කතුවැකි

කොළඹ පන්සල්වලට හස්තිරාජයන් ඕනෑද?

කොළඹ, හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහර ආරම්භ වන අවස්ථාවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ ජනාධිපතිවරයාට අපූරු යෝජනාවක් කළහ. ඊයේ මෙම පෙරහර ආරම්භ කරන අවස්ථාවේ උන්වහන්සේ කියා සිටියේ එම විහාරස්ථානයට හස්ති රාජයකු නොමැති වීම නිසා බලවත් ප්‍රශ්නයක් පවතින බවය. මෙසේ කියමින් උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ හස්ති රාජයෙකි. අපේ වචනයෙන් කියන්නේ නම් අලියෙකි.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අලි ඇතුන් නිසා ස්වාමීන් වහන්සේලාට හිරේ, විලංගුවේ වැටීමටද සිදු විය. ඉත්තෑපානේ නායක හාමුදුරුවන් ගංගාරාම විහාරස්ථානයට හස්ති රාජයකු නොමැති වීම ගැන නහයෙන් අඬන්නේ එසේ තිබියදීය. ස්වාමීන් වහන්සේලා හිරේ විලංගුවේ වැටුණා වුවත් අලි ඇතුන් හා විහාරස්ථාන අතර අතීතයේ සිටම සම්බන්ධයක් තිබුණේය.

මෙරට බොහෝ පැරණි විහාරස්ථානවල අලි ඇතුන් සිටි අතර බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාලිගයේද ඇත් පන්තියක්ම සිටී. මේ අලි ඇතුන් හදා වඩා ගන්නේ ප්‍රදර්ශනයට තැබීමට නොව පෙරහරේ ගෙන යෑමටය. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහරේ කරඬුව ඇතකුගේ කර මතින් වැඩමවීම පුරාණ රජ දවසේ සිට පැවත එන චාරිත්‍රයකි.

මේ ආකාරයට අලි ඇතුන් පෙරහරේ ගෙන යෑම ගැන එදා සිට කිසිවකුට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැත. අපේ අහිංසක ගැමියා සිතුවේ ඇතකුට මාලිගාවේ කරඬුව වැඩමවීම පමණක් නොව පෙරහරේ යන්නට ලැබීම ද පිනක් පලදීමක් ලෙසය. මේ නිසා අදත් මාලිගාවේ කරඬුව වැඩමවන ඇතා ද ඔවුන්ට පූජනීය වස්තුවකි. එසේ වුවත් මෑත කාලීනව බිහි වූ නිරාගමිකයන් යැයි කියන අමුතු සත්ත්ව කොට්ඨාසය කියන්නේ අලි ඇතුන් පෙරහරේ ගෙන යෑම අමානුෂික තිරිසන් කටයුත්තක් බවය.

නිරාගමිකයන් මේ තර්කය නගන්නේ අලි ඇතුන් ගැන පහල වූ සත්ත්ව කරුණාවකින් නොව, මෙරට සියලු බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම සඳහා බව පැහැදිලි කාරණයකි. එසේ වුවත්, ඔවුන්ගේ තර්කය එකහෙළා බැහැර කළ නොහැක්කේ එවැනි තර්කයක් මතුවන්නට සාධාරණ ​හේතුද තිබෙන බැවිනි.

අලි ඇතුන් පෙරහරේ ගෙන යෑම නිසා සත්ත්ව හිංසනයක් සිදු වන්නේ යැයි කීමට ප්‍රධාන හේතුව නම් අපේ ඇතැම් භික්ෂූන් වහන්සේලාටත්, බෞද්ධයන්ටත් පසුගිය කාලයේ වැලඳුණු අලි ගාය බව කිව හැකිය. අතීතයේ අප අලි ඇතුන් සහිත පෙරහරක් දැක්කේ නම් ඒ මහනුවර දළදා පෙරහරය. නැතිනම් සබරගමුව මහ සමන් දේවාල පෙරහර හෝ කතරගම ඇසළ පෙරහර වැනි පෙරහරය. මෑත කාලීනව මේ ප්‍රවණතාව වෙනස් වූ අතර ගමේ කඨින පෙරහරටද අලි ඇතුන් නැතුවම බැරි විය. එහෙන් මෙහෙන් අටවා ගන්නා දේවාලද විවිධාකාර පෙරහර පවත්වන්නට වූ අතර ඒවායේද ප්‍රධාන අංගයක් වූයේ අලි ඇතුන්ය. මේ අවශේෂ පෙරහරවලටද අලි ඇතුන් නැතුවම බැරි වූයේ ඒවාට නැති මහේශාඛ්‍ය බවක් ආරූඪ කර ගැනීමටය. මේවාට ස්වාමීන් වහන්සේලා සේම එකී විහාරස්ථානවල ලුම්පන් දායක කාරකාදීන් ද වගකිව යුතුය.

