විශේෂාංග

ගමේ පලතුරු සුවඳ හමන කොළඹ අච්චාරු කරත්ත

ප්‍රේමකුමාර එපිටවෙල මෙරට සිටි ප්‍රකට කලාකරුවෙකි. ඔහුගේ පේරාදෙණිය තම්බපන්නි ආයතනය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ තමාට අවශ්‍ය දේ තමන්ම නිපදවාගැනීමේ සංකල්පය නිසාය. තමන්ට අවශ්‍ය රෙදි ටික ගෙදරම වියාගැනීමටත්, එළවළු ටික මෙන්ම තමන්ට ලිවීමට අවශ්‍ය කොළ පවා ප්‍රේමකුමාර තම නිවසේදීම නිපදවා ගත්තේය. ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේ ඔහු සොයා ගිය පුවත්පත් කලාවේදියකු දුටුවේ ඔහු දිවා ආහාරයෙන් පසු මිදුලේ ගහක් යට පලතුරු කිහිප වර්ගයක් අතුරුපසට ආහාරයට ගන්නා බවය.

‘බලන්න මගේ ගෙදර වත්තේ පලතුරු ගස් ජාති පහළවකට වැඩියි. කෑමෙන් පස්සෙ ඒවායින් එක ගාණේ හත අටක් මං ආහාරයට ගන්නවාමයි. ලෝකේ කොහෙවත් ලංකාවේ වගේ රසවත් පලතුරු නැහැ!’

මුල්කාලේ පර්චස් 40-50 තිබුණ ඉඩම් දැන් දැන් පර්චස් පහකුත් නොනැවතී පර්චස් තුනටද අඩු වී ඇත. මේතරම් කුඩා ඉඩක මොන පලතුරු ගස් දැයි ඔබටත් ප්‍රශ්නයක් පැන නගිනු ඇත. ඒත් අපේ ගම්වල ජනතාව නම් අපේ මේ පලතුරු සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ වෙනත් පිළිවෙතකි. ගෙදර හැදෙන අඹ ටික, ඇඹරැල්ලා ටික, ගස්ලබු ටික ගෙදරට එන වෙළෙන්දන්ට විකුණන ඔවුන් ටවුමට ගොස් මාස ගාණක් නැවේ එන ඇපල් ගෙනවිත් රසකර බුදිති. ගෙවල් වතුවල නිදහසේ වැටුණු පලතුරු මාදං, මොර, ගඩුගුඩා ගස් යට වැටී කුණුවෙද්දී ඔස්ට්‍රේලියාවෙන් ආනයනික මිදි කිලෝව රු 1600 නිසා ග්‍රෑම් 100 මිලට ගෙන ආහාරට ගනී.

අපට මෙතරම් ගම ගැන හෑල්ලක් කියන්නට වූයේ දැන් දැන් ගමේ ඇත්තන්ටත් වඩා කොලොම්පුරේ කට්ටිය ගමේ පලතුරු වෙතට ඇදීයාමක් දක්නට ලැබිණි.

වෙළඳපොළේ රු. 100ක ෆෝන්කාඩ් එකක් වික්කොත් ලැබෙන කොමිෂන් මුදල රු 3කි. රුපියල් හතළිහක රෙදි සෝදන සබන් කෑල්ලක කොමිස් මුදල රු. 02කි. එහෙත් ඔබ අච්චාරු හැදීමට රු.100ක් වියදම් කළහොත් ඔබට 200කට වඩා ලාභයක් ඉපයිය හැකිය. අප එසේ කියන්නේ කොලොම්පුරේ ඇවිද අච්චාරු කරත්ත අසල කරක් ගැසීමෙන් පසුය.

මේ අච්චාරු කරත්ත සොයා අපගේ අධීක්ෂණයට ලක්වූයේ බොරැල්ල, මරදාන, ආමර්වීදිය, කොටහේන, කෙළින්වීදිය හා ගෝල්ෆේස් ආදී ප්‍රදේශයන්ය. කොළඹ ප්‍රදේශයේ අප හොඳින් නිරීක්ෂණය කළ කරුණක් නම් පලතුරු විකුණන කඩ එකකවත් අච්චාරු විකුණන්නට නැති බවය. මේ ගැන අපි මරදාන ඩීන්ස් පාරේ පලතුරුවලින් පිරී ඉතිරී ගිය ‘කඩ බක්කියකින්’ අසා සිටියෙමු.

