Uncategorized

ගරා යකා වලෙක් නොවේ

මීට අවුරුදු පහළොවකට පෙර, එනම් 2004 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේදී ‘ගරා යකුම’ ශාන්තිකර්මයක් සංවිධානය කිරීමට මට සිදු විය.

ඒ අපගේ බලිතොවිල් ශාන්තිකර්මවල ඇතැම් මනෝ චිකිත්සක අංග නොවිධිමත් ලෙස ගැබ්ව ඇතැයි මා එවක එහි මනෝ වෛද්‍ය විද්‍යා අංශාධිපතිව සිටි විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහයන්ට කළ ප්‍රකාශයක් සනාථ කරවීමටය.

එම ගරායකුමේ ඇදුරා ලෙස අප රටේ සිංහල භාෂා ශාස්ත්‍ර සහ මානව විද්‍යා විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විපුල මෙහෙවරක් ඉටු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියක් හෙබ වූ විභාවි විජයශ්‍රී වර්ධනයෝ කටයුතු කළහ. සිය ශාස්ත්‍රීය ජීවිතයේ ස්වර්ණමය යුගය එළඹීමත් සමග ඉන් දෙවසරකට පසු ඔහුට අකාලයේ මොලොවින් සමු ගැනීමට සිදුවීම මෙරට භාෂා ශාස්ත්‍ර, සාහිත්‍යය සහ මානව විද්‍යා විෂය පථයට පිරිමැසිය නොහැකි පාඩුවක් වූ බව නොකියාම බැරිය.

එම ගරායකුම නැරඹීම පිණිස විශ්වවිද්‍යාලයීය මනෝ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේම පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් උපාධි ලබා ඒ වන විට මනෝ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි සුදුසුකම් සපුරමින් සිටි මහනුවර, කුරුණෑගල, කෑගල්ල ආදී රෝහල්වල සේවය කරමින් සිටි තරුණ මනෝ වෛද්‍ය නිලධාරින් සහ නිලධාරිනියන් කිහිප පලක්ම එක්ව සිටියහ. එම ශාන්තිකර්මයේ ගරා යකුගේ භූමිකාව සඳහා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයකු පේරාදෙණියට ගෙන්වාගත් අතර ඔහු පහතරට ශාන්තිකර්ම කලාව හා සම්බන්ධ පරපුරක වත්මන් නියෝජනයක් වීම එහි සාර්ථකත්වයට වඩාත් හේතු විය.

විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ආලින්දයේ සංවිධානය කර තිබූ එම ගරායකුම සඳහා ආතුරයකු නොමැති අඩුව අවසන් මොහොතේ ඉස්මතු වීමත් සමග එහි ආතුරයා වශයෙන් පෙනී සිටීමට එවක පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී මනෝ වෛද්‍යවරයකු සිය කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඒ දැනට අංගොඩ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන කපිල රණසිංහය.

කෙසේ හෝ සැබෑ ගරායකුමක ඇති මල් යහන, යක් බෙර, අයිලය, දුම්මල කට්ටකුමන්ජල් ආදී සියලු අංගයන්ගෙන් පිරී තිබූ මෙම ශාන්තිකර්මයේ දී ගරායකු ලෙස පෙනී සිටි දැඩි සිරුරින් යුත් තරුණ සරසවි ශිෂ්‍යයා එහි තනවන ලද අයිලයට නැග එහි රැඟුම් පාන්නට වූයේ රැස්ව සිටින්නවුන් තුළ ත්‍රාසය ජනිත කරවමිනි. ඉන්පසුව එහිදී ශාන්තිකර්මයේ ඇදුරා වන විභාවි විජයශ්‍රී වර්ධනයන් සහ එම ගරායකු අතර පැවති සංවාදය මෙලෙසිනි.

