විශේෂාංග

ගම්මිරිස් ඇටේ ඡන්ද පොරොන්දුවට රිංගූ හැටි

හත් ගව්වක මුහුදක් නැති දුරබැහැර ප්‍රදේශයක වෙසෙන නෑයකුගෙ ගෙදරකට යන විට ඇඹුල් තියල් මාළු හට්ටියක් හදාගෙන යාම අපේ පැරැන්නන්ගේ සිරිතය. එම මාළු හට්ටිය ළිපේ තියද්දී ලුණු ගොරකා සේම ගම්මිරිස් වැඩියෙන් දමන්නේ දින තුන හතරක් මාළු නරක් නොවී තබා ගන්නට බව අපේ අත්තම්මලා කියන අයුරු පැටි වයසේදී අප අසා ඇත්තේය.

එසේ පැරැන්නෝ හදන මාළු ඇඹුල් තියල් දැන් මාතර කඩවල්වලින් දෙන මාළු ඇඹුල් තියලට කිට්ටු කරන්නටවත් බැරිය. ඒ, කඩවල හදන මාළු ඇඹුල් තියල්වලට යහමින් ගම්මිරිස් දමන්නේ නැති බැවිනි. මිරිස් මෙන් නොව ගම්මිරිස් මිල බව උයන පිහන කොයි කවුරුත් දනිති. එහෙත් ගම්මිරිස් කඩේ මිල වුවත් ඉන් ගම්මිරිස් වගාකරුවන්ට නම් වන සෙතක් නැත. එයට හේතුව වන්නේ මේ දිනවල ගම්මිරිස්වල මිල පහළ යෑමයි. එය කොතරම් ජාතික ප්‍රශ්නයක් වී ඇත්දැයි කිවහොත් ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ වේදිකාවලද ගම්මිරිස් ගැන කතා කෙරෙන්නේය. වෙනදා මැතිවරණ පොරොන්දු ලෙස ඔවුන් මහජනතාවට පොරොන්දු දුන්නේ අධ්‍යාපනය, සමාජීය, ආර්ථික සංවර්ධනය හා ජාතික ආරක්ෂාව ගැනය. එ්ත්, අද එසේ දෙන මැතිවරණ පොරොන්දු අතර ගම්මිරිස් ගොවියා ගැනත් කතා කරන්නේ තරගයටය.

මේ ආකාරයට ලාංකේය මුළුතැන්ගෙයි සිටි රසවතා වූත්, දේශපාලන වේදිකාවේ මාතෘකා මවන තැනැත්තා වූත් මේ ගම්මිරිස් ආසියාවේ හිතවතෙක් වූයේ බොහෝ කලකට පෙරය. ඉන් පසුව යුරෝපයෙන් ඇමරිකාවටත් ඇමරිකාවෙන් එක්සත් අරාබියටත් ගොස් ලොව පුරා ශ්‍රී ලාංකික නාමය රන් අකුරින් ලියවීමට එක හේතුවක් වූයේ ඒ පුංචි වුණත් හරිම සැරයි කියූ ලංකාවේ ගම්මිරිස් ඇටය නිසාය.

කෙසේ වෙතත්, මේ ලංකාවේ පුංචි හපනා දෙස අද ලෝකය බලන්නේ වපර ඇසිනි. ඒ කලින් ”මේඩ් ඉන් ශ්‍රී ලංකා” වී පසුව නමට පමණක් ”මේඩ් ඉන් ශ්‍රී ලංකා” වූ ගම්මිරිස් නිසාය. මේ වෙනස් වීමට අපේ ගැමි වහරේ නම් කියන්නේ නංගි පෙන්වා අක්කා දුන්නා වගේ යනුවෙනි. එනම්, ලෝකයේ බොහෝදෙනා නංගි යැයි දැන සිටියේ සුවඳින්, සැරෙන් හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ”මේඩ් ඉන් ශ්‍රී ලංකා” යනුවෙන් ලේබල් ගැසූ හෙළදිව ගම්මිරිස්ය. නමුත්, හොර පාරෙන් පැමිණ ලේබලයක් ගසා වෙළෙඳපොළ නමැති මනාලයාට ලබා දී ඇත්තේ සුවඳත්, සැරත් හා ගුණාත්මක තත්ත්වයක් නොමැති වියට්නාම ගම්මිරිස් නම් අක්කා ය.