‘මේ පලතුරු කඩවල ඉස්සර පලතුරු බීමත් හැදුවා. ගොඩක් අය හිතන් ඉන්නේ පලතුරු කඩේක බීම හැදුවාඩ නරක් වෙන්න ඔන්න මෙන්න තියෙන පලතුරුවලින් බීම හදනවා කියලා. සමහරු අහන්නේ කුණුවෙච්ච පැත්ත අයින්කරලා බීම හදනවද කියා. අච්චාරු හැදුවොත් අහන්නෙත් ඔය ටිකම තමයි. තුහ් විතරක් මොනාටද ඔය වගේ කතා අහන්නේ. පලතුරු කුණුවේගෙන ආවොත් පටෝනවා යූ සී එකේ වාහනයට මිසක් ඔය දෙකෙන් එකක්වත් හදන්නේ නැහැ’

අප කුඩා අවදියේ නම් ඕනම පාසලක් ළඟ තම්බපු වෙරළු ටිකක්, කෑලි කැපූ අඹ ටිකක්, දිවුල්, සම්බෝල ටිකක් විකුණන ආච්චිලා වැරදුණේ නැත. ඒත් දැන් කොළඹ ඉස්කෝල ළඟ නම් ‘අච්චාරු ආච්චිලා’ දකින්නටත් නැහැ. බොහෝ දරුවන් ඒ වෙනුවට රුපියල් දහයකට ගත හැකි බහුජාතික සමාගමක අයිස් පලමක් ඇද බෑම පුරුද්ද වී ඇත.

අපට මුලින්ම අච්චාරු වෙළෙන්දකු හමුවන්නේ මරදාන මාලිගාකන්ද පාරේ. තල්ලු කරගෙන යන කරත්තයකි. ඔහු එම අච්චාරු කරත්තය තල්ලුකරගෙන යමින් සිටියේ මරදාන වජිරඥාන මාවත හරහා අලිදෙන්නා පන්සල දෙසට බව ඔහු අප සමඟ පැවැසීය. අප මුලින්ම කළේ රු. 100ක අච්චාරු ඔහුගෙන් මිලදී ගෙන කතාවට වැටීමය. ඔහු යනවා යැයි කියූ ප්‍රදේශයේ වැඩිපුරම ජිවත්වූයේ මුස්ලිම් ජාතිකයන්ය.

‘මොනවද මහත්තයා මේ ඔය කියන පැත්තේ පලතුරු ගහක් තියා තුත්තිරි ගහක් නැහැ. මේ කොළඹට එන හොඳම පලතුරු ටික කන්නේ තම්බියෝ ටික තමයි. අච්චාරු  කන්න කොහොමත් ඒ කට්ටිය කැමැතියි. පලතුරු කීයක්ද  තියෙන්නේ තැටිවල තැටිවල දාලා තියෙන ඒවලින් ඔක්කොම දාලා තමයි ඉල්ලන්නේ.’

මරදානෙන් පසු ටෙක්නිකල් හන්දිය පසුකොට පිවිසියේ කෙළින්වීදිය පටන්ගන්නා ගෑස්පහ හන්දියටය. එතැන කයිමන් දොරකඩ ළඟ අච්චාරු වෙළෙන්දකු තම කරත්තය දූවිල්ලෙන් ආරක්ෂාවන ලෙස ඉටිකොළ ගසා තිබිණි. ඔහු ළඟ අච්චාරු වර්ග 12 ක් පමණ රබර් රොටි මුදවන තැටිවල දමා තිබිණි. අච්චාරු අලෙවි කරන අඩුම මිල රු 50කි. විනිවිද පෙනෙන කුඩා පෙට්ටියක අච්චාරු දමන්නට අයකරන මුදල රු. 150කි. එහි තියෙන සියලු අච්චාරු හැන්ද දෙක බැගින් දැමූ විට එහි පිරී ඉතිරී යයි. එයින් එකක් මිලදී ගන්නා අතර අපි අච්චාරු විකුණන පුද්ගලයා සමඟ කතාවට වැටුණෙමු.

‘අපි මහත්තයා ජොබ් එකට තමා වැඩ කරන්නේ. කොමිෂන් එකක් තමයි හම්බවෙන්නේ. ටාගට් එකක් තියෙනවා. වැස්සදාට එහෙම බිස්නස් අඩුයි. රු. 100 ගෙදර අරන් ගිය දවසුත් තියෙනවා. මේවා මේ ළඟ තැනක හදලා කරත්ත පහකට දෙනවා. අපේ විස්තර ගත්තට බොසාලා පත්තරේ දානවනම් පොඩ්ඩක් අපේ බොසාට කියන්න. අපි කියන ඒවා කොහොම ලියයිද දන්නෑනේ’

කෙළින් වීදියේ මඳ දුරක් යනවිට අපට මේ කියන අච්චාරු සකසන තැන සොයාගැනීමට හැකිවිය. එය මුස්ලිම් ජාතිකයකු සතු අතර ඔහුගේම අච්චාරු කරත්ත 5ක් ඇති බව එහි සේවකයකු අප සමග පැවැසීය. විවිධ උත්සව පැවැත්වෙන විට එම ශාලාවන් අසලට අච්චාරු යැවීම ඔවුනගේ ප්‍රධාන ව්‍යාපාරයක් වී ඇත. කෙළින්වීදිය කොනේ ඇති කස්ටම් කාර් පාර්ක් එක අසල දැවැන්ත අච්චාරු කඩයද මෙම ආයතන හිමියාගේමය.

