විශේෂාංග

කොළඹ පාර හාරාගෙන : වාහන මග හිර කරගෙන

කොළඹ තුම්මුල්ලෙන් ඇරඹෙන බෞද්ධාලෝක මාවත අතිශය වැදගත් ජනාකීර්ණ මාවතකි. එහි එක් පසෙකින් කොළඹ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ විය හැකිය. විශේෂ කාර්ය සාධක බළකා මූලස්ථානයද නාවික හමුදාපති, ගුවන් හමුදාපති,යුද හමුදාපති නිල නිවස ග්‍රහ ලෝකාගාරයටද ගේට්ටු ඇරෙන්නේ බෞද්ධාලෝක මාවතෙනි. බෞද්ධ මහා සම්මේලන ශාලාව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව මතු නොව බොරැල්ල කනත්තට යන්නට තිබෙන්නේද මේ පාරය. එහෙත් ඒ පාරේ රේස්කෝස්පිටිය අසල සිට තුම්මුල්ල දක්වා කොටසේ පාර මැද ඉදි කළ කැණීම් ආවරණවලින් වට කර ඇති බැවින් යාම් ඊම් කරන්නට වී ඇත්තේ එක පැත්තකිනි. පශ්චාත් පුරාවිද්‍යා උපාධි අධ්‍යයන ආයතනයද මේ පාරේම පිහිටා ඇති බැවින් කෙනකුට සිතෙන්නේ මෙහි මානවකයකු පිළිබඳ සොයන්නට පිරිසක් දිගු කලක සිට කණිනවා ඇතැයි කියාය. මේ ආවරණය කළ කැණීමට පාර වසා ඇත්තේ වසරක සිටය. මේ පාරේ යන එන්නන් ගේ ඉවසීම වෙනුවෙන් අප කළ සොයා බැලීමේදී මේ කරන කැණීම් වළ අසලින් මතු විය.

මේ ව්‍යාපෘතිය හඳුන්වන්නේ ටොරින්ටන් උමඟ ව්‍යාපෘතිය නමිනි. කොළඹ තුරඟ තරග පිටිය අසලින් ආරම්භ වී කොළඹ විශ්වවිද්‍යාලය සහ ග්‍රහලෝකාගාරය අසලට විත් තුම්මුල්ල මංසන්දිය ඔස්සේ බම්බලපිටිය හන්දියට පැමිණ බම්බලපිටිය දුම්රියපොළ අසලින් මෙම කලාපයට වැටෙන වැසි වතුර මුහුදට එකතු කිරීම සඳහාය මේ උමඟ. එක ළඟ ඉදිවන උමං දෙකක් මගින් වැසි ජලය මෙලෙස මුහුදට රැගෙන යාමට නියමිතය. මේ ව්‍යාපෘතියේ තවත් සියයට තිහක් පමණ අවසන් වීමට නියමිතය. දිගු කලක් පාර වසාගෙන කරන මෙම ව්‍යාපෘති අනුමාන කරන කාලය අවසන් කර ගැනීමට නොහැකි වූ හේතු කරුණු රැසකි. ඒ අතරින් ප්‍රධානතම හේතුව මාර්ගය දෙපස ගොඩනැගිලිවල හිමිකාරිත්වය දරන නගර සභාව අදාළ ගොඩනැගිලි හා සබැඳි නිරවුල් කිරීම් කලට වේලාවට නිසි ලෙස නොකිරීමයි. එක් ඉංජිනේරුවරියක් පැවසුවේ ‘‘මට මේ පාර එක සැරේ ක්ලියර් කරල දෙනවා නම් ආණ්ඩුව ඉල්ලනවට වඩා ඉක්මනට අපි මේක දෙනවා. ඒත් දැන් වෙන්නෙ එක කොටසක් කරල ඉවර වෙලා ඉතුරු ටික කරන්න අවසර ලැබෙන කල් උඩ බලන් ඉන්න එක’’ කියාය. ටොරින්ටන් උමඟ ව්‍යාපෘතිය සිදු කරන ස්ථානයෙන් පසුව අපි ගියේ බෞද්ධාලෝක මාවතේ බොරැල්ල කනත්ත දෙසින් ඇතුළු වී මීටර් කිහිපයක් යත්ම පාර අවුරාගෙන සිදු කරන ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සොයා බැලීමටයි. මෙම ව්‍යාපෘතිය පටන් ගත්තේ 2019 වසරේ මැයි මස 27 දාය. දැන් එම තැන පාර වසාගෙන වසරකට වඩා කලක් ගත වෙලාය.