ඇදුරා : තමන් මේ ඇවිත් තියෙන්නේ කොහාටද කියලා දන්නවද?
ගරායකු : ඇත්තටම මේ කොහෙද ගුරුන්නාන්සේ, මේ අර කන ගෙඩි ජාතිය තියෙන හරිය නේද?
ඇදුරා : මොන ගෙඩි ජාතියක් ගැනද තමුන් ඔය කියන්නේ?
ගරායකු: මොනවද මේ… මේ… අඹ, නෑ… අැපල් නෑ… මුද්දරප්පලම් නෑ… නෑ.. පැපොල්… ඒත් නෑ… අන්නාසි හත්වලාමේ ඒත් නැහැ නොවැ… හරි හරි ගුරුන්නාන්සේ මට මතක් වුණා.
ඇදුරා : මතක් වුණා නම් කියමු බලන්න
ගරායකු : පේර… පේර… හැබෑට මම මේ ඉන්නේ පේරගහකද, ගුරුන්නාන්සේ.
ඇදුරා : ඇන්නෑවේ පේරගහක නෙවෙයි, තමුන් මේ ඉන්නේ පේරාදෙණියේ.
ගරායකු : හරි හරි ගුරුන්නාන්සේ. දැන් මට මතක් වුණා. මම මේ ඉන්නේ පේරාදෙණියේ නම් මට මලක් දෙකක් නෙළාගන්න බැරි වෙයිද?
ඇදුරා : මල් තියෙන්නේ අතන පේරාදෙණිය මල් වත්තෙනේ. මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. මෙහේ කොහේද මල්?
ගරායකු : (ලැජ්ජාවෙන් සිනා සී එම ගරායකුම නරඹමින් සිටි තරුණ වෛද්‍යවරියන් පෙන්වා) මොකද ගුරුන්නාන්සේ මෙහේ මල් නැත්තේ? මේ තියෙන්නේ රතුපාට, කොළපාට, නිල්පාට, කහපාට මල්නේ. මේ මලක් දෙකක් නෙළා ගන්න මට බැරිවෙයිද ගුරුන්නාන්සේ.

ගරා යකුගේ මෙම ප්‍රකාශයත් සමග මුළු තොවිල්පොළම එකම සිනා හඬකින් ගිගුම් දෙන්නට විය.
‘වරදවා හිතන්න එපා, එහෙම තමයි මේ ගරා යකාගේ හැටි. මෙයා කියන සමහර කතාවලට අහගෙන ඉන්න අයට පොළොව පලාගෙන යන්න හිතෙනවා. එම ගරායක් ශාන්ති කර්මයෙන් පසු ඒ පිළිබඳ කළ ශාස්ත්‍රීය විවරණයේ දී විභාවි විජයශ්‍රී වර්ධනයෝ එසේ කීහ.

‘‘ඒකා මහ වල් සතෙක්.’ ඇතැම් අශ්ලීල පිරිමින් සම්බන්ධයෙන් කාන්තාවන් එසේ කියනු අපි අසා ඇත්තෙමු. එහෙත් මෙහිදී ‘වල්’ යන වදන යෙදෙනුයේ අශිෂ්ට අසභ්‍ය, අශීලාචාර යන අරුත් හැඟවීමට නම් ගරා යකා ඇතැම් මිනිසුන් තරම් ‘වල්’ නොමැති බව ඒකාන්ත සත්‍යයකි. ඊට හේතුව දළ කුමාර නමින් දේවත්වයක් ද හිමි ගරා යකුගේ උප්පත්ති කතාවට මිනිස් සමාජය විසින් දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින ම්ලේච්ඡ දූෂණ ක්‍රියාවක් සම්බන්ධ වී තිබීමත්, ඉන්පසු ඔහු එවැනි ක්‍රියා මුළුමනින්ම අතහැර දැමීමත්ය. එම කතා ප්‍රවෘත්තිය සැකෙවින් මෙසේ ය. දඹදිව දත්තපුරයේ රජකම් කළ බඹදත් රජුගේ පුත් සිංහ කුමාර රජුට සහ හංසවතී දේවියට ‘දළ’ නම් පුත් කුමරකු සහ දූ කුමරියක සිටියහ. නමුත් කෙදිනක හෝ මෙම දළ කුමරා තම එකම සොයුරිය, සංවාසයට පොලඹවා ගන්නා බව රාජකීය නිමිති බලන්නවුන් කී බැවින් එම මාපියෝ කුඩා කාලයේදීම එම කුමරිය මහ වනයේ ගල් ගුහාවක සිරකොට තැබූහ. එහෙත් කෙමෙන් වයසින් වැඩෙන දළ කුමරුන්හට තම එකම සොයුරිය ගැන දැන ගන්නට ලැබී ඇය දැක ගැනීමට තමන් තුළ පවතින දැඩි ආශාව දෙමාපියන් හමුවේ කියා සිටියේ ය.

