විශේෂාංග

කොළඹ රාජකීයයන් ජනාධිපතිට කැඳ පොවයි

විදේශයෙන් ගෙන්වන පිටිකිරිවල සිරුරට අහිතකර ඌරු තෙල්, මෙලමයින් ආදී රසායනික දෑ තිබෙන බවට බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය වකවානුවේ දැවැන්ත චෝදනාවක් කළේය. ඒ සමගම සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ක්‍රිෂාන්ත දසනායක පිරිකිරිවල තිබෙන විනාශකාරී බව පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කළේය.

ඔහුට අනුව දියර කිරිපිටි බවට පත් කිරීමට ඒවා වියළීමේදී එහි තිබෙන ස්වාභාවික ප්‍රෝටීන් ප්‍රමාණය විනාශ වී යයි. ප්‍රෝටීන විනාශ වීමෙන් පසු තැනෙන පිටිවලට බාහිරින් ඌරන් ආදී සතුන්ගේ ප්‍රෝටීන කෘත්‍රිමව එක් කෙරෙයි. ඒවා මනුෂ්‍ය සිරුරට අහිතකරය.

‘‘හරකාගේ කිරි තියෙන්නෙ වසු පැටවාට වැඩෙන්න ඕනෑ විදියට. එළදෙනකගෙ කිරිවල වැඩිපුර තියෙන්නෙ ජලය. මනුෂ්‍ය දරුවන්ගෙ මොළේ වැඩෙන්නෙ නැත්තේ පිටිකිරි පෙවීම නිසා. දරුවා හරක් පැටව් කරගන්න ඕනෑ නම් පිටි කිරි දෙන්න. වෛද්‍ය සංගමයේ ප්‍රධානියා කළ මේ ප්‍රකාශයත් සමග තම දරුවන්ද පිටිකිරි බීමට ඇබ්බැහි වූ මව්වරුන් මුහුණ දුන්නේ බරපතළ අර්බුදයකට ය. උදේට පිටිකිරි බොන්න දෙන්නේ නැතිනම් දරුවන්ට බොන්න දෙන්නේ මොනවද?.

අද අපේ රටේ අම්මලා මුහණ දී තිබෙන ප්‍රශ්නය ගැන මීට පෙර සිතා ඒ වෙනුවෙන් විසඳුමක්ද සොයා ගත් විදුහල්පතිවරයෙක්ද පාසලක්ද වෙයි. ඒ පාසල් කොළඹ රාජකීය විද්‍යාලයය. විදුහල්පතිවරයා කොළඹ රාජකීයයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකරය. මේ ඔහුගේ ව්‍යායාමය ගැන ඔහුම මෙරට මව්වරුන් වෙනුවෙන් ලියූ ලිපියකි.

ශ්‍රී ලංකාවේ දස දහසක් වන සමස්ත පාසල් පද්ධතියට රාජකීය විදුහල හැම විට ම නායකත්වයන් හා ආදර්ශයන් නොඅඩුවම සපයයි. රාජකීය විදුහල සමාජයට වැඩදායී ලෙස අනුකරණය කිරීමට වටිනා ව්‍යාපෘති මගේ සහෝදර ගුරුමණ්ඩලය සමග ක්‍රියාත්මක කිරීමට එදා හැකිවීම පිළිබඳව මට ඇත්තේ ඉමහත් සතුටකි.

විදුහල් පරිශ්‍රය තුළින් ආරම්භ කර පාසල් භූමියෙන් ඔබ්බටද ගෙන ගිය පරිසර වැඩසටහන් එයින් ප්‍රමුඛස්ථානයක් ගත් අතර ඒවා ක්‍රියාත්මක කිරීමේ දී අපට තේරුම් ගිය දෙයක් වූයේ නිවැරදි නොවන ආහාර රටා නිසා වැඩිහිටියන් පමණක් නොව පාසල් දරුවන් ද දිගින් දිගිටම නීරෝගී බවින් ඈත්ව යන බවයි.

