News

කෝටි 2ක සහල් වටලයි

සත්ත්ව ආහාර නිෂ්පාදනයට ගබඩා කර තිබූ රුපියල් දෙකෝටි අටලක්ෂයක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 300ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ඒකල ප්‍රදේශයේදී ඊයේ (29 වැනිදා) සොයා ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමක දී මෙම සහල් තොගය සොයා ගෙන තිබේ.

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු කිසිදු සහල් වර්ගයක් සත්ත්ව ආහාර ලෙස භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ජුලි මස 23 වැනි දින ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. මෙම නීතිය උල්ලංඝනය කරමින් අදාළ ආයතනය මෙම මස මුල් සතියේ දී හම්බන්තොට ප්‍රදේශයෙන් මෙම සහල් තොගය ගෙනැවිත් ගබඩා කර ඇත. සොයා ගන්නා ලද සහල් තොගය මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම සහල් වැටලීමෙන් පසු එය නිරීක්ෂණය කිරීමට වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාද එම ස්ථානයට පැමිණියහ. එහි දී අදහස් දැක් වූ ඇමැතිවරයා කියා සිටියේ සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගම් විසින් දිගින් දිගටම සිදු කරන මෙවැනි ක්‍රියා මගින් පාරිභෝගික ජනතාව අසීරුතාවයට පත් වන බවයි. මෙම සත්ත්ව නිෂ්පාදන ආයතනය සතුව ඇති අනෙකුත් තොග හා භාවිත කරන ලද තොග සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසද මෙහි දී උපදෙස් ලබා දී තිබේ.

මෙම ස්ථානයේ තිබී මීට පෙර ද සහල් තොගයක් සොයාගත් අතර ඊට එරෙහිව නඩු පවරා රුපියල් 20000ක දඩ මුදලක් නියම කරන ලදී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ උපදෙස් මත විමර්ශන අධ්‍යක්ෂ අසේල බණ්ඩාරගේ මගපෙන්වීම මත ගම්පහ කාර්යාලයේ ප්‍රධානි ප්‍රදීප් කලුතරආරච්චි ඇතුළු කණ්ඩායම මෙම වැටලීම සිදු කර ඇත.

උදයජීව ඒකනායක