News

ගල් ගැහුණු එන්ජින් 8 අදින්න ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160ක්

මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ ගාල්කර ඇති එම්. 11 පන්තියේ දුම්රිය එන්ජින් ධාවනයට යෙදවීමට අවශ්‍ය ඉන්දියානු දුම්රිය මැදිරි එකසිය හැටක් මෙරටට ගෙන ඒමට නියමිතව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පවසයි.

මෙහි පළමු අදියරේ මැදිරි දහයක් ඉදිරි සති කිහිපය ඇතුළත ගෙන ඒමට නියමිතව ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම මැදිරි ගෙන ඒම කල්ගිය බවද සාමාන්‍යාධිකාරීවරයා කියයි.

රුපියල් කෝටි හත්සිය හැටක් වැයකරමින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද ඉන්දියානු දුම්රිය එන්ජින් 10ක් අතරින් 08ක්ම ධාවනය කළ නොහැකිව මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ ගාල්කර ඇත.

දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරන්නේ මෙම එන්ජින් අක්‍රමවත් පරිදි 2018 – 2019 කාලයේදී ගෙන එන ලද ඒවා බවයි. ඉන් උතුරු දුම්රිය මාර්ගයේ පමණක් එන්ජින් දෙකක් ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ අරුණට පැවසීය.

හිටපු අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු වන විශ්‍රාමික නිලධාරියකුගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක නිර්දේශ මත වැරදි සක්‍යතා අධ්‍යයන පදනම් කරගනිමින් මේ එන්ජින් ගෙන්වා ඇතැයි ද ඒ මගින් විශාල මුදලක් විනාශ කර ඇතැයි ද දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් පැවසීය.

දුම්රිය වෘත්තීය සමිති එල්ල කරන මෙම චෝදනා සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දුගෙන් ඊ​යේ (01 වැනිදා) ‘අරුණ’ කළ විමසුමේදී සඳහන් කළේ ඇමරිකානු සමාගමක් මගින් දුම්රිය එන්ජින් දොළහකුත්, බලවේග කට්ටල දෙකකුත් ගෙන ඒමට නියමිතව ඇති බවයි. එමෙන්ම එම්. 11 පන්තියේ එන්ජින්වලට යොදා ධාවනය කරවිය හැකි ඉන්දියානු දුම්රිය මැදිරි 160ක්ද ගෙන එන බවත් කීය. දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරන ආකාරයට මේ එන්ජින් ධාවනය කළ නොහැකි මට්ටමේ නොපවතින බවද හෙතෙම කියයි.

එෆ්. අස්ලම්