එ්ත්, බොහෝදෙනාට මේ අක්කාගෙයි නංගිගෙයි අතර පැවති වෙනස වැටහුණේ සහේට ගත් පසුවයි. ලංකාවේ හොඳම ගම්මිරිස් ගැනුම්කරුවා වන්නේ ඉන්දියාවයි. ඔවුන් ගිය වසරේ පමණක් රුපියල් මිලියන 64,000ක් පමණ වටිනාකමකින් යුතු ගම්මිරිස් අපෙන් මිලදී ගෙන තිබුණි. එය ටොන් වශයෙන් ගත් කල මෙට්‍රික් ටොන් 13,118 කි. මෙතරම් ප්‍රමාණයක් අපෙන් ගම්මිරිස් ගන්නා හොඳම පාරිභෝගිකයාවත් නොමඟ හැරීමට මේ කූට වෙළෙන්දන්ට හැකිවිය.

නමුත්, වැඩි කලක් ඒ වැඩේ කරන්නට බැරිවිය. රසයේ හා සුවඳේ වෙනස හොඳ හැටි හඳුනන ඉන්දියානුවෝ මේ ගම්මිරිස්වල වෙනසත් සොයා ගත්තෝය. ඔවුන් මුලින්ම කළේ ලක් රජය දැනුවත් කිරීමයි. 2017 වසරේදීත් 2018 වසරේදීත් ලක් රජයට අවස්ථා කිහිපයකදීම ඉන්දියාව දැනුවත් කර ඇත්තේ, ලංකාවේ ගම්මිරිස්වල තිබූ ගුණාත්මක තත්ත්වයේ ඇති අඩුපාඩු සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි. නමුත්, එකල ලක් රජය සිටියේ බිහිරි අලින්ට වීනා වාදනය කරන්නාක් මෙන්ය.

කෙසේ වෙතත්, මේ මාෆියාව පිළිබඳව මුලින්ම ලෝකය දැනුවත් කළේ ‘‘හින්දුස්ථාන් ටයිම්ස්’’ පුවත් පතයි. ඔවුන් 2017 සැප්තැම්බර් 13 වනදා ලිපියක් පළකරමින් හෙළි කළේ ඉන්දියාව, ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ගම්මිරිස් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.
ඔවුන් සඳහන් කළ මාෆියාව පිළිබඳ  කල අපට දැනුමක් නොවිය. නමුත්, මේ නිසා වක්‍රාකාරයෙන් ලංකාවේ ගම්මිරිස් ගොවියා සේම ඉන්දියාවේ ගම්මිරිස් ගොවියා ද මුහුණ දී තිබුණේ එකම ගැටලුවකටය. එය නම් ගම්මිරිස් සඳහා වෙළෙඳපොලේ හොඳ මිලක් නොමැති වීමයි. මේ සඳහා හේතු කාරණා සොයා බැලූ අපට පෙනී ගියේ ඉන්දියානු පුවත්පත කියූ කාරණාව ඇත්ත බවය. එනම් ගම්මිරිස් වගා කරන දේශීය ගොවියා ඉල්ලන සාධාරණ මිලට වඩා අඩු මුදලකට වියට්නාමයෙන් බාල ගම්මිරිස් ගන්නා බවයි.

මේ සඳහා ලක් රජයේ ප්‍රබල ඇමැතිවරයකු හා ඔහුගේ සහෝදරයාගේ ඍජු සම්බන්ධයක් ඇති බව එකල මාධ්‍යවල පුන පුනා කියූ දෙයක් විය. සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නද අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳ රජය දැනුවත් කර තිබුණි. ඔහු දිගින් දිගටම රජයට කියා සිටියේ වියට්නාමයෙන් ආනයනය කරන ලද ගම්මිරිස් ලංකාවේ ගම්මිරිස් සමග මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීම වහාම නැවැත්විය යුතු බවයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකා නාමය යටතේ අපනයනය කරන ගම්මිරිස්වලට කුඩම්මාගේ සැලකිලිවලට භාජනය වීමට බව ඔහු කීවේය.

”ලෝකයේ ඉස්තරම්ම ගම්මිරිස් තියෙන්නේ අපට. වියට්නාමයේ ගම්මිරිස් ඇට හතරක් කන්න ඕනේ අපේ එක ගම්මිරිස් ඇටයක රස ගන්න. ඒ නිසා අපේ ගම්මිරිස්වලට හොඳ මිලක් වගේම හොඳ මාර්කට් එකකුත් තියනවා. එ්ත් මේ වියට්නාම ගම්මිරිස් එක්ක මුහු කරලා අපනයනය කරපු එකෙන් වුණේ අපේ හොඳ නම පළුදු වුණු එකයි.” නාමල් කරුණාරත්න කියන්නේ. ඔහු පවසන පරිදි වියට්නාමයෙන් අඩු මුදලකට බාල ගම්මිරිස් ගෙන්වා ඒවා ප්‍රතිඅපනයනය කර ඉන් විශාල ලාබ ගත් කණ්ඩායමක් සිටියි.

”ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතරේ තියෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුමක්. ඒ නිසා අපි ඉන්දියාවට යවන අපේ බඩුවලට ඔවුන් ගහන්නේ 4%ක් තරම් අඩු බදු මුදලක්. එ්ත් අනෙක් රටවල්වලින් ඔවුන් 110%ක් විතර අධික බදු මුදලක් අය කරනවා. ඒ නිසා වියට්නාමය හිතුවා අපේ නමින් යවනකොට ලැබෙන මිලේ වාසි යයි ගුණාත්මක තත්ත්වයේ වාසියයි කියන දෙකම ඔවුන්ට ගන්න. එ්කට ලංකාවේ හිටපු ප්‍රසිද්ධ ඇමැතිවරයකුයි ඔහුගේ සහෝදරයකුයි උදව් කළා. ඒ අය තමයි අද ගම්මිරිස් ගොවීන් මුහුණ දීලා තියෙන තත්ත්වයට ඍජුවම වගකියන්න ඕනේ.”

පසුගිය කාලේ ලෝක වෙළෙඳපොළේ ගම්මිරිස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 2000ක් පමණ මුදලකටය. නමුත්, වර්තමානයේ ගම්මිරිස් කිලෝවක් ලෝක වෙළඳපොළේ අලෙවි වන්නේ රුපියල් 600කටත් වඩා අඩු මුදලකටය. මේ ආකාරයට ගම්මිරිස් සඳහා ඇති මිල ගණන් අඩුවී ගම්මිරිස් ගොවියා නැත්තටම නැතිවූයේ වියට්නාමයේ ගම්මිරිස් නිසා බව නාමල් කරුණාරත්න පවසයි.

ලෝක වෙළෙඳපොළේ ගම්මිරිස් මිල මෙතරම් පහළ මට්ටමක පැවතීම නිසා ලංකාවේ ගම්මිරිස් මිලද ඇත්තේ ඉතාමත් පහළ මට්ටමකය. එනම් ගම්මිරිස් කිලෝවකට මිල අද පවතින්නේ රුපියල් 400ක් පමණ මිලකින්ය. මේ මිල නිසාම ගම්මිරිස් ගොවියන්ට තම පලදාව විකුණනවාට වඩා නිවසේ තියා ගැනීම සහනයක් බව මාතලේ දිස්ත්‍රික්කයේ  ගම්මිරිස් වගාකරන ගොවියකු වන ආනන්ද විජේකෝන් කියා සිටියි.

” ගිය අවුරුද්දේ මහා කන්නෙත් කපා ගත්තු ගම්මිරිස් කිලෝ 140ක් තවමත් අපේ ගෙදර තියෙනවා. ඒ වගේම මේ කන්නෙත් අපට කපන්න තියෙනවා ගිය කන්නෙටත් වඩා හොඳ අස්වැන්නක්. එ්ත්, මේ පාරත් අපට වෙන්නේ මේ අලුත් අස්වැන්නත් ගේ මුල්ලේ තියා ගෙන ඉන්න තමයි. නැතුව වෙන කරන්න කිසිම දෙයක් අපට ඉතුරු වෙලා නැහැ. අනික අපේ ගමේම කිලෝ 5000කටත් වඩා වැඩි අස්වැන්නක් ගෙවල් 200ට වඩා වැඩි ප්‍රමාණයක ගම්මිරිස් තියාගෙන ඉන්නවා නිසි මිලක් නැතුව. ඒ නිසා අපිට දැන් වෙලා තියෙන්නේ අපේ වතුවල වැඩ කරපු මිනිස්සුන්ට සල්ලි වෙනුවට ගම්මිරිස් දෙන්න. ”

අක්කර තුන හතරක භූමි භාගයක ගම්මිරිස් වගා කර ඇති ගොවියන්ට අද සිදුවී ඇත්තේ අතීතයේ තිබු භාණ්ඩ හුවාමරු ක්‍රමයට නැවතත් ගමන් කිරීමටයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ 60%ක් පමණ ජීවත් වන්නේ කෘෂි කර්මාන්තය තම ජීවිකාව කර ගෙනය. නමුත්, ගම්මිරිස් වියට්නාමයෙනුත්, ඉඟුරු හා කරාබුනැටි මැඩගස්කරයෙනුත්, කරුංකා ඉන්දුනිසියාවෙනුත් ගෙන්වීම නිසා දේශීය ගොවියාට සිදුවී ඇත්තේ සිඟා නොකා සිඟා කෑමටය. එ්ත් මෙසේ ගන්නා ආනයනයන් හොඳ තත්ත්වයක තිබේනම් ගැටලුවක් නැත. එහෙත් තත්ත්වයෙන් බාල මේ අමුද්‍රව්‍යන් නිසා රටට එන විදේශ විනිමය අහිමිවේයැයි සිතෙන බව ගාල්ලේ ගම්මිරිස් ගොවියකු වන කිත්සිරි දහනායක පවසයි.

