන සේවාවලට මැනිං මාර්කට්ටුවෙන් බඩු ගෙනියන්නේ නාට්ටාමිලාය. ඉරිදා පෝය නිසා මුළු මැනිං මාකට් එකම වසා ඇත.

ඔහු කියූ භාෂාව මම සරල සිංහලයට නගා මිතුරාට පහදා දුන් විට ඔහුගේ මුවඟට සිනහවක් ආවේ නිතැතිනි. ඊට පසු අපට ගල්සියඹලා තොග අලෙවිකරුවන් කිහිප දෙනකුම සොයා ගත හැකිවිය. ගල්සියඹලා තොග පටවන දුර බැහැර ප්‍රදේශවල වෙළෙන්දන් කිහිප දෙනකු සමගද කතා කරන්නට අපට හැකිවිය. එදින ගල්සියඹලා බඩුවල කොලිටිය අනුව කිලෝවක තොග මිල රුපියල් 1500 සිට 2200 දක්වා විය. ගල්සියඹලා මිලදී ගත් පිරිස් එම පාර්සලය ආරක්ෂා සහිතව තබා ගත් අයුරු අපට සිහි ගැන්වූයේ හෙට්ටිවීදියේ රත්‍රං වළලු ගත් පුද්ගලයකු ඊට දෙන ආරක්ෂාවය.

මෙවර ගල්සියඹලා මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වැසි සහිත කාලගුණය නිසා ඒවා වේළා ගැනීමට නොහැකි වීමය. මැනිං මාකට්ටුවට පැමිණි විට වයස්ගත පුද්ගලයකු ගල්සියඹලා මිල ඉහළ යාමට වූ වින්නැහිය විස්තර කළේ මෙසේය.

‘‘ගල්සියඹලා මෙහෙට නම් එන්නේ මොනරාගල, අම්පාර, අනුරාධපුර, හම්බන්තොට වගේ පැතිවල තියෙන වනාන්තරවලින්. අපේ තාත්තලගේ කාලේ හන ගෝනි ගල්සියඹලා ගහ යට එළලා අතු හොලවනවා. ඒත් නැත්නම් කරපිංචා කොළ හූරලා ගන්නවා වගේ ගෙඩි ටික හන ගෝනිය උඩට කඩනවා. ඊට පස්සේ ඒවා එකතු කරන් ගිහිල්ල වේළනවා. ඒත් ගිය සැරේ මේ ගල්සියඹලා එකතු කරන්න කැලේට ගිය හැත්ත කරල තියෙන්නේ ගහේ අතු පිටින් බිමට පතබාවල ගෙඩි ටික කඩා ගත්ත එක. ඒ නිසා මේ පාර තාම ඒ අතු ලියලල ගෙඩි එන්න තරම් වැඩිල නෑ. ගල්සියඹලා මිල නගින්න ඒකත් හේතුවක්.’’

ගල්සියඹලා නම වැටුණ හැටි හොයන්නට ගිය අපට දැන ගත හැකි වූයේ එක් මතයකි. එනම් ගල් තියෙන දිඹුලාගල, මොනරාගල වැනි පැතිවල වැඩිපුර වැවෙන නිසා මේ නම ලැබුණ බවය. ඵල හට ගන්නේ අප්‍රේල් මාසයේ සිට අගෝස්තු දක්වාය. හැත්තෑව දශකයේ මැනිං මාකට්ටුවේ ගල්සියඹලා හුණ්ඩුවක් අලෙවි වී ඇත්තේ ශත 25කටය. අදවනතුරුත් ගල්සියඹලා වාණිජ භෝගයක් ලෙස වවන පළාතක් ගැන නම් අපට සොයාගත නොහැකි විය.

ගල්සියඹලාවල නිජ බිම වන්නේ අප්‍රිකාවේ ගානා, සියරාලියෝන් හා නයිජීරියාව යන ප්‍රදේශයයි. ආසියාවේ රසවත්ම ගල්සියඹලා ඇත්තේ ඉන්දියාවටත් වඩා ලංකාවේය. මැලේසියාවේද ගල්සියඹලා හොඳින් වැඩේ.

කොළඹ වෙළෙඳපොළට සාමාන්‍යයෙන් අමු ගල්සියඹලා එන්නේ නැත. එක් වෙළෙන්දකු අප සමග කීවේ එක් වරක් පමණක් තමන්ට අමු ගල් සියඹලා ගෝනියක් ලැබුණ බවත් එය අමුතුම අත්දැකීමක් වූ බවත්ය.

‘‘මාත් අමු ගල්සියඹලා ගෙඩියක් හපලා බැලුවා. ඇඹුල් රහයි හරියට නිකං ළපටි සියඹලා කෑල්ලක් සූප්පු කළා වගේ. මේක තමයි එකම පලතුර ඉදුනම ඇඹුල් රහයි පැනි රහයි දෙකම තියෙනවා. එතකොට අතේ ගෑවෙන පිෂ්ට වගේ බූවක් තියෙනවා. ඔය දැන් ගිනි ගණන් වුණාට සැරයක් ගල්සියඹලා ගෝනියක් රුපියල් 100 කට දෙන්න බැරි කාලයක් නවසිය අසූ ගණන්වල ආවා.

