විශේෂාංග

කොළඹ හුස්ම හිරවෙයි

මේ දිනවල පාන්දර කොළඹ, නුවරඑළිය මෙනි. ඒත් ඒ සීතල නිසා නම් නොවේ. මීදුමාරය නිසා ය. වැල්ලවත්තේ සිට ගාලු මුවදොර දක්වා ගාලු පාරේත්, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීදිය, නාරාහේන්පිට, බොරැල්ල ආදී ප්‍රදේශවලත්, නුවර පාරේ පෑලියගොඩ දක්වාත් යන එන අය මාස දෙක තුනක් තිස්සේ ම මෙකී මීදුමාරය දකී. එහෙත් එය සාමාන්‍ය මීදුමාරයක් නොව, දූවිලි අංශුවලින් තැනුණු, ශරීර සෞඛ්‍යයටද ඉතාම අහිතකර මීදුමාරයක් බව බොහෝ අය නොදනී.

හිමිදිරි පාන්දර පාසල් යන ළමුන්ද, වැඩ රාජකාරිවලට යන වැඩිහිටියන්ද යන සියල්ලන්ම මෙකී දූවිලි දුමාරයෙන් එක ලෙසින්ම පීඩාවට පත්වේ. ඇතැමෙකුට මේ දිනවල කැස්ස හෙම්බිරිස්සාව සෑදී ඇත්තේද මේ නිසා ය. අඳින ඇඳුම් සෝදන වතුර කළු – දුඹුරු පැහැ ගන්නේද මේ නිසා ය. ඇතැමුන් පවසන පරිදි හිස කෙස්වල පවා ‘දූවිලි ගතිය’ ඇත.

මේ ආකාරයට කොළඹ නගරයද ක්‍රම ක්‍රමයෙන් ඉන්දියාවේ ‘දිල්ලියේ තත්ත්වය’ට, පකිස්තානයේ ‘රාවල්පිණ්ඩියේ තත්ත්වය’ට හෝ උගන්ඩාවේ ‘කම්පාලාහි තත්ත්වය’ට ළඟාවෙමින් තිබෙන බව පෙනේ. ඉන් අදහස් වන්නේ කොළඹ නගරයද ක්‍රම ක්‍රමයෙන් ‘දූවිලි පිරුණු නගරයක්’ බවට පත්වෙමින් තිබෙන බව ය.

‘‘මේ කියන අධික දූවිලි තත්ත්වය කොළඹදී දැකගන්න පුළුවන් වුණේ ඉතාම මෑතක… මීට අවුරුද්දකට විතර කලිනුත් දූවිලි තත්ත්වය ටිකක් වැඩිවෙලා තිබුණා… නමුත් පහුගිය නොවැම්බර් ඉඳන් කොළඹ වායුගෝලයේ දූවිලි මට්ටම ඉහළ බව නිරීක්ෂණය වුණා… පහුගිය නොවැම්බර්, දෙසැම්බර් මාසවලත්, මේ මාසෙ, ඒ කියන්නෙ ජනවාරි මාසෙත් කොළඹ වායුගෝලයේ දූවිල්ල වැඩියි…’’ එසේ පවසන්නේ ජාතික ගොඩනැගිලි පර් යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච්.ඩී.එස්. ප්‍රේමසිරිය.

මෙම වැඩිවීම කොතෙක්ද යත්, මේ දිනවල කොළඹ අවට වායුගෝලයේ තිබෙන දූවිල්ල වෙනදාට වඩා දෙගුණයකටත් වඩා වැඩි ය.

‘‘සාමාන්‍යයෙන් කොළඹ අවට වායුගෝලයේ එක් ඝන මීටරයක දූවිලි අංශු මයික්‍රෝන 50 ක් විතර තියෙනවා… නමුත් පහුගිය කාලෙ දවල්ට මේ අගය මයික්‍රෝන 100ටත් වඩා ඉහළ ගියා… ඒ වගේම රාත්‍රි කාලෙදි මේ අගය මයික්‍රෝන 160ත් 220ත් අතර ගණනකට වැඩි වුණා… ‘වායු තත්ත්ව දර්ශකය’ට සාපේක්ෂව ගත්තොත් මෙම තත්ත්වය ‘සෞඛ්‍ය ආරක්ෂිත නොවන තත්ත්වයක්’ හැටියට සලකන්න පුළුවන්… ඒ කියන්නෙ මෙම වායුගෝලයට නිරාවරණය වන පුද්ගලයින්ට ශ්වසන ආබාධ හටගන්න පුළුවන්… එම ආබාධ කැස්ස හෙම්බිරිස්සාවේ පටන් ඇදුම දක්වා උත්සන්න වූ රෝග තත්ත්වයන් වෙන්නත් පුළුවන්…’’

තත්ත්වය මෙතරම් ම දරුණු නම්, කොළඹ ජීවත්වන අප මුඛවාඩම් බැඳිය යුත්තේ, ‘කොරෝනා’ වලින් බේරීමට නොව අප අවට වායුගෝලයේ තිබෙන ‘දූවිල්ලෙන්’ බේරීමට ය.