”මේ මාසේ තමයි අපේ ගම්මිරිස් වගාව කිරි වැදෙන්නේ. එ්ත්, නිසි මිලක් නැති නිසා පලදාව නෙළනවා ද නැද්ද කියලා අපි ඉන්නේ හරිම බයෙන්. එ්ත් විදේශවල අපේ සුළු අපනයන විකුණුනේ ඩොලර් 2800ක් වගේ මුදලකට. නමුත්, ප්‍රතිඅපනයනය නිසා දැන් වෙලා තියෙන්නේ බිලියන තුනක පාඩුවක්. මේ නිසා ලෝකේ අනෙක් රටවල් අපට කියන්නේ නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක් කියලයි. ඒ නිසා කෘෂි කර්මාන්තය නගා සිටුවන්නේ නැතුව සරම ඇඳගෙන ඉන්න ගොවියාට කලිසම අඳින්න කිව්වට වැඩක් තියෙනවා ද? අපි මුලින්ම කරන්න ඕනේ ඔහුට සරම ගලවලා කලිසම අඳින විදිහ කියන එක නේද? ”
මේ කතාවල පවතින සත්‍ය අසත්‍ය පිළිබඳව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ඒ.පී.හේන්කේන්දගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ කලින් එසේ වුවත් දැන් වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වීම තහනම් කර ඇති බවයි. ඒ සඳහා මේ වසරේ දී කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ද ලබා දී ඇති බව ද අතිරේක අධ්‍යක්ෂවරයා පවසයි.

”ගිය වර්ෂයේ වියට්නාමයෙන් ගම්මිරිස් ආනයනය කරලා අපේ ගම්මිරිස් සමග මිශ්‍ර කරලා ඉන්දියාවට යවලා තියනවා. ඒක ප්‍රමාණයක් විදිහට කියනවා නම් මෙට්‍රික් ටොන් 3198ක්. ඒත්, මේ කිසිම දෙයක් වුණේ රජයේ නිසි අනුමැතියකින් තොරවයි. මේ පිළිබඳ දැනගත්තු ගමන් අපි කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කරපු එකයි. ඊට පස්සේ ඒගොල්ලෝ වරදකරුවන්ට නඩු පවරලා දඬුවම් දුන්නා. ඒ විතරක් නෙවෙයි මේ වසරේ කැබිනට් අනුමැතියක් මගිනුත් වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වීම සම්පුර්ණයෙන්ම තහනම් කළා.”

අතිරේක අධ්‍යක්ෂ ඒ.පී.හේන්කේන්ද පවසන්නේ ප්‍රධාන නිෂ්පාදනයක් වශයෙන් හෝ මෙරටට වියට්නාම් ගම්මිරිස් ගෙන්වන්නේ නැති තරම් බවයි. එය ශ්‍රී ලංකා රේගුවේ දත්තයන්ට අනුව වියට්නාමයෙන් 2018 වසරේ මෙට්‍රික් ටොන් 2611ක් ආනයනය කර ඇති නමුත් මෙවර සුළු නිෂ්පාදනයන් සඳහා ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 135ක් පමණක් බව ඔහු පවසයි.

නමුත්, ශ්‍රී ලංකා රේගුවේ දත්තයන්ට අනුව 2018 වසරේ දී අපනයනය සඳහා ඉන්දියාවට පමණක් මෙට්‍රික් ටොන් 5065ක් ගෙන තිබේ. එත්, 2019 වර්ෂයේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ඉන්දියාව අපෙන් ගම්මිරිස් ලබා ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 2379ක් තරම් අඩු ප්‍රමාණයකි. එය ඉන්දියාවට වෙනදා දෙන ගම්මිරිස්  90% ප්‍රතිශතයකටත් වඩා බොහෝ අඩු ප්‍රමාණයකි. එමෙන් ම, ජර්මනිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව හා පෝලන්තය යන රටවලටත් කලින් වසරේ අපනයනය කළ ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් මේ වසරේ දී අපනයනය කිරීමට වූ බව ශ්‍රී ලංකා රේගුවේ දත්තයන්ට අනුව පෙනී යයි.

ඒ නිසා මේ ගැටලුවට තවමත් විසඳුම් ලැබී නොමැති බවත් ඒ සඳහා තවමත් විසඳුම් සොයමින් සිටින බවත් ඒ මගින් පෙනී යයි.

හර්ෂණී දිසානායක