brand logo
logo

කොළඹ සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා බවට හෙළිවෙයි

19 July 2021

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම ප්‍රදේශයේ ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. උතුරු ප්‍රදේශයෙන් ද එම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් හමුවීම මඟින් ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ එය ව්‍යාප්ත වී ඇති බව හෙළිවන්නේ යැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි. තවද කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, මාතර, කිළිනොච්චිය හා යාපනය වැනි ප්‍රදේශවලින් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී තිබෙන බවත් එවන් පසුබිමක් තුල සෙසු ප්‍රදේශවල මෙම ප්‍රභේදය නොමැති යැයි පැවසිය නොහැකි බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මේ නිසා ජනතාව පවත්නා බැරෑරුම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කටයතු කළ යුතු බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත. වෛද්‍ය හේමන්ත හේරත්,

"මේ ප්‍රභේද පිළිබඳ තොරතුරු අපි සොයා ගන්නේ, සාම්පල්වලින් විතරයි. පීසීආර් පොසිටිව් වෙන සෑම රෝගියෙකුට ම අපි ජාන අනුක්‍රමණය කරන්නේ නෑ. ඒ නිසා අපිට කොහෙත්ම මේ හමුවන රෝගීන් සියලුදෙනාගේ ම තොරතුරු අපිට ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි අපිට මේ නියැදියකින් 10ක් ගත්තහම සියයට 20ක් වත් මේ ප්‍රභේදයේ අය ඉන්නවා කියලා. තවත් 10ක් අරන් බැලුවහම ඒකෙනුත් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා නම් අපි කියනවා සියයට 30ක් ඉන්නවා කියලා. එවැනි ඇස්තමේන්තු ගත කිරීමක් තමයි අපි මේ වෙලාවේ කරන්නේ. මේ ගන්න ප්‍රදේශ අනුව, විශ්වවිද්‍යාලය මඟින් ම අපිට ඇස්තමේන්තු කරලා දැනුම්දීලා තියෙනවා, කොළඹ ප්‍රදේශයේ දළ වශයෙන් සියයට 20ත් - 30ත් අතර අය ඩෙල්ටා ප්‍රභේදයේ අය විය හැකියි කියලා."

 

More News..