නමුත් ඔවුන්ගෙන් ඒ සඳහා කිසිදු අවසරයක් හිමි නොවිණ. නමුදු පසුව උපායශීලී ලෙසින් බොරු ලෙඩක් මවා පෑ දළ කුමරු තම දෙමාපියන් රවටා සිය නැගණිය තමන් සමීපයට ගෙන්වාගත් අතර නිමිති බලන්නවුන් පළ කළ අනාවැකිය ලෙසින්ම එම කුමරිය එවර දළ කුමරුන් වෙතින් දූෂණයට ලක් වූවාය. ඉන් මහත් චිත්ත පීඩාවට පත් කුමරිය අසල ගසක ගෙල වැලලා මිය ගියමුත් එම ඛේදවාචකය දුටු සක් දෙවිඳුන් ඇගේ මළකඳ ශක්‍ර භවනයට ගෙන ගියේ ය. ඒ ඇය තම බඹසර වෙනුවෙන් කළ ජීවිත පූජාවට දක්වන උපහාරයක් ලෙසිනි. පසුව තම සොයුරියට කුමක් වූයේද යන්න නොදත් දළ කුමරුන් මුළු සක්වළ පීරමින් ඇය සොයන්නට විය. අවසානයේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් කුමරියගේ මළ සිරුර දළ කුමරුන්ට පෙනෙන්නට සැලැස්වීය. ඉන්පසු ඉන් හටගත් චිත්ත පීඩාවෙන් මියගිය දළ කුමරුන් දේවත්වයට පත් විය.

එමෙන්ම එදා මෙදා තුර ඔහු ‘ගරා’යන නමින් මිනිසුන්හට මුහුණ පෑමට සිදුවන ගෘහාශ්‍රිත ගැටලු, අර්බුද සමනය කරන්නට වූ බවද පැවසෙයි. ගරා යකු පෙරමෙන් කාමාතුරයකු නොවීමට හේතුව ඔහු තුළ වූ එම දෝෂය දළ කුමර ආත්මභාවයේදීම පහව ගිය නිසා බැව්ද කියනු ලැබේ. ඒ කෙසේ හෝ අදටත් ‘ගරා යකා’ ලිංගිකත්වය පිළිබඳ විශේෂ ඇල්මක්, උනන්දුවක් පළ කරන්නකු බව පැවසෙයි. ගරා යකුගේ පිරිවර වශයෙන් තවත් ‘ගරා’ යකුන් දොළොස් වර්ගයක් පහල වූ බව ජන සම්මතයි

