කතුවැකි

ගමේ අය ලවා බඩු බෙදමු

කොරෝනා අවදානම මුළුමනින්ම තුරන් කර ගන්නට නම් ඇඳිරි නීතිය තවත් සති කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු යැයි ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් වී ඇතැයි වාර්තා වී තිබේ. විශේෂයෙන් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර හා උතුරේ අඛණ්ඩව ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වුවද ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සැපයීමට වැඩපිළිවෙළක් දියත් කිරීමට ආණ්ඩුව මේ වන විට මූලික පියවර ගෙන තිබේ. රටම ලොක්ඩවුන් කළ යුතු යැයි කියූ අයට දැන් ඇති ප්‍රශ්නය වන්නේ ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ මෙහෙයවීම බැසිල් රාජපක්ෂට භාරදීමය.

ආණ්ඩුව ජනතාවගේ දොරකඩටම අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩපිළිවෙළ ගැන අපට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ආණ්ඩුව මෙවැනි වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ආදියට මෙවැන්නක් කල්පනා නොවූයේ මන්ද යන්නය. කඩුවෙල වැනි පළාත් පාලන ආයතන කිහිපයක් දැනටමත් මෙවන් වැඩපිළිවෙළක් අරඹා තිබෙන බව ඇත්තක් නමුත් බහුතරයක් පළාත් පාලන ආයතන එවැනි දේ ගැන කල්පනා කර හෝ තිබේද යන්න සැක සහිතය.

ආණ්ඩුව දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන විට සැලසුම් කරන්නේද, ඉලක්ක තීරණය කරන්නේද ප්‍රගතිය විමසා බලන්නේද ඉලක්කම් මතය. ප්‍රාදේශීය වශයෙන් ඇති අවශ්‍යතා අනවශ්‍යතා දේ ගැන එහිදී සලකා බැලෙන්නේ නැත. ඇත්තෙන්ම එවැනි ගණනය කිරීමකට ඉඩක් නැත.

යාපනයේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාව මාතර ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතා වන්නේ නැත. කුරුණෑගලට, පුත්තලමට පොල් ප්‍රශ්නයක් නැතත් කොළඹට පොල් ප්‍රශ්නයකි. අනුරාධපුරයට, පොළොන්නරුවට සහල් ප්‍රශ්නයක් විය නොහැකි නමුත් නුවරඑළියට එය ප්‍රශ්නයක් විය හැකිය. මේ ආකාරයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට විෂම වන ප්‍රමුඛ අවශ්‍යතා ගැන හොඳින්ම දන්නේ එහි ජනතාවය. පළාත් පාලන ආයතන නියෝජනය කරන්නේ ඒ ජනතාවගේ නියෝජිතයන්ය. මේ අය ඒ ප්‍රදේශවලම අය නිසා තම තමන්ගේ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික මට්ටම්, සමාජ මටටම් ගැනද කාටත් වඩා හොඳින් අවබෝධයක් තිබේ.

ආණ්ඩුව දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන විට භාවිත කිරීමට සිදුවන්නේ නිලධාරි යාන්ත්‍රණයකි. එවිට එය හුදෙක් ඔවුන්ගේ සේවාවක් නොව රාජකාරියක් බවට පත්වනු ඇත. මෙවැනි යාන්ත්‍රණයක් සමග දුරස්ථ යාන්‍ත්‍රණයකින් මෙහෙයවන වැඩපිළිවෙළකදී අඩුපාඩු සිදුවීමේ සම්භාවිතාව ඉහළය. එසේම කේන්ද්‍රයට ඇති දුරස්ථභාවය හේතුවෙන් එම අඩුපාඩු නිවැරදි කිරීමේ යාන්ත්‍රණයද සංකීර්ණය. එවිට ආණ්ඩුවට සිදුවන්නේ “වැඩක් කර බැණුම්ද” ඇසීමටය.

බැසිල් රජපක්ෂ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට අදහස් කර තිබේදැයි අප දන්නේ නැත. අප යෝජනා කරන්නේ ඒ සඳහා හොඳම යාන්ත්‍රණය පළාත් පාලන ආයතන බවය. ඔවුන් විසින්ම සිතා බලා යමක් නොකරන තත්ත්වය තුළ ආණ්ඩුවේ වැඩපිළිවෙළට හෝ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගත යුතුය.

පළාත් පාලන ආයතන ආණ්ඩුවේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගත යුත්තේ ආණ්ඩුවේ සැලසුම ක්‍රියාත්මක කිරීමට නම් ඉන් පළක් නැත. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය යටතේ සෑම පළාත් පාලන ඡන්ද කොට්ඨාසයකටම නියෝජිතයකු සිටින බැවින් අත්‍යවශය භාණ්ඩ බෙදීමේ වැඩපිළිවෙළ ගම් මට්ටම දක්වාම විමධ්‍යගත කළ හැකිය. මෙම නියෝජිතයන් ලබාගන්නා තොරතුරුවලට අනුව එක් එක් ප්‍රදේශවල ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගැනීමත්, ඉන්පසු ඔවුන්ගේම මැදිහත් වීමෙන් භාණ්ඩ බෙදා හැරීමත් සිදු කළ හැකිය. ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින් වැනි රජයේ නිලධාරින්ද මේ වැඩපිළිවෙළට එක් කර ගත් විට එහි සාර්ථකත්වය ඉතා ඉහළ වනු ඇත.

බොහෝ දෙනකුගේ ආකල්පය වන්නේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් යනු පාලම්, බෝක්කු හදන්නට කොන්ත්‍රාත් ගන්නා තම පක්ෂයේ පෝස්ටර් ගහන්නට සිටින පිරිසක් බවය. මේ නිසා බොහෝ පළාත් පාලන මන්ත්‍රීවරුන් ද කල්පනා කරන්නේ මේ ආකාරයටමය. නමුත් මේ අවස්ථාවේ ඔවුන්ට වටිනා ජාතික වැඩසටහනක ප්‍රමුඛයන් බවට පත් කිරීමෙන් මේ ආකල්පය වෙනස් කිරීමටද හැකිවනු ඇත.