මේ දූවිල්ලෙන් කොටසක තිබෙන්නේ මයික්‍රෝන 100ට වඩා අඩු සම්පූර්ණ අංශුමය ද්‍රව්‍යයි. ‘අවලම්බිත අංශු’ යනුවෙන් ද හැඳින්වෙන මෙම දූවිලි කොටස් වායුගෝලයට වැඩි වශයෙන් මුදාහැරෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් ආශ්‍රිතව ය. විශේෂයෙන් ම නගරය තුළ ඉදිකෙරෙන තවත් නගරයක් වන ‘පෝට් සිටි’ය ද දිනපතා ම කොළඹ නගරයේ වායුගෝලයට විශාල දූවිලි කන්දරාවක් එකතු කරන බව ‘බැලූ බැල්මටම’ පෙනේ. දවසේ ඕනෑම කාලයක දී ගල්කිස්සේ සිට බැලුවත් ‘පෝට් සිටි’ය දැකගත හැකිවන්නේ විශාල මීදුමාරයකින් වැසීගිය යකඩ පයිප්ප පදාසයක් හැටියට යි. මීට අමතරව කොළඹ නගරයේ තැන් තැන්වල අහස උසට ඉදිවෙමින් තිබෙන මහල් නිවාස, හෝටල් සංකීර්ණ සමුදායෙන්ද තත්පරයක් තත්පරයක් පාසා මුදාහැරෙන්නේ දූවිල්ල ය.

‘‘2012 කොළඹ නගරයේ පාරවල් ආශ්‍රිත පදිකවේදිකාවල කොන්ක්‍රීට් ගල් ඇල්ලුවා… ඒ නිසා ඇත්තෙන්ම මේ වෙනකොටත් කොළඹ වායුගෝලයට එක්වෙන්න නියමිතව තිබුණු දූවිල්ලෙන් 30% ක් විතර අඩුවෙලත් තියෙනවා… යම් විදියකින් ඒ දේත් සිද්ද වෙලා නොතියෙන්න, මේ තත්ත්වය තවත් දරුණු වෙනවා…’’ විද්‍යාඥ එච්.ඩී.එස්. ප්‍රේමසිරි මහතා පවසයි.

මේ කියන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටිමින් නාගරික සංවර්ධන අධිකාරියද පාලනය කළ සමයේ පාරවල් දෙපස ඇතිරූ ‘ගෝඨා ගල්’ (එකල මේ ගල්වලට කීවේ ‘ගෝඨා ගල්’ කියා ය) නිසා නගර ආශ්‍රිත වායුගෝලයට වී තිබෙන ‘යහපත’ ගැන ය.

‘‘කොහොම වුණත් මේ විශාල දූවිලි අංශු ඈතට ව්‍යාප්ත වෙන්නෙ නෑ… ඒ නිසා ඒ දූවිල්ලේ බලපෑම තියෙන්නෙ ටික දුරකට විතරයි… ඒ වගේම ඒ අංශු ආශ්වාසයේ දී නාසයට ඇතුළු වුණත්, කෙළින්ම පෙණහලුවලට ඇතුළු වෙන්නෙත් නෑ… නමුත් වායුගෝලයට නිකුත් වන විවිධාකාරයේ දුම්වල තිබෙන මයික්‍රෝන 10 ට අඩු සහ මයික්‍රෝන 2.5 ට අඩු කියන දෙවර්ගයට ගැනෙන ක්ෂුද්‍ර අංශු අපේ පෙණහලු දක්වාම ගමන් කරනවා… ඒ නිසා සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත් නාගරික වැසියන්ගෙ සෞඛ්‍යයට වාඩාත් දරුණුවට බලපාන්නෙ මේ දෙවර්ගයේ වායු දූෂක…’’ විද්‍යාඥ ප්‍රේමසිරි වැඩිදුරටත් පැවසුවේ ය.

