විශේෂාංග

කොළඹ 07 පොල් කඩනවා ​කොළඹ හතේ ඉහළටම යා හැකි රැකියාව

‘‘වරක් අරුණ ‘ලටපට’ තීරුවේ පළ වූ පුවතකින් කියැවුණේ පොල් කඩන්නකුගේ දිනක ආදායම රුපියල් හත්දහසකි. එයින් රුපියල් හයදහසක් බවය. ඔහු වියදම් කරන්නේ මත්පැන් පානයටය. තම බිරිඳ සමග මේ ගැන ආරවුලක් ඇතිකරගත් පොල්කඩන්නා අවසානයේ බිරිඳ සමග කෝච්චියට පැන දිවි නසා ගනී. ඒ ගමේ පොල් කඩන්නන් ගැනය. මේ ලිපියෙන් කියැවෙන්නේ කාගේත් අවධානයට ලක් නොවූ සුපිරි කොළඹ -7 පොල් කඩන්නන්ගේ ජීවිතය ගැනය.

කොළඹ 07 කියූ සැණින් අපේ මතකයට එන්නේ මෙරට උසස් පැලැන්තිය ජීවත්වන ප්‍රදේශයක් බවය. කොළඹ හතේ උදවියගේ සුපිරි ජීවිතය ගැන කුමාර කරුණාරත්නගේ ‘‘කොළඹ හත’’ නමින් නව කතාවක්ද ඇත. ඒත් මේ කියන්නට යන්නේ කොළඹ හතේ සුපිරි උදවිය ගැන නම් නොවේ. තම ස්වෝත්සාහයෙන් අතපයේ හයියෙන් කොළඹ හතේ ඉහළම තැනට යා හැකි රැකියාව කරන්නන් සොයා අප ගිය ගමන මෙසේ සටහන් කරමු.

ගිරිගෝරිස් පාර නොහොත් ග්‍රෙගරිස් පාරෙන් මේට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට යන විට පුද්ගලයකු ස්මාට් දුරකථනයකින් තැනක් සොයනු අපට දැකගත හැකිවිය. හොඳට ඇඳසිටි ඔහුගේ කරේ එල්ලාගෙන සිටි කුඩා ට්‍රැවලින් බෑග් එකින් මන්නයක් සහ ආනයනික නැව් ලණුවෙන් සෑදූ වළල්ලක් යන්තම් එළියට පැන තිබුණි. අපේ උත්සාහය සාර්ථකය. මේ අප සොයන පුද්ගලයෙකි.

‘‘අයියා පොල් කඩන කෙනෙක්ද?’’
‘‘ඔව්.. ඔව්… මං මේ මට එන්න කියපු තැන ගූගල් සර්ච් එකේ හොයනවා. කොහෙද පොල් කඩන්න තියෙන්නේ.’’

‘‘විජේරාම මාවතේ…’’
‘‘අයියෝ මල්ලි ඒක වෙන සෙක්ෂන් එකක්. ඒකට වෙන කෙනෙක් ඉන්නවා. එයාට කියන්න. අලුතෙන්ද පදිංචියට ආවේ.’’
‘‘නෑ… නෑ… අපි ඔෆිස් එකක්.’’

‘‘මහත්තයා කියන ඔය ඉඩමේ පොල්ගස් නැහැනේ. අල්ලපු ඉඩමේ හේමා මැඩම්ගේ (හේමා ප්‍රේමදාස) තැඹිලි ගස් තුනක් තියෙනවා. එකකට හෙන ගැහුවා. මහත්තයා ඔය කියන්නේ ලින්ටාස් එක තිබ්බ තැන. ස්විමින් ෆූල් එකට නම් තැඹිලි ගහ නැමිලා තියෙනවා. අල්ලපු ඉඩමේ නම් පොල්ගස් ගාණක් තියෙනවා. ඉස්සරහ ගෙදරත් පොල්ගස් තියෙනවා.’’