2014 දී පමණ අප මේ ගැන අවධානය යොමු කරන විට ශ්‍රීලංකාවට අදාළ සමීක්‍ෂණ දත්ත සොයා ගැනීම එතරම් පහසු කරුණක් නොවීය. ඇමෙරිකාවේ සිදු කරන ලද එක් සමීක්‍ෂණයකට අනූව 1900 දී ජනගහනයෙන් 5% ක් වූ ළමුන්ගේ ස්ථූල භාවය 1975 දී 10% ක් ද 2000 දී 42% ක් ද ලෙස වර්ධනය වී ඇති බව පෙන්නුම් කළේය. එසේ ම මනෝ වික්‍ෂිප්ත භාවයෙන් පෙළෙන වයස අවුරුදු 6 – 21 දරුවන්ගේ ප්‍රතිශතය 2013 දී සමස්ත ජනගහනයෙන් 2% ක් පමණ වීම බෙහෙවින් අහිතකර තත්ත්වයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

අප රටේ දියවැඩියාව පිළිබඳ කරන ලද සමීක්‍ෂණ දත්ත අනූව 2008 දි දියවැඩියා රෝගීන් සංඛ්‍යාව ජනගහනයෙන් 20% ක් ලෙසද 2012 දී 26% ක් ලෙස ද 2015 දී කොළඹ නාගරිකයේ එය 59% ක් ලෙසද තොරතුරු වාර්තා වී තිබීම තුළින් ලාංකීය ජනතාව ද විශාල රෝගී අවදානමකට පත්ව ඇති බව විද්‍යමාන වෙයි. මේද තැන්පත් වීමේ රෝගීන් මීට අවුරුදු 10 කට කලින් රට තුළ හඳුනාගත හැකි තරම් නොසිටියද දැන් එය බහුල රෝග තත්ත්වයකි. අවුරුදු 12 කට කලින් සිටි පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයක් රෝගීන් මේ වන විට වාර්තා වී තිබීම බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් වැඩි වී යාම පිළිබඳව තවත් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙවන් පසුබිමක් තුළ දිනක් පාසලේ සහෝදර ගුරුතුමියක් අපූරු පානයක් පාසලේදීම පිස මටත් ගුරු මණ්ඩලයේ කිහිප දෙනකුටත් ලබා දෙමින් අපගේ ප්‍රතිචාරය විමසා සිටින ලදී. අප කුඩා කල සිටම පානය කර තිබූ බත් කැඳවලට සමාන කමක් මෙන්ම වෙනස්කමක් ද තිබූ විවිධ කුළුබඩුවලින් ඉපදුණු එයටම ආවේණික රසයකින් හා සුවඳකින් සහ ඇතුළතින් මතු වන කිරි රසයත් ඇති ඒ කැඳ අප එතෙක් කිසිදා අත් නොවිඳි අපූරු අත්දැකීමක් විය.

කළු හීනටි, කහවණු, මඩතවාලු, පච්චපෙරුමාල් ආදී සහල් හා සුදුලූනු, අබ, රතුලූනු, උළුහාල්, ගම්මිරිස්, සූදුරු, රම්පෙ, කරපිංචා, මාදුරු, කරාබුනැටි, සතකුප්ප, කොත්තමල්ලි, අළුකෙසෙල්, වට්ටක්කා, කෝමාරිකා, වරකා සිවිඩි, හාතවාරිය, රණවරා මල්, බෙලිමල්, උඳුපියලිය, කෝවක්ක, පැෂන් කොළ, දෙහි, හීන්බෝවිටියා, ගොටුකොළ, ඉරමුසු, තෙබු, මඤ්ඤොක්කා කොළ ආදී කුළු බඩු හා දේශීය අමුද්‍රව්‍යවලින් මෙම අපූරු කැඳ පානය සමන්විත බව ඇයගෙන් දැනගත් විට එම සංයෝගය අපට අදහා ගත නොහැකි එකක් ම විය.

