විශේෂාංග

ගණන්කාර කෙසෙල් ඇඳුම්

ඉස්සර අපි අවුරුද්දට ගමේ ගියේ පරණ අවුරුද්දට දිනක් හෝ දෙකක් තිබියදීය. ඒ යන විට ගමේ ඈයෝ අවුරුදු පිළිගන්නට ගජරාමෙට වැඩය. ඒ වැඩ අතරේ පුංචි අපටද සිත් ගන්නා සුලු රාජකාරියක් තිබිණ. එම රාජකාරිය නම් වළ දැමූ කෙසෙල් කැන්වලට දුම්පිබීමය. මෙය පුරුද්දට වාගේ කළත් අපි වඩාත් කැමැති ඉදුණු කෙසෙල් කන්නම නොව කෙසෙල් කොට වලින් පාරුවක් හදා වැවේ පදින්නටය.

​මේ කියන අවුරුද්දෙන් පසු උදාවන්නේ වෙසක් මාසයයි. එහිදී කෙසෙල් කදන් සිටුවා පහන් වැට දැල්වූ පසු තිබුණේ අමුතු සිරියාවකි. ඒ වාගේම කිරි ආත්තා අපට කෙහෙල් පතුරුවලින් තොප්පි බෝනික්කෝ හදා දුන්න මට මතකය. කෙහෙල් බඩ මාළුවද ඈ අතින් හැදුන රස වෑංජනයකි. මේවා හැරුණුකොට කෙසෙල් කඳෙන් වෙන යම් වානිජමය නිෂ්පාදනයක් කරන බවක් මා එදා අසා තිබුණේ නැත.

එහෙත් පසුගිය දෙසැම්බරයේ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා අපූරු තොරතුරක් හෙළි කළේය. ඒ, කෙසෙල් තන්තුවලින් නිෂ්පාදනය කළ රෙදිපිළි බෑග්, සපත්තු ඇතුළු අනෙකුත් නිෂ්පාදන රැසක් එළි දැක්වීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනි. ​

ස්ලීටා (SLITA) ආයතනය මෙම නිෂ්පාදන සම්බන්ධයෙන් මග පෙන්වීම කරනු ලබන ආයතනයයි. එම මගපෙන්වීම යටතේ අපූරුවට කෙසෙල් කෙඳිවලින් රෙදි තනන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති රත්මලාන පේෂකර්ම හා ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සාමාජික සාමාජිකාවන්ය.

කටවහරට අප ‘‘කෙසෙල් ගහ’‘ යැයි කීවද එය මීටර් දෙකක් පමණ උසින් යුතු පදුරකි. කෙසෙල් ගහට දැවමය කඳක් නැත. කැන වැටුන කෙසෙල් ගසේ ආයු කාලය අවසාන වන බව කවුරුත් දන්නා දෙයකි. එමෙන්ම කෙසෙල් කැන් නිසා දිලීර හා බැක්ටීරියා ආදිය ඉක්මනින් බෝවීමට ඉඩ ඇති ශාකයකි. මේ නිසාම මහා පරිමාණ වගාකරුවන් නම් කරන්නේ කැන් කැපූ සැණින් මුදල් ගෙවා කෙසෙල් කදන් සිය වතුවලින් ඉවත් කිරීමය. කෙසෙල් ලෝකයේ සිටුවන ප්‍රධාන කෘෂි භෝග වලින් එකකි. ලංකාවේ වාර්ෂිකව කෙසෙල් මෙට්‍රික් ටොන් 450,000ක් පමණ ඵලදාවක් ලැබේ. එක් හෙක්ටයාරයකට කෙසෙල් ගස් 825 බැගින් හෙක්ටයාර 53,000ක කෙසෙල් වගා භූමි දැකිය හැකිය. අස්වැන්න නෙළීමෙන් පසු කෙසෙල් ශාකයේ ඉතිරි සියලුම දෑ පරිසරයට එක්වන්නේ අපද්‍රව්‍ය ලෙසිනි.