‘‘පොල් කඩන්නා කටපාඩම් කළා වැනි විස්තරයක් කියාගෙන කියාගෙන යන්නට විය. මේ පොල් කඩන්නකු නම් වන්නට බැරි බව තේරුම්ගත් අප ඔහුට ඇත්තම කියා කොළඹ 07 ඔහුගේ ඉහළට යන රැකියාවේ විස්තර ගැන ඇසීමු. විස්තර ලබා දීමට කොන්දේසි තුනක් ඔහු ඉදිරිපත් කළේ ය. පත්තරේ නම පළ නොකිරීම, පින්තූර නොගැනීම, සහ තමන් දැන් භාරගත් පොල් කඩන වැඩේ ඉවරවනතුරු සිගරට් 2 ක් ගෙන ඒම, එම කොන්දේසි තුනය.

කොළඹ හත ගැන මේ පුද්ගලයාට තිබුණේ පුදුම දැනුමකි. ඔහු මීට පෙර රැකියාව කර තිබුණේ ‘කූරියර් සර්විස්’ එකක් නොහොත් භාණ්ඩ එහා මෙහා ගෙනයන කොම්පැනියකය. ඔහුගේ ගම පොල්වලට නම් දරපු කුරුණෑගලය. ඔහු පවසන්නේ තමන් කුරියර් සර්විස් එකේ වැඩවලට කොළඹ හත පුරා යන විට දුටු පොල්ගස් දැක මවිතයට පත් වූ බවය.

‘‘මං මේ හැම ගේකටම වගේ ගිහින් තියෙනවා. සමහර ඉඩම් අක්කරේ විතර ඒවා. තැඹිලි, පොල් හොඳට තියෙන ඉඩම් තියෙනවා. මාව කම්පැනියෙන් ඉන්ටඩික්කළා. ඉතින් මේ පැත්තේ දන්න අයගෙන් කීය කීය හරි ඉල්ලගෙන හිටියා. දවසක් මහත්තයෙක් ඇහුවා පොල් ටික කඩල දෙන්න පුළුවන්ද කියලා. කුරුණෑගල අපිට ඕවා සුළු වැඩ. මහත්තයා මට හිතාගන්න බැරි ගාණක් දීලා, ගෙදර ඉතුරුවෙලා තිබ්බ විස්කි කොට කෑල්ලකුත් දුන්නා. තමුසේ කැමැති නම් මේ අහල පහල අපේ හිතවතුන් ඉන්නවා පොල් කඩගාන්න බැරි’ කියලා මාව දෙතුන් දෙනකුට හඳුන්වලා දුන්නා. එදා ඉඳන් මං පොල් කඩනවා. කිසිම තරගකාරයෙක් නැහැ. ගහකට හාරසීයයි. ගහ සුද්ද කරන්න දෙසීය පනහයි. තැඹිලි නම් බාන්නේ වලු ගාණට.’’

ඔහු කියන පරිදි ඔහු කොළඹ පොල් කඩන ගෙවල්වල පොල්ගස් 400 කට වඩා තිබේ. තඩි ගේට්ටු දමා තිබෙන බැවින් ඒවා පාරට පෙනෙන්නේ නැත. මේ විධායක ශ්‍රේණියේ පොල් කඩන්නා සමග කතාබස් කිරීමේදී අපට පෙනී ගියේ පොල් කැඩීම ද දැන් ඩිජිටල්කරණය වී ඇති බවය.

‘‘සමහර මැඩම්ලා පොල් කඩන්න එන්න කියලා ඊමේල් එකක් එවනවා. සමහර අය එස්.එම්.එස්. එකක් එවනවා.’’

දින කිහිපයක් කොළඹ 07 කරක් ගැසූ විට තවත් පොල් කඩන්නන් දෙදෙනකු සොයා ගැනීමට අපට හැකි විය. ඔවුන්ගේ ඡායාරූප ගැනීමට ඔවුන් කීයටවත් ඉඩ දුන්නේ නැත. ඉන් එක් අයකු හිටපු කමාන්ඩෝ භටයකි. වයස 42 දී සේවයෙන් ඉවත් වී ඇත. මේ ප්‍රදේශයේ ප්‍රභූවරයකුගේ ආරක්ෂාවට සිට ඇති ඔහු මේ ප්‍රදේශයේ භූගෝලීය පසුබිම ගැන හොඳ ඉවක් ඇති පුද්ගලයෙකි.