මෙම සහල් වර්ග ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරන අතරම ශරීරයේ විෂ ඉවත් කිරීමට ද සමත් බවත් අනිකුත් දේශීය අමුද්‍රව්‍ය ප්‍රතිඔක්සිකාරක, පිළිකා නාශක, ආසාදන වළක්වා ලීම, විශබීජ නැසීම, ප්‍රතිශක්තිය වැඩි කිරීම ආදී විවිධ ක්‍රියාකාරීත්වවලින් යුතු බවත් තවදුරටත් අපට දැන ගත හැකි විය.

ධාන්‍ය, එළවළු, පලතුරු, මස් / මාළු, කිරි ආහාර, ඇට වර්ග ලෙසින් වන ආහාර වර්ගීකරණයේ ප්‍රමුඛ භාණ්ඩයක් ලෙස සැලකෙන ධාන්‍යවලින් පිසිනු ලබන කැඳ, පෝෂණ ගුණය ඉතා ඉහළ මට්ටමකින් පවතින පානයක් බව අවිවාදයෙන් පිළිගත හැකිය. ඉහත වර්ගීකරණයට අනුව කිරි ආහාරවලට ලැබෙන්නේ සාපේක්‍ෂව පහළ මට්ටමකි. ඒ නිසා සාමාන්‍ය ධාන්‍යවලින් පිසින ලද කැඳක වුවද කිරිවලට වඩා ඉහළ පෝෂණ ගුණයක් පවතින බව අප එහිදී අත්දකින ලද තවත් කරුණක් විය.

ධාන්‍ය ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට්වලින් සමන්විත වන අතර මේදය හා ප්‍රෝටීන ද සුළු වශයෙන් අඩංගු වෙයි. කිරි ආශ්‍රිත නිෂ්පාදනවල අධිකව මේදය ද කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන ද අඩංගු වෙයි. මෙම මේදය සතුන්ගෙන් ලබා ගන්නා නිසා ශරීර සෞඛ්‍යයට හිතකර නොවන සංතෘප්ත මේදය ලෙස සැලකෙන අතර කිරි ආශ්‍රිත ආහාරවල පවතින සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් යහපත් සෞඛ්‍යය තත්ත්වයට අහිතකර බලපෑමක් ඇති කිරීමට සමත් වෙයි. සංතෘප්ත මේද අධික ආහාර ගැනීමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන අතර රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ත අයුරින් පවත්වා ගෙන යාමට නම් මේද සහිත ආහාර ගැනීම සීමා කළ යුතු වෙයි.

සමබර ආහාර වේලක් කාබොහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, විටමින්, ඛනිජ ලවණවලින් සමන්විත විය යුතු අතර විටමින් B12 ඇතුළු සියලුම විටමින් වර්ගත් සියලුම ඛනිජ ලවණ හා ශරීරයට අවශ්‍ය තරම් ප්‍රෝටීන් මෙම කැඳ වීදුරුවකින් ලබා ගත හැකි ය. මීට අමතරව සමබර ආහාරයක් සඳහා අවශ්‍ය කෙරෙන ඉහළ තන්තු ප්‍රමාණයක් හා හිතකර ක්‍ෂුද්‍ර ජීවින් (Probiotine) ගෙන් මෙම කැඳ පානය සමන්විත බවත් එහි සංයුතිය මගින් දිරවීම පහසු කරවන අතරම නිදිමත ඇතිවීම වළක්වන බවත් පිළිකා නාශක ගුණයෙන් හා මානසික බුද්ධි වර්ධනය සඳහා අගනා සහායක් ලැබෙන බවත් අපට දැනගත හැකි විය.