මෙම ව්‍යපාතියේ කළමනාකාරු වන ඉංජිනේරු සංජය විජේසිංහ ව්‍යාපෘතිය පිළිබඳ අප සමග කරුණු කීවේය. ‘‘මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ සොරොව්වක් හදනව වගේ දෙයක්. මෙතන පාර උඩින් වතුර එන තැනක් මේක. දැන් ඇත්තටම තියෙන්නේ වැඩ ටික අවසාන අදියරේ, ප්‍රතිඵල නම් ඉතා හොඳයි.’’ රුපියල් මිලියන එකසිය දහනවයක මුදලක් වැය කොට පිළිසකර කරන මෙම බෝක්කුව කොළඹ ගංවතුර පාලනයට විශාල විසඳුමක් බවට පත්වනු ඇත. පසුගිය වසරේ මැයි මස විසිහත්වන දින වැඩ ආරම්භ කෙරූ මෙම ව්‍යාපෘතිය මෙම වසරේ අප්‍රේල් විසි එක් වැනි දින අවසන් වීමට නියමිතව තිබී ඇත. කොවිඩ් 19 වසංගතය නිසා ගමේ ගිය කම්කරුවො තවම කොළඹ ආවේ නෑ. ඒකයි මේ ප්‍රමාදය. ගොතටුව නගරය, තුම්මුල්ල, මංසන්ධිය, වැල්ලම්පිටිය, අඹතලේ ආදී තවත් තැන්වල මෙම ව්‍යාපෘතියට අදාළව ඇළවල් පළල් කිරීම, බෝක්කු සෑදීම ආදී කටයුතු සිදු වේ.

බොරැල්ල කනත්තට පසු අපි නැවතුණේ නොරිස් කැනල් පාර දැන් මතක ඇති කාලයක සිට මහ වළවල් හාරාගෙන සිදු කරන නළ එළීම කවදා කොහොම නතර වේදැයි සොයා බැලීමටය. නොරිස් කැනල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබන්නේ එම මාවතේ ගංවතුර ඇති වන ස්ථාන පිළිසකර කොට එම ජලය ක්‍රමවත් ලෙස බේරේ වැව දක්වා රැ​ගෙන යාමයි. රුපියල් මිලියන තුන්සිය පනස් තුනක ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය දීර්ඝ කාලයක් පුරාවට වැඩ එක තැන පල්වෙන ව්‍යාපෘතියක් බව බොහෝ දෙනා චෝදනා කරති. ව්‍යාපෘතිය උදේ හවා දකින අපි වගේම ව්‍යාපෘතිය භාරව සේවය කරන පිරිසක සිටින්නේ අසතුටෙනි. මේ ප්‍රොජෙක්ට් එක වෙන්නේ ලංකාවේ වැඩියෙන්ම ට්‍රැෆික් තියෙන සහ වැඩිම බිල්ඩින් තියෙන තැනක. ට්‍රැෆික් නිසා අපි ගොඩක් වැඩ කරන්නේ රෑට. පාර දෙපැත්තේ තියෙන බිල්ඩින් ටික අයින් වෙන්නෙත් ඉබි ගමනින් පාරේ යන අය හිතන් ඉන්නේ අපි වැ​ඩ කරන්නේ නැහැ කියලා.’’ එක් ඉංජිනේරුවරියක් පැවසුවාය. දැනට සියයට අසූවක් පමණ වැඩ අවසන් වී ඇති මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් පසුව කොළඹ පොඩි වැස්සටත් යට වෙනව කියන චෝදනාවෙන් බේරීමට ලොකු උදව්වක් ලැබෙනු ඇත.