‘මං ගාඩ් එකේ හිටපු දේශපාලනඥයා ගෙදර පොල් කඩන්න කාටවත් දෙන්නෑ. එයා තදින්ම විශ්වාස කළා පොල් කඩන අය අතර එල්ටීටීඊ ඔත්තුකාරයෝ ඉන්න බව. මොකද පොල්ගහකට නැග්ගම මුළු වටේම ගෙවල් ගැන දැනගන්න පුළුවන්. මං මේ ජොබ් එක ෆුල් ටයිම් නෙමෙයි කරන්නේ. මට පෙන්ෂන් එකක් තියෙනවා. සිකුයුරිටි ජොබ් එකකුත් කරනවා. ආමි අයිඩෙන්ටිය තියෙන නිසා ඕනෑ ප්‍රභූ ගෙදරකට බය නැතිව යන්න පුළුවන්.’’

. ඔහු කියා හිටියේ කදිරගාමර් ඝාතනයට එල්ටීටීඊයට ඔත්තු සැපයූවේ පොල්කඩන පුද්ගලයකු ලෙස වෙස් වලාගත් අයකු බව තමන් ආරක්ෂාව සැපයූ දේශපාලනඥයා නිතරම කියූ බවය.
විදේශ ගතව සිටන මේ කොළඹ හතේ පදිංචිකරුවන්ගේ නිවෙස්වල පොල් කඩන හැටි ගැන අපට දැනගත හැකි වූයේ අපූරු කතාවකි.

‘‘රට ඉන්න මහත්තුරු කතා කරලා එකවුන්ට් එකට සල්ලි දානවා. ඒ ගෙදෙට්ට ගියාම සිකුයුරිටි ගේට්ටුව ඇරලා දෙනවා. පොල් කඩලා ඉවර වෙනකම්ම මහත්තයා සීසීටීවී කැමරාවලින් මාව නිරීක්ෂණය කරනවා. එක පොල් ගෙඩියක් ගෙනියන්න දෙන්නේ නැහැ. හැබැයි එතන නම් තියෙන්නේ කුම්මැහිකමක් නෙවෙයි. කොළඹ හත කිව්වට මේ සමහර ගෙවල්වල පොල්, තල්, කිතුල් තුනම ගස් තියෙන තැන් තියෙනවා. හැබැයි කිතුල්, තල් මදිනවා නම් අපි දැකලා නෑ. ඇයි ඔය මහත්තයාලගේ අරුණ ඔෆිස් එක ඉස්සරහත් කිතුල් ගහක් තියෙන්නේ.’’

මේ පොල් කඩන්නන් කියන පරිදි තමන්ට පොල් කඩන්නට වඩා ආදායම් ගත හැකි මාර්ගද ඇත. මැඩම් කෙනකුගේ නැතිවූ බල්ලකු සොයාදීම, දුවපු නැති හොඳ තත්ත්වයේ වාහන සොයාදීම, අනියම් සබඳතා ඇති අය අතර භාණ්ඩ හුවමාරුව යන කොයි එකටත් වඩා ආදායමක් ලබා ගත හැක්කේ වාහන සීසර්ලාගෙනි. ෆිනෑන්ස් ඇරියස් වුණ වාහන කොළඹ හතේ නිවෙසක හැංගුවොත් මලාට සොයාගත නොහැකි බව මේ පොල් කඩන්නන් කියයි. ‘සීසර්ලා ඇවිල්ලා සල්ලි දික්කරනවා මේ නොම්මරේ තියෙන වාහනේ තියෙන තැනක් පුළුවන් නම් හොයලා දියන් කියලා.’’