විශේෂයෙන් ම මෙකී දූෂක වායු වැඩි වශයෙන් කොළඹ අවට වායුගෝලයට එක්වන්නේ, තදාසන්නයේ පිහිටා තිබෙන ගල් අඟුරු බලාගාරවලිනි. මේ ආකාරයට කොළඹට වැඩි ම දුම සැපයෙන්නේ කැලණිතිස්ස, කෙරවලපිටිය සහ සපුගස්කන්ද යන බලාගාර තුනෙනි. මීට අමතරව පුත්තලම තාප බලාගාරය දෙසින් ද කොළඹ වෙතට සුළං ධාරා ඇතිවේ. එමඟින් පුත්තලම ගල්අඟුරු බලාගාරයෙන් අහසට විදින දුම ද කොළඹ දෙසට තල්ලුවීම නොවැළැක්විය හැකි ය.

මීට අමතරව දිනපතා කොළඹ නගරයට ඇතුළුවන වාහන කන්දරාවෙන් ද නොනවත්වාම නිකුත්වන්නේ වායුගෝල දූෂක වායු රැගත් දුම්රොටු ය. ඊට අමතරව වෙනත් කර්මාන්තශාලාවලින් ද නිරන්තරයෙන් දුම් පිටකරමින් තිබේ. තව ද නිවෙස්වල කෑම පිසිද්දිත්, ගෙවතුවල කුණුරොඩු දහනය කරද්දීත් වායුගෝලයට දුම් එකතු වේ. විශේෂයෙන් ම මෙකී දුම්වල තිබෙන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සහ ඕසෝන් යන දූෂක වායූන් ය.

මේ සියල්ලටමත් වඩා මේ දිනවල කොළඹට බලපා තිබෙන දූෂිත වායු දුමාරයට වගකිවයුත්තේ ඉන්දියාව ය. එසේ වන්නේ, මේ දිනවල ලංකාව හරහා හමා යන ඊසාන දිග සුළං ධාරා වඩාත් උතුරට බරව, එනම් ඉන්දියානු අර්ධද්වීපය දෙසට බරව ක්‍රියාත්මකවීම යි. මේ අනුව ඉන්දියා අර්ධද්වීපය ආසන්න වායුගෝලයේ තිබෙන දූෂක කොටස් ලංකාව දෙසට තල්ලු වී අවුත් ඉන්පසුව පළමුවෙන් ම මධ්‍යම කඳුකරයේ හැපී, කඳුකරය දෙපසින් බටහිර දෙසට කේන්ද්‍රණය වන සුළං ධාරා ඔස්සේ හමා අවුත් කොළඹ ප්‍රදේශයට ඒකරාශී වේ.

මේ ආකාරයට මේ දිනවල ඉන්දියාවේ වායු දූෂණය ලංකාව කෙරෙහි බලපවත්වන ආකාරය ස්විට්සර්ලන්තය කේන්ද්‍රකොටගත් ‘එයා විෂුවල්’ ආයතනය විසින් නිරන්තරයෙන් යාවත්කාලීන කරන දූෂිත වායු සිතියම මඟින් ද හොඳින් ම පැහැදිලි වේ. ඇත්තෙන්ම මෙම සිතියම අනුව බලන විට බෙංගාල බොක්ක හරහා දිවයිනට ඇතුළු වන වායුධාරාවල ඉන්දියාවේ දුම්රොටුවලට අමතරව කලාපයේ වායු දූෂණය අධික අනෙකුත් රටවල් වන චීනයේ, තායිලන්තයේ සහ බංගලාදේශයේ දුම්රොටු ද පවතින බව පැහැදිලිව පෙනේ. එහෙයින් මේ දිනවල ලංකාවේ කොළඹ අවට පවතින දූෂිත වායු දුමාරයට අප රට සහ ඉන්දියාව පමණක් නොව මුළු මහත් ආසියාවම වගකිව්වාට කම් නැත. අපේ රටේ ‘ඔක්කොම කුණු බේරුවල් බොක්කට’යි කිව්වාක් මෙන්, ආසියාවේ ඔක්කොම කුණු වැටෙන්නේ ‘බෙංගාල බොක්කට’ ය. ඉතින් මේ කියන බෙංගාල බොක්ක පල්ලේ තිබෙන අපේ රට ද ඒ ‘කුණුවලින්’ නිදහස් නොවේ.

