විශේෂාංග

ග්‍රැෆිටි කලාව ලෝකෙට එන්නෙ බර්ලින් තාප්පෙන්

ජරාජීර්ණව පැවති තාප්ප, ගොඩනැගිලි බිත්ති මේ දිනවල චිත්‍රවලින් සැරසෙන්නේ රැල්ලක් ලෙසිනි. සමාජ මාධ්‍ය ජාල අතර මෙම චිත්‍ර හුවමාරු වන්නේ උණු කැවුම් ලෙසිනි. අද නුවර නම් හෙට ගාල්ලේද, අනිද්දා තවත් ප්‍රදේශයක තාප්පයක් ලස්සන කළා යැයි පවසමින් බහුල ලෙස ඡායාරූප සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරෙමින් පවතින්නේය. බොහෝදෙනකු මේවාට විවිධ අදහස් දක්වන ආකාරයද දැකගැනීමට හැකිය.

මෙලෙස පැරණි ගොඩනැගිලි, තාප්ප, බිත්ති සරසමින් නිර්මාණය කෙරෙන චිත්‍රද එක්තරා කලාවකට අයත් වන්නේය. එය හඳුන්වන්නේ වීදි චිත්‍ර කලාව හෙවත් ග්‍රැෆිටි ආට්ස් (Graffiti Arts) ලෙසිනි.

අප රටේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකු වන ශාන්ත කේ. හේරත් පවසන ආකාරයට ගැෆිටි යන්නෙහි අර්ථය වන්නේ බිත්තියක හෝ වෙනයම් පෘෂ්ටයක් මත ඇඳීමත්, ලිවීමත්ය. ග්‍රැෆිටි චිත්‍ර කලාව පිළිබඳ කතා කිරිමේදී මෙහි ආරම්භය ජර්මනියේ බර්ලින් තාප්පය ලෙස බොහෝදෙනකු පවසති. බර්ලින් තාප්පය යනු ජර්මනිය දෙකට බෙදා වෙන් කිරීම සඳහා ඉදිකරනු ලැබූවකි. ජර්මනිය බටහිර හා නැගෙනහිර ලෙස වෙන්වූයේ 1961 වසරේ ඉදිකළ මෙම තාප්පය හේතුවෙනි. මෙම තාප්පය ඉදිවීමත් සමගම නැගෙනහිර ජර්මනියේ ජීවත් වූ බොහෝ පිරිසක් එය අතහැර බටහිර ජර්මනිය දෙසට සංක්‍රමණය වූහ. එහිදී තම හිතවතුන් හමුවීමට නොහැකිව බොහෝ පිරිසක් තාප්පයකින් දෙපසට වී සිටියහ.

ඇතැම්හු තම පීඩාව වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකිව බර්ලින් තාප්පය මත නිර්මාණ වශයෙන් චිත්‍ර ඉදිරිපත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. මේ හේතුව නිසාම 1961 වසරේ සිට බර්ලින් තාප්පය පිරෙන තරමට අරුත්බර චිත්‍ර දහස් ගණනක් නිර්මාණය වී තිබේ.
ග්‍රැෆිටි කලාවේ ආරම්භය බර්ලින් තාප්පය ලෙස බොහෝදෙනකු හැඳින්වුවද ශාන්ත කේ. හේරත් පවසන්නේ මෙවන් අදහසකි.

‘‘ග්‍රැෆිටි කලාවේ ආරම්භය පිළිබඳව එවැනි ස්ථිර තැනකට යන්න බැහැ. ග්‍රැෆිටි කලාවේ ආරම්භය මානවයාගේ ආරම්භයත් සමග වෙන්න පුළුවන්. මොකද ආරම්භක ශිෂ්ටාචාරවල ගල්ගුහාවල මෙන්ම ඊජිප්තු පිරමීඩවල ඇතැම් සංකේතවල මෙම ග්‍රැෆිටි ගුණාංග දකින්න පුළුවන්. ස්පාඤ්ඤයේ අල්මයිරා ගුහාවේ තිබෙන චිත්‍රවල පවා ග්‍රැෆිටි චිත්‍ර කලාවේ ලක්ෂණ තිබෙනවා.’’

බොහෝ විට ග්‍රැෆිටි යන්න ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ඉදිරියට එන්නේ පීඩිත ජනතාව නිසයි. ඔවුන් තමන්ගේ පීඩනයන් සම්මත මාධ්‍යයකින් ප්‍රකාශ කිරීමට නොහැකි වූ අවස්ථා අතහැර දමන ලද ගොඩනැගිලි බිත්ති මත, කැඩී බිඳී ගිය තාප්පවල තමන්ගේ පීඩාව ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන් බටහිර රටවල කාර්මිකකරණයෙන් විනාශ වූ ස්ථානවල, යුද්ධයෙන් විනාශයට පත්වූ දේවල ඔවුන් මෙම ප්‍රකාශ කිරීම් සිදුකර තිබෙනවා.’’