කොළඹ අච්චාරු කඩ සොයායන විට අප අමුතුම තැනක තිබුණ අච්චාරු කරත්තයක් දැක ගත හැකි විය. එය තිබුණේ බාර් එකක් ළඟය. එතැන තිබූ තම්බපු කඩල – මුංඇට – සුදු කව්පි මේ හැමටත් වඩා මේ ‘අච්චාරු බයිට්’ බිස්නස් එක සරු බව අපට පෙනී ගිය කරුණකි. මේ අච්චාරු කඩයේ වෙනත් කිසිම තැනක නැති විශේෂත්වයක් තිබිණි. අප මුළු කොළඹම අච්චාරු කරත්ත නිරීක්ෂණය කළ එකම කරත්තයකවත් විදේශීය ඇපල් – පෙයාර්ස් අච්චාරු සඳහා යොදාගනු දක්නට නොලැබුණි. ඒත් මේ අප කියූ අච්චාරු කරත්තයේ විවිධ ඇපල් ගෙඩි තබා තිබුණේ එක් විලාසිතාවකටය. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව පෙතිගැසූ ඇපල් බයිට් සඳහා ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු අඩුවැඩි පමණට දමා දීම සරු ව්‍යාපාරක් විය. මෙම ඇපල් ගෙඩියක් රු. 50 සිට 100 දක්වා මිල කෙරුණු අතර එම රු. 50 ඇපල් ගෙඩියක් පිටකොටුව පදික වේදිකාවල ඇතැම් දිනවල රු. 10කට මිලදී ගත හැකිව තිබිණි.

කොළඹ මහ රෝහල අසල අච්චාරු කඩවල ප්‍රධාන වශයෙන් තිබුණේ අන්නාසි, අඹ සහ ඇඹරැල්ලාය. ඒවා රු. 20 සහ 50 ෂොපින් බෑග්වල දමා තිබිණි.  කලක් නවලෝක රෝහල අසල සිටි අඹ අච්චාරු වෙළෙන්දන් අපට දැක ගත හැකිවූයේ නැත. ආනයනික පලතුරු අතරින් ‘බේබි නාරං’ ලෙස තියෙන නාරං වර්ගය බික් ගලවා ගම්මිරිස් දමා එක් තැනක පමණක් දැකගත හැකිවිය.

කොළඹ ප්‍රදේශයේ අච්චාරු කරත්ත ප්‍රධාන වශයෙන් යොදාගෙන තිබුණ පලතුරු වර්ග සමහර ගම්වල වත් දක්නට නැති ඒවාය. අඹ, අන්නාසි, වෙරළු, ඇඹරැල්ලා, උගුරැස්ස, ලොවි, දිවුල්, මාදං, ජම්බු සහ නමිනං මේ අතරින් ප්‍රධාන වශයෙන් බොහෝ තැන්වල තිබූ අච්චාරු සඳහා යොදාගෙන තිබිණි.

ගෝල්ෆේස් පිටියේ නම් අච්චාරු කඩවලට හතේ හත වැදී තිබෙන බව අපට පෙනී ගියේ අනෙක් කඩ වලටද ඒ ඉරණමම අත්වී ඇති බැවිනි. ගෝල්ෆේස් මුහුදට සමගාමි මංතීරුවේ තිබූ බොහෝ ජංගම කඩ වසා තිබිණි. විවෘතව තිබූ කඩ හිමියන් කිව්වේ පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝල්ෆේස් බිස්නස් ආයි පණගසා නැගිට්ටේම නැති බවය. පොලියට මුදල් ගෙන බිස්නස් කළ පුද්ගලයන් බොහෝ දෙනකු පොලිය තබා මුදලවත් ගෙවා ගත නොහැකි නිසා කඩ අතහැර පලාගොස් තිබිණි.

අවසානයේ අපට අච්චාරු කරත්ත ගැන තේරුම් ගියේ රහට තිබේනම් ඕනෑම ගණනකට අච්චාරු කෑමට මෙරට පාරිභෝගිකයන් සැදී පැහැදී සිටින බවය. ඊටත් වඩා එය කිසිදු ආනයනික පලතුරුවලින් ගසා  බිම හෙළිය නොහැකි දේශීය පළතුරු මත යැපෙන බිස්නස් එකක් ලෙසද අපට තේරුම් ගැනීම එතරම් අපහසු නොවීය.

වජිර ලියනගේ