කතුවැකි

කෝච්චි ටිකට් සැමන් – පරිප්පු සහ ජනතාව

කොරෝනා ජය ගත හැක්කේ මහජන සහාය ලැබෙන අන්දමට බවට යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ. යුද හමුදාපතිවරයා ඉන් අදහස් කරන්නේ කොරෝනා අභියෝගය ජය ගැනීමට නම් සියලු දෙනාගේ සහාය උපරිම වශයෙන් ලැබිය යුතු බවය. මෙවැනි ආපදාවකදී අප සියලු දෙනාට කළ හැකි කුමක් හෝ කාර්යයක් තිබේ. ඒ කාර්යය ලොකු වුවත් පොඩි වුවත් ඒ සියල්ලට ඇත්තේ සමාන වටිනාකමකි.

සාමාන්‍ය ජනතාව වශයෙන් කළ හැකි ලොකුම දායකත්වය නම් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීමය. උදාවී ඇත්තේ අපගේ පුරුදු දෛනික කටයුතු ඒ ආකාරයෙන්ම කළ නොහැකි කාලයකි. මේ නිසා අප සැමටම දැන් කිසියම් කැප කිරීමක් මෙන්ම අවදානමක්ද දැරීමට සිදුව තිබේ.

කොරෝනා වසංගතය හමුවේ වැඩිම කැපවීමක් කරන්නේද අවදානමක් දරන්නේ සෞඛ්‍ය සේවකයන් හා හමුදා සාමාජිකයන්ය. කොරෝනා රෝගීන් සමග කටයුතු කළ යුදහමුදා සාමාජිකයන් කිහිප දෙනකුටම දැනටමත් කොරෝනා වෛරසය ශරීරගත වී ඇත.

වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශයේ කිසිවකුට රෝගය වැලඳී නැතත් ඔවුන් මෙම අවදානමෙන් මිදී නැත. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ හැරුණු විට තවත් බොහෝ රාජ්‍ය අංශ ගණනාවක සේවකයෝ විශාල කැප කිරීමක් කරමින් කොරෝනා සටනට ශක්තිය සපයමින් සිටිති.

එසේ වුවත් මේ අවස්ථාවේදීද තමන්ගේ කාලකණ්ණි වෘත්තීය සමිති අරමුණු ඉටු කර ගන්නට උත්සාහ දරන රාජ්‍ය සේවකයෝද සිටිති. කොරෝනා වෛරසය බෝවෙනු ඇතැයි කියා දුම්රියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නොහැකි බව දුම්රිය සේවකයන් පවසා තිබේ.

මේ නිසා දුම්රිය බලධාරීන්ට සිදුව ඇත්තේ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකර මගීන් ප්‍රවාහනය කිරීමටය. දැනටත් පණ අදිමින් සිටින දුම්රිය දෙපාර්තමේන්තුවට මේ නිසා කොතරම් නම් පාඩුවක් සිදුවනු ඇතිද?

අතින් පාඩු කරගෙන හෝ දුම්රිය සේවා පවත්වාගෙන යාමට සිදුව ඇත්තේ එය දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමක් වන නිසාය. තවත් අතකින් දුම්රිය යනු අත්‍යවශ්‍ය සේවාවකි. එහෙත් හැම විටෙකම මස් රාත්තලම ඉල්ලන කුහක වෘත්තීය සමිතිවලට ඒවා අදාළ නැත. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට බොහෝ හේතු තිබේ. එහි සේවකයන් කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රාජකාරි නොකිරීමද ඒවාට උඩගෙඩි දෙන හිඟන වෘත්තීය සමිතිද මෙම හේතු අතර තිබෙන්නේ ඉදිරියෙන්මය.

දුම්රිය වෘත්තීය සමිතිය කියන අන්දමට ඔවුන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කළ නොහැක්කේ මුදල් අතගෑමෙන් කොරෝනා බෝවිය හැකි යැයි යන බියය. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන සේවකයන්ට මේ තරම් අවදානමක් ඇත්නම් ලංගම බස් රථවල කොන්දොස්තර මහතුන්ට එමෙන් කිහිප ගුණයක අවදානමක් තිබේ.

එහෙත් දුම්රිය සේවකයන් මෙන් ඔවුන් රාජකාරිය කිරීම ප්‍රතික්ෂේප කර නැත. වැඩි දෙනකු නොදන්නා නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව පාර්සල් ප්‍රවාහනය අත් හිටුවූයේ මීටත් කලිනි. දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම කොරෝනා රෝගය බෝවීමට හේතුවක් වන්නේ කෙසේද?