අඳුන් ගරා, සොහොන් ගරා, පුෂ්ප ගරා, කණ ගරා, ළමා ගරා, ලවුන ගරා, වාන ගරා, තොට ගරා, නීල ගරා, කීල ගරා, දේස ගරා සහ සඳුන් ගරා ලෙසින් නම් කෙරෙන එම ගරා පිරිවර මෙරට ජනයාට හිතසුව සැලසීම පිණිස වරම් ලබා ඇතැයි කියනු ලැබේ. විශේෂයෙන් ඇස්වහ, කටවහ, දෝෂ දුරලීම, ගෙදරදොර සාමය, සතුට, සංහිඳියාව ඇති කිරීම පිණිස මෙම ගරා යකුගෙන් මහත් මෙහෙවරක් සිදුවන බව පොදු ජන විශ්වාසයයි. පුරාණ භාරතයේ පැවැති යාග හෝම පරමාදර්ශ කරගත් ගම්මඩුව ඇතුළු ශාන්තිකර්ම සිදු කිරීම පිණිස සුදුසු විශේෂිත ප්‍රදේශවල ශුද්ධ භූමි සකසා ගැනෙයි. නමුදු ගරායකුම නම් ශාන්තිකර්මය සිදු කිරීම පිණිස එවන් ශුද්ධ භූමි සැකසීම අවශ්‍ය නොවේ.

එ් යම් භූමි භාගයක ඇති කිළිකුණු කාදැමීමට ගරා යකු හට සුවිශේෂ හැකියාවක් ඇතැයි යන ජන විශ්වාසය පෙරදැරිවය. ‘ගරායකුම අනික් ශාන්තිකර්ම වගේ නෙවෙයි රදා තොටක, පිළීතොටක වුණත් නටන්න පුළුවන්. ගරායකුම සම්බන්ධයෙන් අතිශය ප්‍රසිද්ධියට පත්ව තිබූ අහංගම, කතළුව ප්‍රදේශයේ සාම්ප්‍රදායික යකැදුරෝ එසේ කියති.

‘‘ගරා යකා කුණුහරුප, දෙපැත්ත කැපෙන වචන කියන එක වළක්වන්න මෙලෝ ජගතකුට බැහැ. නමුත් ගරා යකා කියන්නේ වල් යකෙක් නම් නෙවෙයි. ඒකගේ වල්කම් තියෙන්නේ වචනවල විතරයි.’’ ගරා යකුගේ නිර්දෝෂීත්වය පළ කිරීම පිණිස කැපවී සිටින ඔවුන් වැඩිදුරටත් එලෙස පවසනුයේ අසත්‍යයක් නොවේ. එහෙත් කැවුමක් සහ කෙසෙල් ගෙඩියක් අතින් ගෙන අයිලයට නගින ගරා යකා ඒවා එකිනෙක ගටමින් පවසන ලිංගිකත්වය සම්බන්ධ කතා ප්‍රසිද්ධියේ අසා සිටීමේ අභියෝගයට මා මුලදී මුහුණ දුන්නේ මහත් අසීරුවකිනි. එහෙත් ගරා යකුගේ චරිත ස්වභාවය හරිහැටි අවබෝධ කරගත් පසු ඔහුගේ එම කතා ඇසීමේ අමුතු අසීරුවක් මා තුළ පැන නොනැගුණි. ඒ කෙසේ හෝ ගරා යනු හුදු අහිංසකයකු මිස වල් යකකු නොවන බවත්, මෙරට ජනතාව තුළ ගරා සම්බන්ධයෙන් යම් ආදරයක්, අනුකම්පාවක් ඇති බවත්, වර්තමාන මධ්‍යම පාන්තික නිවාස ඉදිරියේ එල්ලා ඇති ගරා යක් මුහුණුවලින් මනාව සනාථ වෙයි.

ඒ කෙසේ හෝ කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල්. සිල්වා නම් ගුරු භවතකු විසින් 1885 වසරේ රචනා කරන ලදුව 1909 වසරේ සිට ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව මගින් පාසල් සිසුන්ගේ භාවිතය පිණිස නිර්දේශ කොට ඇති ‘සිරිත් මල්දම’ නම් උපදේශනාත්මක කාව්‍ය සංග්‍රහයෙහි එන 17 වන පද්‍යය මෙලෙසිනි.