මේ ඇතැම් විහාරස්ථානයක, දේවාලයක අලි ඇතුන් තබා බල්ලෙකු, බළලකුවත් ඇති දැඩි කිරීමට ඉඩකඩ නැත. අලියකු යනු කූඩුකර හැදිය හැකි සතකු නොවේ. අලියකු දිනකට අවම වශයෙන් කිලෝ මීටර් තිහක්, තිස්පහක් පමණ එහා මෙහා ගමන් කරවිය යුතුය. දිනකට කිලෝග්‍රෑම් 250 – 300 ක් අතර ආහාර ප්‍රමාණයක් ලබා දිය යුතුවා මෙන්ම ජලය ලීටර් 35 ක පමණ ප්‍රමාණයක්ද අලියකුට අවශ්‍ය කෙරේ. මේ සතාගේ නිරෝගී පැවැත්මට අවශ්‍ය තවත් වැදගත් කාරණයක් වන්නේ දිනපතා ස්නානයයි. එහෙත් අලියකු වතුර මලකින් නෑවිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ අවශ්‍යතා සම්පූර්ණ නොවූ විට සිදුවන්නේ අලි ඇතුන් අකාලයේ රෝගීන් බවට පත් වී මිය යෑමය. අලි ඇතුන් ඇති කිරීම ගැන සත්ත්ව ප්‍රේමීන්ගේ විරෝධය පළවන්නේ මේ නිසාය. හස්ති රාජයකු නොමැතිකම බලවත් ප්‍රශ්නයක් බව ඉත්තෑපානේ නාහිමියන් කියන ගංගාරාම පන්සලේ ද මීට පෙර ඇත් රාජයකු සිටියේය. කැලේ කොළේ සිටිය යුතු මේ අලියා සිටියේ ගංගාරාම පන්සලේ කොන්ක්‍රීට් බිමක් මතය. ඒද දම්වැලකින් විලංගු දමාය. දිනකට කිලෝ මීටර් තිහක්, තිස්පහක් තබා කිලෝ මීටර් පහක්වත් ඇවිදින්නට ලැබුණේ දැයි සැක සහිතය. මේ සතා නාවන ලද්දේ වතුර බටයකින් ඉසින ජලයෙනි. කොළඹ බෞද්ධයන්ගේ අප්‍රමාණ අගැයුමට ලක් වූ නවම් පෙරහරේ ධාතූන් වහන්සේ වැඩමවීමට දිනක රාත්‍රිය ගත කළ ඌට සෙසු කාලය ගත කරන්නට සිදු වූයේ සුද්දන්, සුද්දියන්ට අතපත ගාන්නටත් ෆොටෝවලට මුහුණ දෙමින් ආයු සංස්කාරය කර ගැනීමටය.

අපේ ඉත්තෑපාන නායක ස්වාමීන් වහන්සේ දැන් යළිත් හස්තිරාජයකු ඉල්ලන්නේ එවැනි කොන්ක්‍රීට් වනාන්තරයක හදා වඩා ගැනීමට නම් ඒ ගැන සිතා බැලිය යුතුය. ගංගාරාම පන්සලේ අලියකු හදන්නට හැකිනම්, කොළඹ මැනිං වෙළෙඳපොළේ ද අලියකු හැදිය හැකිය. අලියකු හදා වඩා නහවා කවා පොවන්නට නොගැළපෙන මෙබඳු නගර මැදක බිමකට අලියකු ඉල්ලීමෙන් වෙන්නේ දළදා පෙරහර වැනි ඓතිහාසික වත් පිළිවෙත්වලට ද පහර වැදීමය.

පන්සලකට අලියකු නැතිවීමෙන් බෞද්ධාගමේ පැවැත්මට කිසිදු අඩුවක් පාඩුවක් වන්නේ යැයි සිතිය නොහැක. එහෙත් බෞද්ධාගමේ පැවැත්මට හානිකර බොහෝ දේ තිබේ. අද දවසේ මහණ කිරීමට කෙනකු සොයා ගැනීම බලවත් ප්‍රශ්නයකි. එසේම අමාරුවෙන් හෝ මහණකම ගන්නා භික්ෂූන් වහන්සේ සිවුරේ රඳවා ගැනීම තවත් ප්‍රශ්නයකි. භික්ෂූන් වහන්සේ නොමැති වීම නිසා සිය ගණන් පන්සල් වැසී ගොසිනි. නායක ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් අලි ඇතුන් ඉල්ලද්දී සිවුපසය හෝ ලබා ගැනීමට සටන් කරන විහාරස්ථාන අදත් මේ රටේ තිබේ. බුදුන්ගේ තැන දෙවියන්ට දෙමින්ද, පිච්චමලේ සිට පොල්මල දක්වා විවිධාකාරයේ පූජා පවත්වමින්ද, මිථ්‍යාව බෞද්ධ දර්ශනය ආක්‍රමණය කරමින් තිබේ.

එහෙත් අපේ සාසනයේ වගකිවයුතු උතුමන්ට හස්තිරාජයකු නොමැතිකම පමණක් පෙනීම, අලින්ගේ නොව බෞද්ධයන් පෙර කළ පවක් විය යුතුය.