‘‘කෙසෙල් කෙඳි විතරක් නිෂ්පාදනය කළොත් අවුරුද්දකට රුපියල් මිලියන පන්සීයක ආදායමක් ලබන්න අපට පුළුවන්. මේ කෙසෙල් කඳන් ඉවත නොදා ඒවායින් ඉහළ ආදායමක් ඉපැයිය හැකියි. අපි මේක පර් යේෂණ මට්ටමින් ආරම්භ කළේ 2016 වසරේ. දැනට යාපනය, ඇඹිලිපිටිය වගේ පැතිවල කෙසෙල් පට්ටාවලින් විසිතුරු තොප්පි, බෝනික්කො, බෑග්, සෙරෙප්පු වගේ දේවල් නිපදවනවා. අපි මේව ගැන ගොඩක් පර් යේෂණ කළා. අපිට මෙය අලුත් දෙයක් වුණාට ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි.’’ කෙසෙල් තන්තු භාවිතයෙන් රෙදි පිළි හා ඇඟලුම් නිෂ්පාදනය කිරී​මේ ව්‍යාපෘතිය හා කටයුතු කරන දැනට ඒ පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන ඒ.සී.එස්. අයි මුට්ටාස් පැවසුවාය.

කෙසෙල් රෙදි නිෂ්පාදනයේ පළවෙනි පියවර කෙසෙල් ගස දෙකට මැදින් පළා ගැනීමය. ඒ කාරිය කරන්නේ යන්ත්‍රයක් භාවිත කරමිනි. ඒ යන්ත්‍රය අපේ රටේ අපේම නිෂ්පාදනයකි. ඇත්තෙන්ම ‘‘කෙහෙල් රෙදි’’ හදන්නට භාවිත කරන යන්ත්‍ර ‘‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’’ වීම විශේෂයකි.

මෙහිදි කෙසෙල් කඳ දෙකට වෙන් කර ගැනීමෙන් පසු කෙසෙල් පට්ටා වෙන් කරගැනීම කළයුතුය. ඊළඟට යන්නේ තවත් යන්ත්‍රයකටය. ඒ එහි ඇති ජලය ඉවත් කිරීමටය. එමෙන්ම ඊළගට කෙඳි වෙන් කරගන්නටය. ඊළඟ පියවර වියළීමයි. ජලය නැතුව හොඳ හැටි වියළී ඇති කෙසෙල් කෙඳි පීරා ගැනීම අනතුරුව කළ යුතුය. එය කරන්නටත් සහායට එන්නේද යන්ත්‍ර රාජයෙකි. ඒ උදව්වෙන් කෙසෙල් කෙඳි පීරා සකස් කර ගැනීම පහසුය. අනතුරුව ඒවා යළි අතින් සැකසීම කළ යුතුය.

මෙහි ඊළඟ පියවර පේෂකර්ම නිෂ්පාදනයට සුදුසු කෙඳි ලබා ගැනීමයි. එම කෙඳි වේලා ගැනීම ඊළඟ පියවරය. අනතුරුව කරන්නේ එය කපු සමග මිශ්‍ර කිරීමයි. කපු හා කෙසෙල් කෙඳි මිශ්‍ර කර ඒවා නූල් කරගෙන එතීම ඊළඟ රාජකාරියයි. රසායනාගාර පරීක්ෂාවකට පසු මේ නූල් යන්නේ අත් යන්ත්‍ර ආධාරයෙන් රෙදි වියා සකස් කරන තැනටය.

