විශේෂාංග

කොළඹ මෙගා සංවර්ධනයෙන් අවුල් වුණේ වවුල්ලුයි

කොළඹ නගරය තුළ දැන් කලක පටන් ම, විවිධාකාර ගොඩනැගිලි ඉදි කෙරෙනු දැකිය හැකි ය. කොළඹ ‘පෝර්ට් සිටිය’, ‘නෙළුම් කුලුන’ සහ විවිධ උස් ගොඩනැගිලි ඒ අතර වේ. මේවා ඉදි කෙරෙන්නේ මහා පරිමාණ වාහන සහ බර යන්ත්‍ර ආධාරයෙනි. එසේ ම, රාත්‍රී කාලයේ ද අධිසැර විදුලි පහන් දල්වා ගනිමිනි. රෑ-දවල් කියා වෙනසක් නැත. ඒ සියලු වැඩබිම්, අධික ශබ්දයෙන් ද, අධික ආලෝකයෙන් ද අනූන ය.

අධික ශබ්දය සහ අධික ආලෝකය, මනුෂ්‍යයන්ට ‘ආතතිය’ ගෙන එයි. ඔවුන්ගේ නිස්කලංකයට බාධා ඇති කරයි. එය නාගරික සත්ත්ව ප්‍රජාවට බලපානවා ඇත්තේ කෙසේ ද?

ලියුම්කරුට, පසුගිය දාක මේ කාරණය ගැන තොරතුරු ඇතුළත් ලියැවිල්ලක් කියවන්නට අවස්ථාව ලැබිණි. එය ‘පාරිසරික බලපෑම් ඇගයීමේ අවසන් වාර්තාවකි’. වාර්තාව සකසා තිබෙන්නේ, ‘නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදි වන මහා මාර්ග ව්‍යාපෘතිය’ සම්බන්ධයෙනි. ‘කුලුනු මතින් ඉදිවන’ නව මාර්ගයට, බේස්ලයින් පාර දක්වා උප මාර්ගයක් ද ඇතුළත් ය. මේ සම්බන්ධයෙන් වන ‘පාරිසරික බලපෑම් ඇගැයීමේ ප්‍රධාන වාර්තාව’ නිකුත්කර ඇත්තේ ඉකුත් පෙබරවාරියේ ය.

කිලෝමීටර් අටක් දිගැති, මං තීරු හතරකින් සමන්විත නව මාර්ගය දිවෙන්නේ කොළඹ පුරවරයේ ‘ඉහළ ම නාගරික කලබලය පවතින’ ඉසව්ව ඔස්සේ ය. එනම්, දෙමටගොඩ ඇළ මාර්ගය, කොලොන්නාව ඇළ මාර්ගය සහ ඒවායෙහි රක්ෂිතවලට ඉහළිනි. ඒවා පිහිටියේ ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බේස්ලයින් පාර සහ කොලොන්නාව යන අධික ලෙස නාගරීකරණය වුණු ප්‍රදේශවලට සමීපයෙනි. එබැවින් කොළඹ නගරයේ පරිසරය සම්බන්ධයෙන් යම් යම් සංවේදී කාරණා, ‘කුලුනු මතින් ඉදිවන මහා මාර්ගය’ වෙනුවෙන් සැකසූ පාරිසරික බලපෑම් ඇගැයීමේ වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනු පෙනෙයි.

එහි සඳහන් වන අන්දමට, අධික ශබ්දය සහ ආලෝකය නිසා මහත් ආරවුලකට මුහුණ පාන්නේ ‘පක්ෂීන්’ ය. වාර්තාවේ කියැවෙන හැටියට, ‘කුලුනු මතින් ඉදිවන මහා මාර්ගය’ ඉසව්වේ පක්ෂි විශේෂ 68ක් වාසය කරති. ඉන් විශේෂ තුනක් ශ්‍රී ලංකාවට ආවේණික ය. අධික ශබ්දය සහ අධික ආලෝකය හමුවේ පක්ෂීන්ගේ එදිනෙදා කටයුතු (ආහාර සොයා ගැනීම, විවේක ගැනීම, සංචරණය සහ වර්ගයා බෝ කිරීම වැනි) බිඳ වැටෙයි. නිශාචරයන් වන ‘වවුලන්’, ‘බස්සන්’ සහ ‘බකමූණු’ වර්ගවල පක්ෂීන්ට සැර ආලෝකය මහත් අපහසුතාවයකි. උන් ආහාර සොයා යන්නේ රාත්‍රී කාලයට ය. සැර ආලෝකය නිසා උන්ගේ පියාසැරියට බාධා සිදු වේ. ඇතැම් නිශාචරයන්, ආලෝකයට ලොබ බැඳ අධිසැර විදුලි බුබුළට පැමිණ මරු වැළඳ ගන්නවා ද විය හැකි ය.

උස් ගොඩනැගිලි හෝ උස් පාලම් ආදිය නිසා කොළඹ නගරයේ වවුල් විශේෂ ද මහත් අකරතැබ්බයන්ට මුහුණ දෙති. කොළඹ නගරය තුළ වවුලන්ට ආහාර පිණිස වන ගස් කොළන් බහුල නොවේ. එබැවින් උන් පියාඹන්නේ ඉහළිනි. ඇතැම් විට, අධිවේගී මාර්ග හෝ උස් ගොඩනැගිලි මට්ටමිනි. එහි දී උන්ට එක්කෝ මග වැරදෙයි. නැතිනම්, විදුලි රැහැන් ආදියෙහි ගැටී අනතුරට පත් වෙයි. ‘මා වවුලන්’ නිරන්තරයෙන් ම මෙබඳු අතවරයන්ට මුහුණ පාන්නෝ ය.

