අතන මෙතන

ගවරවිල විදුහලේ ආදි සිසු දෙමාපියන් හැටන් නගරයේ දී විරෝධතාවයක

හැටන් අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් ඔහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් හැටන් බස් නැවතුම් පොළ ඉදිරි පිට දී හැටන් අධ්‍යාපන කලාපයට අයත් මස්කෙලිය ,ගවරවිල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් ,දෙමාපියන් පිරිසක් අද (09) පෙරවරුවේ නිහඬ විරෝධතාව යක නිරත වුහ.

මෙහි දී ඔවුන් විශේෂයෙන් අවධානයට යොමු කලේ හැටන් අධ්‍යාපන කලාපයට අයත්, සාමිමලේ, ගවරවිල දෙමළ මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය හා විදුහලේ ගැටළු ඇති කරන ගුරු මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින්ට වහා ස්ථාන මාරු ලබා දී නව විදුහල්පතිවරයෙක් හා ගුරු මණ්ඩලයක් ලබා දෙන ලෙසය.

මෙම විදුහලේ වත්මන් විදුහල්පතිනිය හා ගුරුවරයෙක් අතර මාස කීපයක කාලයක් තිස්සේ පවතින ගැටළුවක් හේතුවෙන් විද්‍යාලයේ නිරන්තර ප්‍රශ්න ඇතිව තිබෙන බවත්, එම ගුරුවරයාට වෙනත් පාසලකට ඉකුත් සතියේ සිට ස්ථාන මාරුවක් ලබා දීමෙන් පසු අදාල ගුරුවරයා 29 දා වස පානය කර අසාධ්‍ය තත්වයෙන් දික්ඔය මූලික රෝහල වෙත ඇතලත් කර ඇති බවත්, එම තත්වයත් සමග විදුහලේ ගැටළු රැසක් උද්ගතවීම හේතුවෙන් තම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බව පවසමින් දෙමාපියෝ ඉකුත් 30 වන දා පාසල් භුමිය පරිශ්‍රයේ ද විරෝධතාවයක් දැක් වුහ.

පවතින ගැටළු සහගත තත්වය සම්බන්ධව අධ්‍යාපන බලධාරීන්ට කීප වරක් දැනුම් දුන්නද මේ දක්වා විසඳුමක් ලබා දී නොමැති බව පවසන දෙමව්පියෝ, අ.පො.ස. (උසස් පෙළ) දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසලේ අධයාපනය හදාරණ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමට ඉඩ නොදී හැටන් අධ්‍යාපන කලාපයේ වගකිවයුත්තන්ගේ කඩිනම් අවධානය යොමු කර විසඳුමක් ලබා දෙන ලෙසත්, එසේ විසඳුමක් නොලැබුණහොත් ගැටළු සහගත තත්වය විසඳෙන තෙක් තම ළමයින් පාසලට නොඑවන ලෙස වගකිවයුත්තන්ට දන්වා සිටින බවත් කියා සිටිති.

පාසල් පරිශ්‍රයේ පැවති විරෝධතාවයේ දී මාධ්‍යට අදහස් දක්වමින් ගවරවිල දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පවසා සිටියේ, විදුහලේ කාලයක් තිස්සේ ගුරුවරුන් හා විදුහල්පතිනිය අතර පවතින ප්‍රශ්න රැසක් හේතුවෙන් තම අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් සිදුවී ඇති බවත්, ප්‍රශ්න හමුවේ වස පාලන කරන ගුරුවරුන් සිටින පාසලක තමන්ටද වස පානය කිරීමට සිතෙන බවත්, තම දෙමව්පියන් දැඩි දුකක් විඳිමින් තමන් අධයාපන කටයුතු සඳහා පාසලට එවූවද පාසල් පරිපාලනයේ පවතින ගැටළු හේතුවෙන් තමන් මෙන්ම තම දෙමව්පියන්ද දැඩි පීඩාවට හා දුෂ්කරතාවයකට පත්ව සිටින බවත්, අධ්‍යාපන බලධාරීන් විසින් මෙම ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

මෙම විද්‍යාලයේ ගුරුවරුන් 37 ක් සිටින අතර සිසුසිසුවියන් 600 කට වැඩි පිරිසක් අධ්‍යාපනය හදාරති.

චන්දන ජයවීර – හැටන්