පොල් කඩන්නන්ගෙන් මේ පළාතේ උදවියගේ ගති පැවතුම් ගැන අසන්නටද අප අමතක කළේ නැත.
‘‘මහත්තයෝ මේ පැත්තේ මහා ව්‍යාපාර කරන කෝටිපතින් ඉන්නවා. සමහරුන්ට මේ දේපළ උරුමෙන් ආපුවා. සමහර කවිච්චිය තියෙන පරණ ගෙවල් තියෙනවා නිකං ගමේ වගේ. සමහර කෝටිපති බයට හරියට කන්නේ නැහැ. කඩෙන් සීනි ටිකකුයි, රුපියල් 15 මාගරින් එකකුයි ගෙනල්ලා පාන් කනවා. අමු කුණාලා. සමහර සර්ලා මැඩම්ලා ඉන්නවා හොඳට කන බොන. අපිටත් ගියාම අපරාදෙ කියන්න බෑ බඩ පැලෙන්න කන්න දෙනවා.’’

මේ පොල් කඩන අය අපට කිව්වේ තමන් පොල් කඩන බව තමන්ගේ නිවෙස්වල උදවිය නොදන්නා බවය. අලුතෙන් වෘත්තියට පිවිසි පොල් කඩන්නකු අප සමග කිව්වේ තමන් පොල්ගස් ඇති තැන් මුල් කාලේ සොයාගත්තේ ගූගල් සර්ච් කිරීමෙන් බවය.

පසුගිය පාස්කු දා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පොල් කඩන්නනන්ට හානියක් වූයේ දැයි සොයන්නට අප ඔවුන්ගේ ජංගම දුරකථනවලට කතා කරන්න අමතක කළේ නැත. බොහෝ පොල් කඩන්නන් පැවසුවේ සිංහල අවුරුද්දෙන් පසු තමන් සේවයට නොපැමිණි බවය. අවුරුද්දට පෙර පොල් කැඩූ බංගලාවලින් සරං බැනියම් සමග ගනුදෙනුවක්ද අතට ලැබුණු බව ඇතැම් පොල් කඩන්නන් කිව්වේ ස්තුති පූර්වකවය. තවත් පොල් කඩන්නකු අවුරුද්දට පෙර කොළඹ හතේ නිවසක පොල් කඩන්නට ගොස් සිදු වූ සිදුවීමක් පැහැදිලි කළේ මෙසේ ය.

‘‘ඒ ගෙදර අවුරුද්දට නෝනලා බබාලා ඔක්කෝම ඔස්ට්‍රේලියා ගිහින්. මහත්තයා විතරයි හිටියේ. පොල් කඩන්න ඉස්සෙල්ල පොඩි ෂොට් එකක් දාගනින් කිව්වා, මේ මල පාන්දර පොඩ්ඩක් දාලා පටන් ගත්ත ෂොට් දැමිල්ල ඉවර වෙනකොට හවස 6 පහුවෙලා, කරුවලත් වැටිලා.’’
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අපට තවත් පොල් කඩන්නකු කිව්වේ මෙවන් කතාවකි.

‘‘මගේ ගෙවල් මාලිගාවත්ත සිද්ධාර්ථ මාවතේ. හැම ඉරිදාම කොච්චිකඩේ පල්ලි යනවා. ඔය පැත්තේ හැමදාම මම පොල්කඩන මහත්තයෙක් උදේ ගෙදර ආවා. කොහොම හරි අද නම් පොල් ටික කඩාගන්න ඕන කිව්වා. කොච්චිකඩේ පල්ලියට ගිහිං යං කියලා. ඉස්සර හෙට්ටියාවත්ත පාරේ කොච්චිකඩේ පල්ලියට හැරෙන පාර ගාව දෙමළ පිචැර් හෝල් දෙකක් තිබ්බා. එතැන ඉඳන් කොච්චිකඩේ පල්ලියට මීටර් 500 ක් වත් නෑ. ත්‍රීවීල් එකක් ඇවිල්ලා එකපාරටම පිටිපස්සෙන් හැප්පුවා. මහත්තයා මිනිහත් එක්ක මරාගන්න ගියා. අලුත්ම වාහනේ නිසා. ගෝරිය විනාඩි 15 ක් විතර ගියා. ඩෝං ගාලා සද්දයක් ආවා. මුළු පළාතම දෙදරුවා. ත්‍රීවීල් එක ඇවිල්ලා හැපුණේ නැත්නම් අපි දෙන්නම ඒ වෙලේ පල්ලියේ. පස්සේ මහත්තයා ත්‍රීවීල්කාරයට ස්තුති කළා මරණයෙන් බේරපු එක ගැන…’’