අපි කළේ එතකොට ඒවා වේළපු එක. වේළුවට පස්සේ මාස තුනහතරක් තියා ගත්තැකි.’’
ගල්සියඹලා අපි වැදගත් පලතුරක් ලෙස ගෞරවාදයට පත් නොකළද ලෝකයේ ආහාර පර්යේෂකයන් ගල්සියඹලා හඳුන්වන්නේ විටමින් බෝම්බයක් ලෙසය. පර්යේෂකයන් ගල්සියඹලා විග්‍රහ කරන්නේ කුඩා පලතුරකින් ලබාගත හැකි ඉහළම ගුණාංග ඇති පලතුර එය බවය.

බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිජීවක, වේදනානාශක ඖෂධ නිපදවීමට යොදා ගන්නා රසායනිකයන් ගල්සියඹලාවල ස්වාභාවිකවම තැන්පත් වී ඇත. අද පාසල් වියේ දරු දැරියන් කුකුල් මස් ගිල දමා, ෆ්‍රයිඩ් රයිස් හට්ටි පිටින් වැඩ දීම නිසා තරබාරුවෙන් පෙළෙනු අපට දැක ගත හැකිය. ආයුර්වේදයේ ස්ථුලභාවය ලෙස හැඳින්වෙන මෙයට දෙන හොඳම ප්‍රතිකාරය ගල්සියඹලාය.

ගල්සියඹලා මෙතරම් මිලකට අලෙවි වුවත් ගල්සියඹලා ගහේ කොළ වෙළෙඳපොළට එන්නේ ඉතා කලාතුරකිනි. ඒ සිංහල බෙහෙත් වර්ග හැදීමටය. ගල්සියඹලා කොළයේ ඇති ගුණය දැනගත හොත් මේ රටේ ඇති ෆාමසිවලට බිස්නස් අඩුවෙනවා සිකුරුය. ගැස්ට්‍රයිස් නොහොත් අම්ල පිත්ත රෝගයට ගල්සියඹලා කොළ තැම්බූ වතුර මහා ඖෂධයකි.

එමෙන්ම දියවැඩියාවටද ගල්සියඹලා කොළ තැම්බූ වතුර ගුණදායකය. බටහිර පර් යේෂකයන් සොයාගෙන ඇත්තේ ගල්සියඹලා කොළ තැම්බූ වතුර ඉන්සියුලින් හා සමාන ගුණාත්මක භාවයක් ඇති අතුරු ආබාධ ස්වභාවික ඖෂධයක් බවය. මැනිං මාර්කට්ටුවේ සැරිසැරූ එක් විදේශීය කාන්තාවක් අපට කිව්වේ තම රටවල ගල්සියඹලාවලින් කේක්, අයිස්ක්‍රීම් වැනි දේද නිපදවන බවය. ගල්සියඹලා අස්වැන්න වැඩි කාලවලදී ඒ එහි පොත්ත සහ ඇටය ඉවත් කොට ක්‍රීම් එකක් බවට පත් කොට අවාරයේදී කෑම බීම සැදීමට එය යොදා ගන්නා බවද ඇය කීවාය.

දැන් පසුගිය සතියේ නුගේගොඩ ගුවන්පාලම අසල ගල්සියඹලා ග්‍රෑම් 50ක් අලෙවි වූයේ රුපියල් 120කටය. මහරගම ග්‍රෑම් 50ක් රුපියල් 90කටය. පිලියන්දල මසකට කලින් ගල්සියඹලා ග්‍රෑම් 100ක් අලෙවි වී ඇත්තේ රුපියල් 140කටය. ගහකොළ ඇති හොරණ ටවුමේ ගිය ඉරිදා ගල්සියඹලා ග්‍රෑම් 50ක් අලෙවි වූයේ රුපියල් 120කටය.
ගල්සියඹලා මිල ඉහළ යාමට මෙරට සිටින චීන ශ්‍රමිකයන්ද හේතු වී ඇති බව අපට පෙනී ගිය කරුණකි. ඔවුන් වැඩිපුර ගල්සියඹලා මිලදී ගැනීම ඉල්ලුම වැඩිවීමට හේතුවයි.

පලතුරු බීම හදා විකුණන කූල්ස්පොට්වල දැන් ඇති මිල අධිකම පානය ගල්සියඹලා ඩ්‍රින්ක් එකය. දැන් දැන් ඇති හැකි අය තරුපහේ හෝටල්වල මංගල උත්සවවල ‘‘වෙල්කම් ඩ්‍රින්ක්’’ එක බවට ගල්සියඹලා පානය එක්කොට හමාරය. ගල්සියඹලා ගැන හොයන්නට කරක් ගැසූ අපට අවසානයේ පෙනී ගියේ ගල්සියඹලා ලංකා ඉතිහාසයේ ඉහළම මිලට අලෙවි වූ පලතුර ලෙස තැබූ වාර්තාව ‘ගල්’’ කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බවය.

වජිර ලියනගේ