ග්‍රැෆිටි නිර්මාණකරුවෝ සිය නිර්මාණය ක්ෂණිකව සිදුකරති. ඒ අඟුරු කැබැල්ලකින් වැනි තමන් අතට හසුවන ඕනෑම මාධ්‍යයකිනි. නමුත් කාර්මික විප්ලවයෙන් පසුව මෙම තත්ත්වය යම් දුරකට වෙනස් වන්නේය. ඒ 1970 වසරෙන් පසුවය. කාර්මික නගරවල මෙය වඩාත් ප්‍රචලිත වන්නේය. ඔවුහු චිත්‍ර කලාවට භාවිත කරන මාධ්‍ය පවා වෙනස් කරගැනීමට පියවර ගත්හ. ඒ සඳහා ස්ප්‍රේ වැනි වර්ග භාවිත කිරීමට පෙලඹුණි. ක්ෂණික නිර්මාණකරණයේදී ස්ප්‍රේ කෑන් භාවිතය ඔවුනට මහත් රුකුලක් විය.

කලාත්මක බව මෙන්ම අන් අයගේ අවධානය ඇද ගැනීමේ ශක්තිය මෙන්ම මහජන දෘෂ්ටිය පිළිබිඹු වන ආකාරයට මෙම නිර්මාණ වර්ධනය වීමත් සිදුවන්නේය. ශාන්ත කේ. හේරත් පවසන්නේ තාප්ප මත ඇඳීම තුළින් හැඟීම් ප්‍රකාශ කිරීම වර්ධනය සිදුවූ බවත්, එය කලාත්මක ප්‍රකාශනයක් බවට පත්වන බවත්ය.

‘‘තම සිතැඟි කෝපය, වේදනාව ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වුණු මෙය නිර්මාණශීලී මාධ්‍යයක් බවට පත්වෙනවා.  තීන්ත බාල්දියක් අරගෙන ගිහිල්ලා මෙම නිර්මාණකරණයේ යෙදුණු අය තාක්ෂණය භාවිත කිරීමට යොමු වෙනවා. ඔවුන් තීන්ත වෙනුවට විවිධ ස්ප්‍රේ කෑන් වර්ග වෙත යොමුවෙනවා. තවත් පිරිසක් විවිධ බ්ලොක්ස් හදාගෙන ගිහිල්ලා ඒවා තබලා නිර්මාණ කිරීම සිදුවුණා.’’

බටහිර රටවල තරුණ පිරිස් රාත්‍රි කාලවලදී ඉතා රහසිගතව විවිධ ස්ථානවල තමන්ට සිතැඟි දේ නිර්මාණය කිරීම් හැත්තෑව දශකයේ දැක ගැනීමට හැකි විය. එකල මෙසේ හොර රහසේ නිර්මාණකරණයේ යෙදෙන්නන් අපරාධකරුවන් ලෙස පොලිස් අත්අඩංගුවට පත්වීම පවා සිදුව තිබේ. ග්‍රැෆිටි චිත්‍ර මුල් කරගෙන චිත්‍රපට පවා බිහිවී තිබේ.

එම චිත්‍රපටවලින් මෙම කරුණ තවදුරටත් කතාබහට ලක්කර ඇත. ඇතැම් රාජ්‍යයන් තුළ ග්‍රැෆිටි කලාව මතභේදාත්මක විෂයක් බවට පත්විය. සමාජයට අපහාස කිරීම් මේ තුළින් ඇතිවන බව පැවසිණි.

ඇතැම් රටවල් මෙය විශ්වාස කිරීමට පෙලඹිණි. විශේෂයෙන් හැත්තෑව දශකයේ එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල මේ තත්ත්වය දැක ගැනීමට හැකි විය.

මේ අතරතුර හොර රහසේ ගොස් සිදුකරන නිර්මාණකරණය යම් වෙනසකට ලක්වේ. ඒ ග්‍රැෆිටි කලාව කෙරෙහි සමාජය තුළ පිළිගැනීමක් ඇතිවීමත් සමගය. ශාන්ත කේ. හේරත් පවසන්නේ ග්‍රැෆිටි කලාව පසුකාලීනව නිර්මාණශීලී තාක්ෂණය භාවිත කරන පිරිසක් අතට පත්වන බවකි.