අනෙක් අතට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් ප්‍රවාහනය කිරීම නිසා රෝගය බෝවීමේ අවදානමක් ඇත්නම් කළ යුත්තේ රාජකාරි අත්හිටුවීම නොව ඒ, අවදානමෙන් ගැලවී රාජකාරිය කරන ආකාරයක් සොයා ගැනීමය. ජාතික ආපදාවකදී පවා තම රාජකාරි වගකීමත්, ජාතික වගකීමත් නොතකන මෙවැනි අයට දිය හැකි දඬුවමක් අපේ දණ්ඩ නීති සංග්‍රහයේ නැත්නම් අලුතෙන් පනවා හෝ ක්‍රියාත්මක කළ යුතුය. එසේම ජාතික ආපදාවකදීවත් ජනතාවට සේවය සපයන්නට අපොහොසත් වන රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑමේ තේරුමක් තිබේද යන්නත් ආණ්ඩුව කල්පනා කළ යුතුය.

ආපදා තත්ත්වයකදී වේවා නොවේවා ආණ්ඩුවක් අපකීර්තියට පත් වන්නටත්, ජන ප්‍රසාදය නැතිවී යන්නටත් ප්‍රධාන හේතුවක් නම් මෙවැනි නිලධාරීන්ය. කොරෝනා වසංගතය හමුවේ ආණ්ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ ප්‍රමාද වන්නේද ජාතික අවශ්‍යතාව තේරුම් නොගෙන හෝ හිතාමතා එය නොතකා කටයුතු කරන නිලධාරීන් නිසාය.

පෙරේදා (17 වැනිදා) රාත්‍රියේ ජාතිය ඇමතූ ජනාධිපතිවරයා මේ අසීරු අවස්ථාවේ ජනතාවට ආර්ථික වශයෙන් සහනයක් වන තීන්දු තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කළේය. බැංකු ණය අයකිරීම මාස හයකට ප්‍රමාද කිරීම, ප්‍රාග්ධන ණය පොලිය අඩුකිරීම සැමන් හා පරිප්පු මිල අඩු කිරීම එම තීරණය.

මේ අතරින් බොහෝ දෙනකුට ඇසී තිබුණේ සැමන්, පරිප්පු මිල අඩු කිරීමේ තීරණය පමණකි. චිකන් හා සොසේජස් කන විලාසිතාවට කොළ කැඳ බොන ඇතමෙකු මේ තීරණයට සමච්චල් කළත් එය කොතරම් ඵලදායී තීරණයක්ද යන්න ඊයේ රටපුරා සතොස වෙළෙඳසල්වලදී දැක ගත හැකි විය.

එහෙත් ඇතැම් තැනකදී සැමන් හා පරිප්පු ගන්නට ගිය ජනතාවට සිදුවූයේ අඩු කළ මිලට නොව තිබූ මිලටම ඒවා මිලදී ගන්නටය. ජනාධිපතිවරයා තීරණය ගත්තත් එය රටටම ප්‍රකාශ කළත් එම තීරණය ක්‍රියාත්මක කරන්නට නිලධාරීන් සූදානම්ව නොසිටීම නිසාය. සැලසුම් කර ඉන් පසුව තීරණය ප්‍රකාශයට පත් කිරීම සුදුසුම ක්‍රියාමාර්ගය වුවත් ඇතැම් විටෙක එහි විලෝමය අනුගමනය කරන්නට සිදුවන අවස්ථාද තිබේ.

රාජ්‍ය නායකයා යමක් ප්‍රකාශ කරන විටෙක එහි බරපතළකම හා අවශ්‍යතාව තේරුම් ගැනීමට තරම් රජයේ සේවකයන්ට හැකියාවක් තිබිය යුතුය. රොබෝවරුන් මෙන් කියන දේ පමණක් කරන නිලධාරීන් සමග රටක් ගොඩනගන්නට සිතීම බොහෝ දුෂ්කර ව්‍යායාමයකි.

ජනාධිපතිවරයාගේ තීරණය අනුව සැමන් හා පරිප්පු අඩු මිලට දෙන්නට ඇතැම් සතොස ශාඛා සූදානම්ව නොසිටියත් ලොරි පිටින් කළු කඩයට විකුණන්නට නම් සැදී පැහැදී සිටි බව අපට වාර්තා වී තිබේ. මේ නිසා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය හෝ මේවා ගැනත් සොයනවානම් අගනේය.

මළමිනියෙන් හෝ තමන්ගේ මඩිය පුරවා ගන්නා කපුටන් වැනි අය සතොසේ පමණක් නොව හැම තැනකම සිටිති. සාමාන්‍ය මිලදී ගැනීම්වලදී රුපියල් දෙකයි සත හතළිහක් වන ආරක්ෂිත මුහුණු ආවරණ හදිසි මිලදී ගැනීම් යටතේ ටෙන්ඩර් කැඳවන විට රුපියල් 45ක් වන්නේ ඒ අනුවය. එසේම හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගන්නා විටත් වසරකට අවශ්‍ය තොගයට වසර හතරක තොග මිලදී ගන්නට යන්නේද එවැනි අයය.

කොරෝනා අර්බුදයෙන් ජය ගන්නට නම් මේ අභියෝගයන්ද ජය ගත යුතුය.