මේ සියලුම කරුණු සලකා බැලූ විට මෙම කැඳ පානය, හැදෙන වැඩෙන දරුවන් ට ලබා දිය හැකි ඉතා පෝෂදායි හා ගුණදායක ආහාරයක් ලෙස අපි හඳුනාගත්තෙමු. අත්හදා බැලීමක් ලෙස මුලදී සුළු ප්‍රමාණයක් පිළියෙල කර කැමැත්තක් දක්වන සිසුන්ට රුපියල් 15 කට ලබා දීමට කටයුතු කළ අතර දිනෙන් දිනම ඉල්ලුම වැඩි වූ නිසා ඒ සඳහා නිශ්චිත ස්ථානයක් වෙන් කිරීමටත් වෙනමම සේවක මණ්ඩලයක් යෙදවීමටත් සිදු විය. උදෑසන දරුවන් සමග පාසලට පැමිණෙන දෙමව්පියන් ද ඉන් පසු පුරුද්දක් ලෙස කැඳ කාමරයට පැමිණෙනු දැකගත හැකි වීම අපට ඉතා ප්‍රීතිමත් දසුනක් වූ අතර විශේෂයෙන් ම පාසලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කැඳ පානය සඳහා දැඩි ඕනෑමකින් යොමූ වනු දැකගත හැකි විය. එයට බලපෑ විශේෂම හේතුව ලෙස අප හඳුනාගත්තේ කහට කෝප්පයකට වඩා කැඳ කෝප්පයකින් බඩ පුරවා ගැනීමටත් ආධාරයක් වන නිසා බවය.

ප්‍රතිලාභය කෙතරම් ඉහළ මට්ටමක පැවතුණද සමහර සිසුන් කැඳ යන නාමයට දක්වන ලද නොකැමැත්ත හා අඩු පිළිගැනීම පිළිබඳව ද අවධානය යොමු කිරීමට අපට සිදු වූ අතර කැඳ අලෙවි සැල එනර්ජි ඩ්‍රින්ක් අලෙවිසැල බවට පත් කළ විට එනර්ජි ඩ්‍රින්ක් පානය කිරීමට පැමිණි පිරිස කලින් කැඳ පානය කිරීමට පැමිණි පිරිසට වඩා ඉහළ ගිය අතර උපක්‍රමශීලි අලෙවිකරණයේ පාඩම් ද අපට උගත හැකි විය. සැහෙන සිසුන් හා ගුරුවරුන් පිරිසක් දිනපතා ම එනර්ජි ඩ්‍රින්ක් පානය කිරීම පුරුද්දකට වඩා ඇබ්බැහි වීමක් බවට පත් කර ගනු දැකිය හැකි වූ අතර එතුළින් තමන්ට ලැබුණු ප්‍රයෝජන පිළිබඳවද තොරතුරු වාර්තා වීම සැමගේ සතුටට හේතුවක් විය. ගැස්ට්‍රයිටිස් රෝගයෙන් දැඩි ව පීඩා විඳි ගුරුවරියක් සම්පූර්ණයෙන් සුවයට පත් වූ බවද, පියගැට පෙළ නැගීම හා බැසීම වේදනාවක් වූ ගුරුවරියකට මේ වේදනාකාරී තත්ත්වයෙන් මිදීමට හැකි වූ බවද, සිසුන් විශාල පිරිසක් ඔවුන් පන්ති කාමරය තුළ අත්විඳි නිද්‍රාශීලී හා අලස බව නැති වීම හා ස්මරණ ශක්තිය ඉහළ යාම පිළිබඳවද ලැබුණු වාර්තා ඊට නිදසුන් ලෙස සඳහන් කළ හැකිය.

මෙම ධනාත්මක ප්‍රතිචාරයන් සමඟ ප්‍රාථමික අංශයේ 1, 2 ශ්‍රේණිවල දරුවන්ට ඔවුන් ගේ විවේක කාලයේ දෙමාපියන් ගේ සංවිධානත්වයෙන් කැඳ ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ අතර දරුවන් ඉතා කැමැත්තෙන් එම වෙනස අත්විඳි බව තහවුරු වූයේ තමන්ට ලැබුණු මුල් කැඳ කෝප්පය පානය කිරීමෙන් පසු සමහර දරුවන් තවත් වරක් හෝ දෙවරක් කැඳ ඉල්ලා පෙරැත්ත කළ ආකාරය නිරීක්‍ෂණය කිරීමත් සමගය.

මෙහි සාර්ථකත්වය වටහාගත් පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා උතුරුමැද පළාතේ දිවා ආහාර වැඩසටහනට අදාළ පාසල්වල සිසුන්ට සතියකට දින 2ක් කැඳ ලබා දීමට පියවර ගැනීමත් සමග දිවයින පුරාම කැඳ ප්‍රචලිත වීම ආරම්භ වීම සැමටම ඉමහත් සතුට ගෙන දෙන්නක් විය.

ආදේශක පානයක් ලෙස මෙම කැඳ භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව රටේ ඉහළම පුරවැසියාවද දැනුවත් කිරීමට අපට හැකි වූ අතර වස විසෙන් තොර ආහාර පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ආරම්භ කළ විවිධ වැඩසටහන්වලදීද මෙම ඖෂධීය පානයේ වැදගත්කම පෙන්වා දීමට අපට අවස්ථාව ලැබුණි. එහි එක් අදියරයක් ලෙස 2014 ජූලි මාසයේ දී අනුරාධපුරයේ තිරප්පනේ මහානාම විදුහලේ දී “පෝෂණයයි සුවදිවියයි” වැඩ සටහන ආරම්භ කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ “කෑම සම්බන්ධයෙන් අපි අපිව පාලනය කර ගන්න ඕනෑ. දරුවන්ට දියර කිරි වීදුරුවක්, ගම් බිත්තරයක් කවන්න ඕනෑ. ඒ වගේම කැඳ ටිකක් පොවන්න ඕනෑ. මේ කැඳ දෙන්න කොළඹ රාජකීය විද්‍යාලයේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. මේ වැඩපිළිවෙළ රාජකීය විදුහලෙන්ම ආරම්භ වීම ලොකු දෙයක්. මොකද රාජකීය විද්‍යාලයෙන් පටන් ගත්තම කවුරුත් කියනවා ඒක රාජකීය වැඩක් කියලා. මමත් රාජකීය විද්‍යාලයට කෙනෙක් යවලා මේ කැඳ කෝප්පයක් උදේට ගෙන්වා ගන්නවා. මේ නිසා මගේ ඇඟටත් ශක්තියක් ඇවිත් තියෙනවා. මේක බිව්වම දවල් වෙනකම් වැඩ කරන්න ශක්තිය ලැබෙනවා. බඩගිනි එන්නෙත් නෑ. මේක මා අත්දුටු සත්‍යයක් බවට පත් වී තිබෙනවා. මේ වගේ පෝෂ්‍යදායී ආහාර ගැන දරුවන් උනන්දුවක් දක්වයි කියා මා බලාපොරොත්තු වෙනවා. ”

ජනාධිපතිතුමා ද මෙම පෝෂණ වැඩසටහන පිළිබඳව ඉතා ප්‍රසාදයකින් කටයුතු කළ බවත් එතුමා කැඳ පානය කිරීමට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ සියලුම කාර්යාලවල 700කට අධික කාර්ය මණ්ඩලයට උදේ තේ වෙනුවට දිනපතාම රාජකීය විදුහලේ පිසින ලද කැඳ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත් සටහන් කරන්නේ මේ වැඩසටහනේ යහපත් අධිෂ්ඨානය නිසාම එවන් රාජකීය පිළිගැනීමක් ලද බව තහවුරු කරන්නටය.

ඉහතින් සඳහන් කළ කරුණු සලකා බලන විට කිරිවලට ආදේශකයක් ලෙස කැඳ හඳුන්වා දෙනවා වෙනුවට කිරිවලට වඩා ඉහළ පෝෂණ ගුණයක් හා ආරක්‍ෂාකාරී බවක් සහිත ආහාරයක් ලෙස කැඳ හඳුන්වා දීමේ කිසිදු වරදක් නැත.

පිටිකිරි පිළිබඳව විවිධ මතභේද නිසා පිටිකිරි වෙනුවට දියර කිරි ආදේශ කිරීමට යාමේදී මතු වන ගැටලුවලට ද ඉතා හොඳම විසඳුම වන්නේ පෝෂණ ගුණයෙන් හා රසයෙන් ද සුවඳින් ද සපිරි කැඳ, රට තුළ ප්‍රචලිත කිරීම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

උපාලි ගුණසේකර

හිටපු විදුහල්පති – රාජකීය විදුහල හා ඉසිපතන විදුහල
විදුහල්පති – පොලිමත් විදුහල