‘‘මේ පිරිස භූමි දර්ශනයට හානියක් නොවන ලෙස නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කිරීමකට යොමුවෙනවා. මිනිසුන්ට රස විඳින්න හැකි නිර්මාණ කටයුත්තක් බවට මෙය පත් කරනවා. සමහර පිරිස් තට්ටු දහය පහළොව උස ගොඩනැගිලිවලට පවා ග්‍රැෆිටි කලාව යොදා ගත්තා. මේ තුළ දර්ශන පණිවිඩ පවා ඇතුළත් වුණා. නිර්මාණශීලී උපක්‍රම භාවිත කළා.’’
බර්ලින් තාප්පයේ කෙතරම් ප්‍රමාණයක් ග්‍රැෆිටි නිර්මාණ තිබුණද එයට හිමිකරුවන් නොමැත. බැන්ස්කි යන නමින් හඳුන්වන ග්‍රැෆිටි නිර්මාණකරුවාද ලොව පුරා ප්‍රසිද්ධ ඒ නමින් පමණි. ඔහුද සිය නිර්මාණකරණයේ යෙදී ඇත්තේ රහසිගතව බව පැවසේ. නමුත් අද වනවිට ග්‍රැෆිටි නිර්මාණ සඳහා මිලක්ද නියම වී ඇත. නගර සංවර්ධනයේදී ඇතැම් ග්‍රැෆිටි නිර්මාණ තාප්ප ලෙසින් ඉවත් කරනු ලැබේ. එහිදී ඒවා එකතු කරන්නෝ හා රසිකයෝ මෙම නිර්මාණ කෝටි ගණන්වලින් අලෙවි කරති. පසුගිය දිනෙක ජේන් මයිකල් බැස්කුයිට් (Jane Michel Basquiat) නමැති ග්‍රැෆිටි නිර්මාණකරුවාගේ නිර්මාණයක් ඩොලර් මිලියන සියයකට අලෙවි වී තිබේ. මේ වනවිට ග්‍රැෆිටි කලාවටද වාණිජ උපක්‍රම එකතු වී ඇති බවක් ශාන්ත කේ. හේරත් පවසයි.

‘‘වර්තමානයේ ග්‍රැෆිටි කලාවට වාණිජවාදී උපක්‍රම එකතුවෙලා තමන්ගේ නමින් හෝ අන්වර්ථ නම්වලින් ශිල්පීන් දැන් මේ කලාව ප්‍රසිද්ධියේ සිදු කරනවා. නූතනයේ ග්‍රැෆිටි කලාව නගර අලංකරණ කලාවක් බවට පත්වෙලා. ඒ වාගේ ප්‍රචාරණ කලාවක් බවටත් පත්වෙලා. ඇතැම් ග්‍රැෆිටි නිර්මාණ තිබෙන ගොඩනැගිලිවලට මිලක් පවා නියම වෙනවා. අද වනවිට මේ ග්‍රැෆිටි නිර්මාණ තිබෙන ගොඩනැගිලි නඩත්තු කිරීමට විවිධ ආයතන පවා බිහිවෙලා තිබෙනවා. කලාගාරයේ තිබුණ ආඩම්බරය අද වනවිට වීදියට ඇවිත් තිබෙනවා.’’
ග්‍රැෆිටි කලාව, කලාවක් නොවන බවට ඇතැම් පිරිස් ප්‍රකාශ නිකුත් කරති. ඔවුන් කියන්නේ මේ තුළින් සමාජයට විනාශයක් සිදුවන බවකි. එසේම කලාගාරයේ සිටි පිරිසට මෙම කලාව අභියෝගයක් වී තිබෙන බවකි. ඒ වීදිය කලාගාරය ආක්‍රමණය කිරීම හේතුවෙනි.

වීදි කලාකරුවෝ මේ වනවිට තම නිර්මාණ පරිසරය අලංකාර කිරීමට යොදාගෙන තිබේ. එසේම නිර්මාණකරණයේදී ඓතිහාසික ආගමික පසුබිම ආරක්ෂා වන ආකාරයට නිර්මාණකරණයේ යෙදිය යුතු බවත් ශාන්ත කේ. හේරත් පවසයි.

‘‘අද වනවිට මේ ග්‍රැෆිටි කලාව යොමුවෙලා තිබෙන්නේ පරිසරය ආරක්ෂා වන ආකාරයට නිර්මාණකරණයේ යෙදෙන්නට. එසේම ග්‍රැෆිටි නිර්මාණකරුවන් තම සංස්කෘතිය ආරක්ෂා වන ආකාරයට නිර්මාණකරණයේ යෙදෙනවා. ඔවුන්ට කවුරුන් හෝ හාස්‍යයට ලක් කිරීමට අවශ්‍ය නම් එයද ඉටු කරන්නේ ඉතා සංයමයෙන් කලාත්මකව. පෙර පැවති ද්වේෂ සහගත තත්ත්වය මේ වනවිට ග්‍රැෆිටි කලාව තුළින් ඈත්වෙලා තිබෙනවා.’’
චීනයේ ප්‍රසිද්ධම ග්‍රැෆිටි නිර්මාණයක් ඇත. බඩඉරිඟු හේනක ඉරිඟු කරලක් පාරට නැමී තිබෙනවා දකින පාසල් යන දැරියක් එම බඩඉරිඟු කරල ඔසොවා තම හිස පැලඳි රිබන් පටියෙන්ආධාරයක ගැටගැසීමේ නිර්මාණයයි.

මෙම නිර්මාණය ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ග්‍රැෆිටි කලාව පරිසරය පිළිබඳ කතා කරන හේතුවෙන්ම විය හැකිය.

ලොව පුරා මෙලෙස ග්‍රැෆිටි කලාව විවිධ පැතිකඩ ඔස්සේ විකාශනය වෙද්දී ලංකාවේ තාප්පවලද ග්‍රැෆිටි චිත්‍ර ඇඳෙන්නට පටන්ගෙන ඇත.

ශිරෝමි රත්නායක