මෙසේ කොළඹ හත ගැන විස්තර අහන විට මේ ප්‍රදේශයේ අයිඑස්අයිඑස්කාරයන් නැතිදැයි අප අසා සිටියෙමු.

‘‘අයිඑස්එයිඑස්. කාරයෝ නම් නෙවෙයි, දැනට අවුරුදු ගාණකට ඉස්සෙල්ලා කොටි නං හිටියා. ඒ කාලේ සත්තු වත්තේ කොටි පැටව් ගෙවල්වල හදන්න දුන්න කාලයක් තිබ්බා. නීති ගොඩක් දාලා ගේ වටේ තාප්පේ අඩි 12 ක් ගහන්න ඕනේ. කොටි පැටව් පොඩි කාලේ තමයි ඇතිකරන්න දුන්නේ. ඌට මස් දෙන්න, බලාගන්න පවුලක් නඩත්තු කරන සල්ලි යනවා. සත්තුවත්තේ පශු වෛද්‍ය වගේ කෙනෙක් සතියකට වරක් පරීක්ෂාවට එනවා. මාස ගාණ ඉවර වුණාම සත්තු වත්තෙම වාහනයක් ඇවිල්ලා කොටි පැටියා ගෙනියනවා. සමහරු ඊට පස්සේ තව කොටි පැටියෙක් ගෙන්න ගන්නවා.

මේ ​බොහෝ දෙනා කියන්නේ කොළඹ හතේ පොල් පමණක් නොව, මාදං, වෙරළු, ජම්බු, පේර, අඹ, රඹුටන් මෙන්ම තල්ගස් හා කිතුල් ගස්ද ඇති බවය.

විදේශිකයන් සිටින ගෙවල් ගැනද මේ පොල් කඩන්නන් ළඟ ඇත්තේ අමුතු අත්දැකීම්ය. එක් පොල් කඩන්නකු පැවසුවේ තමන් දිනක් එක් විදේශිකයකුගේ ගෙදර පොල්කඩන්නට ගේට්ටුවෙන් ඇතුළුවන විට එම සුද්දා ඇසූ ප්‍රශ්නයෙන් අන්දමන්ද වූ බවය. සුද්දා අසා ඇත්තේ පොල්කඩන්නාගේ කාරය ඇතුළට ගන්නවාදැයි යන ප්‍රශ්නයයි. එම සුද්දා පවසා ඇත්තේ තමන්ගේ රටේ හැමෝටම ගස්වලට නැගිය නොහැකි අතර ගස් නැගීම අත්අඩංගුවට ගත හැකි සිවිල් වරදක් බවය.

මේ පොල් කඩන ගෙවල්වල උදවියත් එක්ක ආරවුල් එහෙම ඇති කරගෙන නැත්දැයි අසන්නටද අප අමතක කළේ නැත.