‘‘අපි දැනට නිර්මාණය කරලා තියෙන කොළඹ වායු දූෂණ ත්‍රිකෝණය ගැනත් යමක් කියන්න ඕන… මේ ත්‍රිකෝණය හැදෙන්නෙ මරදාන, බොරැල්ල, පෑලියගොඩ කියන උප නගර තුන යා කරන සීමාවෙන්… ඒකට නං විශේෂයෙන් ම බලපාන්නෙ මේ ප්‍රදේශවල බහුලව තියෙන මාර්ග තදබදය… මෙතැනදී ට්‍රැෆික් එකේ තියෙන වාහන එක තැන ඉඳන් බොහෝ වේලාවක් දුම් පිටකරන බව අපි දන්නවා… මේවා මෙම උප නගර ආශ්‍රිත වායුගෝලයේ කැරකි කැරකි තියනවා… ඒක හින්දයි මේ ත්‍රිකෝණයේ වායු දූෂණය අනෙක් තැන්වලටත් වඩා වැඩි වෙන්නෙ…’’ කොළඹ වායුගෝල දූෂණය පිළිබඳ පර් යේෂකයෝ පෙන්වා දෙති.

මෙකී පර් යේෂකයින් ‘අරුණ’ සමග පැවසුවේ, මෙකී දූෂිත මීදුමාරය හමුවේ කොළඹ නාගරිකයන් පිළිපැදිය යුතු ‘පුරුදු’ ගැන ය

‘‘දැන් අපට මුලින්ම මේ තත්ත්වයට ආරක්ෂිතව මුහුණ දෙන ආකාරය ගැන හිතන්න වෙනවා… වායු දූෂණය අධික ප්‍රදේශවලදී ශ්වසන අපහසුවකුත් දැනෙනව නම්, මුඛාවරණ පලඳින එක හොඳයි… අනික තමයි වැඩිපුර එළිමහනේ ගැවසෙන්නෙ නැතුව, හැකිතාක් ගෘහාශ්‍රිතව ඉන්න එක… එතැනදිත් වායු සමීකරණ යන්ත්‍ර සවි කරලා තියෙන තැනක ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි… එළිමහනේ ක්‍රීඩා කරන එක, ඇඟ මහන්සි වෙන වැඩ කරන එක පුළුවන් තරම් අඩු කරන්න ඕන…’’ පර් යේෂකයෝ පැවසූහ.

ඉන් අනතුරුව මෙකී පර් යේෂකයින් ‘අරුණ’ට පැවසුවේ අප අවට ඇති වායුගෝලීය තත්ත්වය යථා තත්ත්වයට පත්කරගැනීමට අදාළව දිගුකාලීන වශයෙන් අප කළ යුතු දේවල් ගැන ය.

‘‘ගෙවල්වල අපතේ දාන කුණු ටිකවත් එළිමහනේ ගිනි තියන්න නරකයි… සිගරැට්ටුවක් දල්වන එකේ ඉඳන් වාහනයක් පාරේ ධාවනය කිරීමක් දක්වා අප අතින් වෙන වායු දූෂණය ගැන සංවේදීතාවක් දක්වන එක හොඳයි… ඒ නිසා අපි කියනවා, පුළුවන් තරම් සිගරට් නොබී ඉන්න… පුළුවන් තරම් පොදු ප්‍රවාහනය භාවිත කරන්න… වාහනයක් පාවිච්චි කරනව නම් හයිබ්‍රිඩ් වාහනයක්, විදුලියෙන් ක්‍රියාකරන වාහනයක් පාවිච්චි කරන්න බලන්න… ගිනිකෙළි, රතිඤ්ඤා ආදිය පුළුවන් තරම් සීමා කරන්න…’’

මේ අතර මෙම පර් යේෂකයින් වැඩිදුරටත් පැවසුවේ, වායු දූෂණය අවම කිරීමට අදාළව ඉදිරියේදී ඔවුන් විසින් රජයටද නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරන්නට යන බව ය. ඒ අතර නගරවලට ඇතුළු වන රථවාහන පාලනය කිරීමට අදාළ නිර්දේශ මෙන්ම නගරාසන්න ගල්අඟුරු බලාගාර ඉවත් කිරීමට අදාළ නිර්දේශ ද තිබිය හැකිය.

කෙසේවෙතත් මේ සියල්ල අවසානයේදීවත් අපට නිදහසේ හුස්මක් කටක් ගන්නට ලැබේ නම්, ඒ ඇති ය. එසේ නොවන්නට මේ ගෙන්දගම් පොළොව මත නොමිලයේ අප ලබන එකම දෙය පවා අහිමි වී යාම වැඩි ඈතක නොවිය හැකි ය.

සුරේඛා සමරසේන
ඡායාරූප – අන්තර්ජාලයෙන්