නාගම් බැලුමට
විහිළු කෝලම් බැලුමට
යක් තොවිල් බැලුමට
නොයන් නොහොබින එවැනි තැනකට
එසේ වුවද, වචනයට පමණක් සීමාවූ ගරායකුගේ ඇතැම් ප්‍රකාශ මගින් ගරා යකුම ශාන්තිකර්මය නරඹන්නවුන්ගේ සිත් පිරිසිදු වන බවට ජන විශ්වාසයක් පවතී. එමෙන්ම නවීන මනෝ විද්‍යාවේ එන හාස්‍ය චිකිත්සාව (Humer Therapy) නම් මනෝ චිකිත්සක ක්‍රමය හා යම් සබැඳියාවක් මෙම ගරායකුම තුළ ඇති බව එහි ව්‍යුහය සහ සන්දර්භය සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. දරුපල අහිමි කතුන්ට දරුපල ලබා දීමටද මෙම ශාන්තිකර්මය ඉවහල්වන බව පැවසෙනුයේ ඉන් පැවසෙන කාම රාගය (Libido) දනවන ප්‍රජනනය සම්බන්ධ කාන්තාවන්ගේ මොළයේ ඇති ජෛව රසායනික ව්‍යුහයට යම් සාධනීය බලපෑමක් සිදුවිය හැකි නිසා ද විය හැක.

මීට වසර කිහිපයකට පෙර ගණේමුල්ල ප්‍රදේශයේදී මා දුටු ගරායකුමක ඇදුරා සහ යක්ෂයා අතර පැවැති මේ දෙබස් ඛණ්ඩය කෙතරම් රසවත් දැයි බලමු. මෙය මා ලියූ ‘ඇස්වහ – කටවහ’ කෘතියට ද ඇතුළත්කොට තිබේ.
ඇදුරා : තමුන්ටත් ගැනු පරාණයක් දැක්කම ඉන්නම බැහැ වගේ. ඉබේටම අැඟ නළියනවා නේද?
ගරායකු : ඔය ඇඟ කිව්වේ මොන ඇඟද ගුරුන්නාන්සේ. නළියනවා විතරක් නෙවෙයි මට එක එක ඒවා හිතෙනවා.

ඇදුරා : මොනවද ඔය හිතෙන එක එක එ්වා.
ගරායකු : (ලැජ්ජාවෙන් මුහුණ සඟවාගෙන) කියන්න ලැජ්ජයි.
ඇදුරා : එහෙනම් ලැජ්ජා හිතෙන කොටස අයින් කරලා අනික් කොටහ විතරක් කියනවා හොඳයි. මොකද මෙතැන ඉන්නේ බොහෝ වැදගත් අය.
ගරායකු : එහෙනම් මම කවියෙන්ම කියන්නද ගුරුන්නාන්සේ.
ඇදුරා : එහෙනම් කියමු බලන්න.
ගරායකු : කොස්සින්නේ ඉඳන් ගණේමුල්ලට පැමිණී
බස් එකෙ උන්නු ඒ සුදු නාඹර තරුණී
ඇදුරා : ඔය යස අගේට කියැවෙන්නේ, හා හා කමක් නෑ… කියමු බලන්න ඉතුරු ටිකත්.
ගරායකු : ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ ගිලුණී
බස් එක පිටින් උස්සන් යන්නට හිතුණී.
ගරා යකා ඒ මොහොතේ එසේ කීවද තම සොයුරිය දූෂණය කිරීමෙන් පසු ඒ දෝෂය මග හරවාගත් ඔහු ඉන්පසු කිසිදා එවැනි ම්ලේච්ඡ අශිෂ්ට හිංසන ක්‍රියාවකට සම්බන්ධ වූ බවක් දැන ගන්නට නැත. අප ජන සමාජයේ වෙසෙන එවැනි ක්‍රියාවල යෙදෙන මිනිස් වෙස්ගත් අමනුෂ්‍යයන්ට වඩා ගරායකු සැබැවින්ම අහිංසක යකෙකු වන්නේ එනිසාය.

තිලක් සේනාසිංහ