ඇත්තෙන්ම කෙසෙල් නූල් ඇඟලුම් නොව කෙසෙල් තන්තු අපනයනය කිරීමෙන් වුව වසරකට රුපියල් මිලියන පන්සීයක් පමණ ලබා ගත හැකි ආයෝජනයකි. එහෙත් අපි එතැනින් නැවතිය යුතු නැත. ඒ, මේ වන විටත් තන්තුවලින් නොනැවතී ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන්නට ඇති හැකියාව නිසාය. එ​සේ නිපැයූ එක් කමිසයක් රුපියල් දසදහසක් වන අතර සාරියකට රුපියල් විසි දහසක පමණ මිලක් නියම වී ඇත. දැනට මේ කෙසෙල් ඇඟලුම්වල කෙසෙල් තන්තු ඇත්තේ සීයට විස්සකි. අනාගතයේදී එය සීයට සීයකින් නිෂ්පාදනය කිරීම SLITA ආයතනයේ අරමුණයි. මෙම ඇඟලුම් සොබාදහමට සමීප නිෂ්පාදනයක් බැවින් ගතටද සුවපහසුව නොඅඩුව ගෙනෙන්නක් බවට සැක නැත.

ලංකාවේ අපට කෙසෙල් ඇඟලුම් අලුත් වුවත් ලෝකයට එය අලුත් නැත. ලෝකයේ ලොකුම කෙසෙල් ඇඟලුම් නිෂ්පාදකයා වන්නේත් ලොව ලොකුම කෙසෙල් නිෂ්පාදකයා වන්නේත් ඉන්දියාවයි. චීනය හා පිලිපීනයද කෙසෙල් ඇඟලුම් නිෂ්පාදකයෝය. පිලිපීනයේ රාජ්‍ය සේවකයන්ට සතියකට එක් දවසක් කෙසෙල් ඇඟලුම් අනිවාර්ය කර ඇත.

කෙසෙල් නූලෙන් මහන ඇඳුම්වල වතගොත කියන්නට ස්ලීටා ආයතන​ෙය් මෙහෙයුම් අධ්‍යක්ෂ වසන්ත විජේරත්න මහතාද එක්විය.

‘‘අපිට කලින් විවිධ පිරිස් අන්නාසි, වල්ලපට්ට වගේ දේවල්වලින් ෆයිබර් නිෂ්පාදනය කරන්න උත්සාහ කළා. ඒත් ඒ කවුරුවත් නූල් නිෂ්පාදනය කරන්න සමත් වුණේ නෑ. අපි මේ ගැන අධ්‍යයනය කරද්දී අපි දැක්ක සමහර අය කෙසෙල් කදන් මඩේ දාලා ෆයිබර් ගන්නවා. ඒවයින් එක එක නිර්මාණ කරනවා. ඒත් මේක නූලක් විදිහට නිෂ්පාදනය කරන්න දියුණු තාක්ෂණයක් සොයා ගත්තා. අපි මේ ගැන අධ්‍යයනයක් කරලා ව්‍යාපෘති යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට බාර දුන්නා. ඒ අනුව ඔවුන් අපිට අවශ්‍ය පහසුකම් සපයා දුන්නා.’’

මේ රෙදිවලින් දැනට සීයට විස්සක් කෙසෙල් නූල් හා සීයට අසූවක් කපු.දවසක සීයට සීයක් කෙසෙල් ​කෙඳිවලින්ම රෙදි නිර්මාණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

මේ දැන් අපි කාර්යය කරගෙන යන්නේ පර් යේෂණ මට්ටමෙන්. ආයෝජකයන් ඉන්නව නම් අපිට මේක ව්‍යාපාර මට්ටමට දියුණු කරන්න පුළුවන්. ඒ වාගේම මේක ඉගෙන ගන්න කාටහරි ඕන නම් කණ්ඩායමක් විදියට ආවොත් අපි ඒ ගැනත් සලකා බලන්න සූදානම්.

ලෝකයේ අද ඉල්ලුම සොබාදහමට හිතකරදේය. ඒ ඉල්ලුම ධන නිධානයකි. අපතේ යවන මේ ධන නිධානය මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කිරීමට වගකිවයුතු අංශයන්හි අවධානය නොපමාව යොමු විය යුතුය.

මධුෂානි කොඩිතුවක්කු