‘‘පොල් කඩල ඉවර වුණාම එක මහත්තයෙක් පර්ස් එක පෙන්නලා කිව්වා සල්ලි නෑ පස්සේ එන්න කියලා. මොකෝ මුළු සබ්බ සේසතම ඔය පර්ස් එකේ තියාගන්නවැයි. මං එදා අතේ සතේ නැතිව හිටියේ. අන්තිමට මාව බැණලා එලවගත්තා. මම මෑන්ට මතක හිටිය පාඩමක් ඉගැන්නුවා. පොල්ගහ උඩ ඉන්නකොට දැක්කා ඒ මහත්තයා තාරකා​ ඉබ්බෝ තුන් දෙනෙක් අැතිකරනවා. මම කෙළින්ම පොලිසියට කෝල් කරලා කිව්වා. විනාඩි ගානෙන් පොලිසියෙන් ඇවිල්ලා තාරකා ඉබ්බොත් එක්ක මහත්තයා අත්අඩංගුවට ගත්තා. උසාවියේදී එක තාරකා ඉබ්බාට රුපියල් 30,000 ගානේ දඩ ගැහුවා.’’ ඔහු කීවේ වීර වික්‍රමාන්විත ලෙසය.

ඇත්තටම කොළඹ හතේ උසම පොල් ගහට නැග්ගම පේන්නේ මොනවාදැයි අප එක් පොල්කඩන්නකුගෙන් ඇසුවෙමු.

‘‘දැන්නම් ලස්සනට පේන්නේ නෙළුම් කුලුන, පෝට්සිටිය කෙළවරටම පේනවා. මේ පැත්තෙන් මීදුම නොතිබුණොත් බත්තරමුල්ලටත් එහා පේනවා. හරිම ලස්සනයි. කොළඹ වුණාට මේ කොළඹ හතේ තාමත් හොඳට ගහකොළ තියෙනවා. මං එක දවසක් පොල් ගහකට නැග්ගම දැක්ක එක ගේක උඩ තට්ටුවේ ලොකු බැරල් එකක අඩි හය හතක ගහක්. ඒක ගංජා බව මට නම් හොඳටම ෂුවර්.

කෝටි ගණන් හොරකම් කළ බැඳුම්කර හොරුත් එළියේ. පොත් ගන්නට පොල් ගෙඩි 3 ක් හොරකම් කළ පාසල් සිසුවකු රිමාන්ඩ් යැයි පසුගිය කාලේ වාර්තා පළ විය. මේ කොළඹ හතෙන් පොල් හොරකම් ගැන පැමිණිලි ලැබී ඇත්දැයි අප විමසා සිටියේ කුරුඳුවත්ත පොලිසියෙනි.

අපේ ප්‍රශ්නයෙන් ගැන කුරුඳුවත්ත පොලිසියේ නිලධාරියා අන්දමන්ද විය. මේ කොළඹ හතේ මොන පොල් හොරුදැයි’ ඔහු අපෙන් විමසා සිටියේ සිටියේය.

‘‘මේ හැම ගේකම සීසීටීවී කැමරා තියෙනවා. ගොඩක් ගෙවල්වලට ලයිසන් තුවක්කු තියෙනවා. ගහ උඩට ගිහින් පොල් කැඩුවට බිමට බහින්න එපැයෑ. බහිනකොට වෙඩි කන්න වෙන්නේ. ඔය වහල වගේ පෙනුණට ඔය ගෙවල්වල විශාල පිරිසක් ඉන්නවා. සේවකයන්ට වෙනම උයනවා. ඔය පාරට බරවෙච්චි ගෙඩියක් උස්සන් ගියාට පොල් ගෙඩියකට පොලිසියේ එන්න තරම් අහේනියක් මේ අයට නෑ. ඔය ගෙදරක දවසකට පොල්ගෙඩි 5 ක්වත් උයන්න ගන්නවා. ඔය තියෙන පොලුත් මදි.’’

කොළඹ හතේ පොල් ගැන හොයන්නට ගිය අපට අවසානයේ හොයාගත හැකි වූයේ ඔවැනි අත්දැකීම්ය. කාගේත් ඇසට ලක් නොවූ කොළඹ 07 පොල් ගැන ලිපිය අවසන් කරන්නේ කාගේත් අවධානයට ලක් නොවූ මෙවැනි තවත් මාතෘකාවක් ගැන සිතිවිල්ලක් තබා ගනිමිනි.

වජිර ලියනගේ