කොළඹට උදේ සවස යන එන උදවිය කරනු ලබන ප්‍රාර්ථනා දෙකක් ඇත. එකක් නම් අද ලෝටස් පාර හරස් කොට කොල්ලුපිටිය හන්දියේ සිට පැවැත්වෙන ශිෂ්‍ය උද්ඝෝෂණ නොපැවෙත්වා යන්නයි. දෙවැන්න තද වැස්සක් කොළඹට පතිත නොවේවා යන්නයි. මේ දෙකෙන් මොකක් කොළඹට වුණත් ආපු කාරණය අමතක කොට නැවත ගෙදර යාමට සිදුවන බව හැමෝම දනිති. උද්ඝෝෂකයන්ට වෙනම තැනක් සූදානම් කරදීමේ උත්සාහයක් මෙම රජය පවත් වූ කාලයේ කරලියේ තිබිණි. ගංවතුර පාලනයට ගනු ලබන මෙම ව්‍යාපෘතිය හැකිතාක් ඉක්මන් කොට වැස්සට යට වෙන වෙළෙඳ අගනගරයක් හිමි රට නම් ලජ්ජාවෙන් අපව ඉක්මනට රජය බේරාගනු ඇතැයි සුබ සිහින දකිමු. වර්ග කිලෝමීටර හැටපන්දහස් හයසිය දහයක කුඩා භූමියක් වන මෙම දිවයිනේ මේ වන විට වාහන ලක්ෂ හැට අටක් පමණ ලියාපදිංචි වී ඇති බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙම වාහනවලින් ලක්ෂ පහක් හයක් අතර ප්‍රමාණයක් දෛනිකව කොළඹ නගරයට පැමිණෙන හා පසු කර යන බව සමීක්ෂණ වාර්තා සනාථ කරයි. කොළඹ නගරයේ පමණක් පවතින වාහන තදබදය නිසා රටට සිදුවන පාඩුව දිනකට රුපියල් බිලියනයකට ආසන්න බව විද්වත් මතයයි. අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම සහ කාලය අපතේ යාම නිසා ශ්‍රී ලංකාවට වසරකට රුපියල් බිලියන තුන්සිය අසූ හතක පාඩුවක් සිදුවන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන සහ සැපයුම්දාම අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අමල් කුමාරගේ වරක් ප්‍රකාශ කළේය. කොළඹ වාහන තදබදය හුරුපුරුදු හැමෝටම මෙම පාර හාරගෙන සිදු කරන ව්‍යාපෘති විශාල ප්‍රහේලිකාවක්ම විය. මෙම වැසි ජලය මුහුදට රැගෙන යන ව්‍යාපෘති භාරව කටයුතු කරන විශේෂඥයන්ගේ කතාබහේදී ඉතා සුවිශේෂී කරුණක් දැනගන්නට ලැබිණි. එනම් අපේ රටේ යටිතල පහසුකම් සපයන ආයතන සහ පොළොව යටින් දිවෙන ව්‍යාපෘති සිදු කරන ආයතන හරහා නිසි සන්නිවේදනයක් සිදු නොවන බැවින් රජයේ මුදල් විශාල වශයෙන් අපතේ යාමයි. මහා මාර්ග සාදා නිම කරන ආයතන එම වැඩකටයුතු නිම කොට උණුසුම යන්නටත් මත්තෙන් ජලසම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය හෝ දුරකථන සමාගම් එම පාර හාරා තමන්ගේ කාර්යයන් සිදු කිරීම අපේ රටේ සුලබව සිදු වේ. පෙර තිබූ උසස් මට්ටමේ තාර නැවතත් පාරට නොවැටෙන බැවින් එතන වළක් සෑදී ටික කලක් යද්දී ත්‍රීවිල් රියැදුරන් කියන්නා සේ අලි නාවන ළිඳක් නිර්මාණය වේ. පාරක් සෑදීමේදී මේ සියලු අංශ එක මේසෙක හිඳගෙන ඉදිරි වැඩකටයුතු එක්ව තීන්දු ගැනීමේ ක්‍රමවේදයක් අද හෙටම අපේ රටේ සැකසිය යුතුය. මීට අමතරව අපේ රටේ ප්‍රශ්නවල මුදුන් මුලවන විනයක් නොමැති වීම කොහෙන් කොහොම හෝ නැතිකර දැමිය යුතුය. ගංවතුර පාලනයට රජයට නොහැකි වන ප්‍රධාන හේතුවක් වන්නේ කොළඹ නගරය අරා ඇති ඇළවල්වලට මහජනයා කසළ බැහැර කිරීමයි. මීට අමතරව ගොඩනැගිලි බොහොමයක වැසිකිළි නළ ගංවතුර බැස යාමට ඇති ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කොට ඇතැයි කොළඹ නගරයේ ව්‍යාපෘති සිදු කරන ඉන්ජිනේරුවෝ කියා සිටිති.

යම්කිසි ව්‍යාපෘතියක් සඳහා කැණීමක් කළ පසු ඒවාට කුණු පුරවන මිනිසුන්ට එසේ නොකරන බව කීමට ගොස් පහර කෑමට ලක් වූ ඉංජි​නේරුවරයෙක් අපට හමුවිය. කොළඹ යට වෙනවා කියා කීම සැබවින්ම ලජ්ජාවට කරුණක්ය. විෂයෙහි කෙළ පැමිණියවුන් තීන්දු තීරණ ගෙන මේ ප්‍රශ්නය විසඳනවා නම් එය මහානිශංස ලැබෙන පුණ්‍යකර්මයක් සේ ජනී ජනයා නිසැකවම පිළිගනු ඇත.

කලණ වීරසිංහ

ඡායාරූප – ඒෂාන් දසනායක