පාරිසරික බලපෑම් ඇගැයීමේ වාර්තාවේ සඳහන් වන අන්දමට, ‘කුලුනු මතින් ඉදිවන මහා මාර්ගය’ දිවෙන ප්‍රදේශයේ කුල 67කට අයත් ශාක විශේෂ 224ක් හඳුනා ගෙන තිබේ. එයින් සියයට 48.6ක් ම, විදේශීය ශාකයන් ය. සාමාන්‍යයෙන් ලංකාවේ ශාක සංහතිය තුළ විදේශීය ශාක ප්‍රතිශතය සියයට 25ක් පමණ වේ. එබැවින් ‘කුලුනු මතින් ඉදිවන මහා මාර්ගය’ දිවෙන ප්‍රදේශයේ සියයට 48.6ක විදේශීය ශාක ගහනයක් තිබීම, විශේෂ කාරණයකි. හඳුනා ගෙන ඇති විදේශීය ශාක අතරින් ඇතැම් විශේෂ ‘වගා කරන ආහාර භෝග’ ය. ඇතැම් විශේෂ, විදේශීයකරණය වූ වල් පැළෑටි ලෙස හඳුනා ගෙන තිබේ. ප්‍රදේශය පුරා ආක්‍රමණික විදේශීය ශාක ද බහුලව පැතිර තිබේ.

‘කුරුඳු’, කොළඹ නගරයෙහි ආධිපත්‍යය පතුරුවා ගෙන සිටියේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ය. වර්තමානයේ නම් කොළඹ ආශ්‍රිතව ‘කුරුඳු’ දැකීම, දුර්ලභ ය. එහෙත් ‘කුලුනු මතින් ඉදිවන මහා මාර්ගය’ දිවෙන ප්‍රදේශයේ ශාක සංහතිය අතර, ‘කුරුඳු’ ද හමුවී තිබිණි. ඒවා ඇතැම් විට, බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ පැවති කුරුඳු වගාවන් ගෙන් ශේෂව පැමිණි ඒවා වන්නට ද පුළුවන. හඳුනා ගෙන ඇති ශාක වර්ග අතර, ‘ජාත්‍යන්තර රතු දත්ත පොතට’ ගිය විශේෂ ද තිබේ. ඒවා අතර, කෙකටිය, කුකුල් කදුරු, උල් වැරණිය සහ කන්කුඹල යන ශාක ද වේ.

වාර්තාවේ දැක්වෙන අන්දමට, නව මාර්ගය ඉදි කෙරෙන භූමියෙහි කුල 72කට අයත් සත්ත්ව විශේෂ 143ක් හමු වේ. ඒ අතර, ක්ෂීරපායී විශේෂ 08ක් ද, පක්ෂි විශේෂ 68ක් ද, උරග විශේෂ 05ක් ද, උභය ජීවී විශේෂ 06ක් ද, මත්ස්‍ය විශේෂ 13ක් ද, සමනල විශේෂ 28ක් ද, බත් කූරන් විශේෂ 15ක් ද වෙති. උන් අතරින් ක්ෂීරපායී විශේෂ, කොළඹ නගරයේ දැඩි කලබලකාරී නාගරික පරිසරයට අනුවර්තනය වූවන් බව ද වාර්තාවේ දක්වා තිබේ. මේ ඉසව්වේ සිටින සතුන් අතර, මා වවුලා, මලබාර් ඌරු මීයා, ඉත්තෑවා, වඳුරා, යුරේසියානු දිය බල්ලා සහ කැලෑ බළල් වර්ගයක් ද වෙති. උරග විශේෂ අතර තලගොයා, කටුස්සා සහ ‘රසල් පොළඟා’ ද සිටිතියි හඳුනා ගෙන තිබේ. උකුස්සන්, ලිහිණියන්, පැස්තුඩුවන් සහ දියකාවුන් ආදී පක්ෂි විශේෂ ද එහි දී දැකිය හැකි ය.

‘කුලුනු මතින් ඉදිවන මහා මාර්ගයේ’ පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාවෙන් කොළඹ නගරය සම්බන්ධයෙන් තවත් කාරණයක් අනාවරණය වී තිබේ. එනම්, බේස්ලයින් පාරේ සිංහපුර මහල් නිවාස අසල ප්‍රදේශයේ ද, දෙමටගොඩ මිහිඳුසෙන් පුර මහල් නිවාස අසල ප්‍රදේශයේ ද දැනටමත් අධික ශබ්ද දූෂණයක් සිදු වන බවයි. එයට දිවා, සවස සහ රාත්‍රී කියා වෙනසක් නැති බවත්, අනුමත ශබ්ද සීමාවන් පවා දැනටමත් උල්ලංඝනය කෙරී ඇති බවත් එහි සඳහන්කර ඇත.

මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය, මෙම පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තාව සකස්කර ඇත්තේ, ‘කුලුනු මතින් ඉදි වන මහා මාර්ගය’ සම්බන්ධයෙන් කරුණු සොයා බලන්නට ය. එහෙත් එයින් හෙළිව ඇති කාරණා කොළඹ නගරය මුහුණ දෙන පාරිසරික අර්බුදයේ ගැඹුර ද අපට සිහිපත් කරන්නේ ය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර