විශේෂාංග

නගර සභාවේ රථ ගාල් මන්ත්‍රීවරු වෙන අයගේ කොම්පැනිවල නමට අරන්

ජීවක සෙනෙවිරත්නගේ පදිංචිය මැදවච්චියේ කරපිත්තාඔය. ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොළඹ පැමිණි ඔහු කොළඹ රථ ගාලක තම ලොරිය නැවැත්තුවේ උදෑසන 6 ට පමණය. ඔහු කොළඹ හරස් වීදිවල කරක් ගසා තම කඩයට අවශ්‍ය බඩු භාණ්ඩ රැස්කර අවසාන වන විට හවස පහ පහු වී හමාරය. ලොරිය නැවැත් වූ රථ ගාලට නට්ටාමිලා ලවා බඩු ටික ගේන විට හවස හයත් පසු වී තිබුණි. ඒ වේලේ එතැනට පැමිණි කොළඹ නගර සභාවේ ලාංඡනය සහිත නිල ඇඳුමක් ඇඳ සිටි, රථ ගාලේ මුදල් අය කරන්නා රු. 1500 ක ගාස්තුවක් ලියූ තුණ්ඩු කෑල්ලක් ජීවක අත තැබීය. ජීවික එය ගෙවීම ප්‍රතික්ෂේප කළේ දවසක් කොළඹ ලොරියක් නවත්වා තිබුණත් ගාස්තුව රු. 500 බව තර්ක කරමිනි. ගාස්තු අයකරන්නා ඊළඟට ජීවකට තර්ජනය කළේ පොලිසියට කියන බවත්, නගර සභාවේ ඩිරෙක්ටර් කෙනකුට ඇමතුමක් ලබා දෙන බවට තර්ජනයකි. ජීවකට කියූ පරිදිම ජංගම දුරකථනයෙන් නගර සභාවේ ඉහළ යැයි කියූ නිලධාරියාගෙන් ඇමතුමක් ලැබුණි.

‘‘මහත්තයා මං නගර සභාවෙන්. කරුණාකරලා රු.1500 ගෙවන්න. නැත්නම් අපි පොලිසිය ලවා ලොරිය උසාවියට දාල දඩත් ගහල නවතින්නේ.

‘‘හරි හරි මට මහත්තය නගර සභාවේ වැඩ කරන සෙක්ෂන් එකයි, නමයි කියන්නකෝ’’

‘‘ඒවා වැඩක් නෑ ඩෝ. සල්ලි ගෙවන්නැත්නම් ගන්න හැටි අපි දන්නවා’’

නගර සභාවෙන් යැයි කියූ නිලධාරියා තර්ජනය කරන්නට විය.

‘‘මාත් කොළඹ නගර සභාවේ රෙජිස්ටර්ට් සප්ලයර් කෙනෙක් (ලියාපදිංචි සැපයුම්කරුවෙක්) ඔය …. මන්ත්‍රීතුමා නේද කතා කරන්නේ..’’ යි කියූ ජීවක දුරකථනය ගාස්තු අය කරන්නාට දුන්නේ නක්කල් හිනාවක්ද පාමිනි.

දුරකථනය අතට ගත් ගාස්තු අය කරන්නාට අනෙක් පැත්තෙන් යම් කිසි විධානයක් ලැබුණි. ඔහු ජංගම දුරකථනය විසන්ධි කළේ බයාදු ලෙසය.

‘‘යන්න සර්… අපි මේවා දැනන් හිටියේ නෑ. සර්ට කලින්ම කියන්න තිබුණනේ.’’

මේ වචන හුවමාරුව වන විට නට්ටාමිලා තිහක්, හතළිහක් ලොරිය වටා රොක් වී සිදුවන්නේ කුමක්දැයි බලා සිටින බව ජීවකට පෙනී ගියේ දුරකථන කතාබහෙන් පසුවය. නට්ටාමිලාට ගෙවිය යුතු ගතමන්ට් එක ගෙවා දැමූ ජීවක එක් නට්ටාමි කෙනකු අත කඩයකට ගෙවිය යුතු ලක්ෂයකට අධික මුදලක් ගෙන​ ගොස් දෙන ලෙස කීවේ නට්ටාමිලා ගනුදෙනුවලට ඒ තරම් විශ්වාසවන්ත පිරිසක් වන නිසා විය යුතුය.

ලංකාවේ දැන් ප්‍රකට කියමනක් නම් ‘කට නැත්නම් බල්ලොත් ඇදන් යනවා’’ යන පාඨයයි. ‘ජීවක’ නිවට ලෙස හිටියා නම් ඔහුට සිදුවන්නේ තම ලොරි රථයට ‘ගාල් ගාස්තු’ ලෙස රු. 1500 ක් ගෙවා අලාභයක් සිදු කර ගැනීමටය.

කොළඹ මේ රථ ගාල් ඉතිහාසයට වසර 40 කට වඩා ඉතිහාසයක් ඇත. මේ රථ ගාල් සකස් කොට මුදල් අය කරන්නට පටන්ගෙන ඇත්තේ 1977 න් පසු ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍ය හා පළාත් පාලන හා නිවාස ඇමැති වූ යුගයේය. ඒ කාලේ වාහනයක් ගාල් කිරීමට අයකොට ඇති මුදල සත විසිපහකි. ප්‍රේමදාසගේ අරමුණ වී තිබී ඇත්තේ මහා ලොකු උගත්කමක් නැති සාමාන්‍ය අධ්‍යාපනයක් නැති ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයේ 400 කට රැකියා අවස්ථාවන් දීමය. මෙරට නොමිලේ දුන් නළ ජලයට මීටර් සවිකොට ‘ජල බදු’ හඳුන්වා දුන්නේ මේ වකවානුවේය. එයට විරුද්ධව රටේ මහා උද්ඝෝෂණයක් ඇති විය. පාරක් අයිනේ නවත්තන වාහනයකට මුදල් අය කිරීමට ජනතාව විරුද්ධ වූ හැටි ගැන මීට හතළිස් වසරක සේවයට එක් වූ සේවිකාවක් අපට කළ විස්තර පුදුම සහගතය.

‘‘මේ පාකින්වල ටිකට් කඩන ජොබ් එක මට දුන්නේ ප්‍රේමදාස මහත්තයා. මුලින්ම පාක් එකේ නවත්තපු තඩි බෙන්ස් කාර් එකට සත විසිපහක ටිකට් එකක් කැඩුවාම ඒ මහත්තයා මාත් එක්ක අරියාදුවට ආවා. ගොඩක් අය ගාස්තු ගෙවන්න කැමැති වුණේ නැහැ. ගොඩක් අයට අප කරුණු පැහැදලා දුන්නාම තමයි සල්ලි දුන්නේ. සමහරු අපට පරුෂ වචනයෙන් නින්දා කළා. ගාස්තු අයකරන්න පටන් ගත්ත පළමුවෙනි දවසේ සමහර තැන්වල ගාස්තු අයකරන අයට පහර දීලා තිබුණා.’’

වසර 40 කට අධික අත්දැකීම් ඇති මෙම පාලිකාව කියන්නේ පහර කෑ සේවකයන්ගේ ගෙවල්වලට ගොස් ප්‍රේමදාස අගමැතිවරයා තම කනගාටුව ප්‍රකාශ කොට මුල් කාලේ පොලිස් ආරක්ෂාව දුන් බවය.

ඒත් පසු කාලීනව ප්‍රේමදාස බඳවාගත් සේවක සේවිකාවන් විශ්‍රාම යද්දී ඒ වෙනුවෙන් අලුත් සේවකයන් බඳවා ගන්නට කොළඹ නගර සභාව පියවර ගත්තේ නැත. ඔවුන් කළේ නගර සභාවට අයත් කොළඹ රථගාල් එකින් එක ටෙන්ඩර් කර පෞද්ගලික සමාගම්වලට පැවරීමයි. බොහෝ විට මේ ටෙන්ඩර් ගත්තේ නගර සභාවේම මන්ත්‍රීවරු විවිධ කොම්පැනිවල නම්වලිනි.

කොළඹ නගර සභාවේ රථ ගාල් ටෙන්ඩර් මගින් ලබා ගැනීම දෙවැනි වන්නේ කොළඹ නගරයේ ඇති වැසිකිළි ටෙන්ඩරයට පමණි. මේ වැසිකිළි ටෙන්ඩරය ගන්නේත්, කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුම වෙනත් කොම්පැනිවල නම්වලිනි. මේ සමහර වැසිකිළිවල දවසක ආදායම රු. 15.000 ඉක්මවන බව කිවහොත් ඔබ විශ්වාස නොකරන්නටත් ඉඩ ඇත.

කොළඹ නගර සභාවේ පාලනය යටතේ මේ රථ ගාල් තිබියදී ගාස්තු අය කළේ මානුෂික ස්වභාවයෙනි. උදේ අටට පමණ ගාස්තු අය කිරීම ආරම්භ කර සවස හය පමණ ගාස්තු අය කිරීම නවත්වන ලදී. අයකරන ලද්දේද ඉතා සුළු ගාස්තුවකි. ඒත් පෞද්ගලීකරණයත් සමග ගසා කෑම ඇරඹෙන්නේ උදේ 5 ටත් කලිනි. කොළඹ මහ රෝහල ළඟ නගර සභාවෙන් රථ ගාල බදුගත් කොම්පැනිය ගාස්තු අයකරන්නට පටන් ගත්තේ උදේ 4 ටය. එම කටයුත්ත රෑ දහය වනතුරුත් සිදු වන්නේ අතිශය අමානුෂික අයුරින් බෙහෙත් ටිකවත් ගන්නට අතේ සතේ නැති රෝගීන් හූරා ගනිමිනි.

නගර සභාවේ, ලොරියකට පැයකට අය කළ හැකි ගාස්තුව රු. 70 කි. ඒත් මේ පෞද්ගලික රථ ගාල් ගැනුම්කරුවන් ලොරියකින් දවසකට රු. 1500 අයකරන අවස්ථා ද ඇත. වෑන්, කාර් ආදී දවසක් නවතා තිබියදී රු. 600 – 700 අයකරන අවස්ථාද ඇත. පාන් ගෙඩියක්, බොම්බිලි කරවල ග්‍රෑම් දෙසීය පනහක් ගන්නට වාහනයක් නවත්වා බඩු අරන් එන විට වාහන නැවතුම් ගාස්තුව මිලදී ගත් බඩු ටික වගේ හතරපස් ගුණයකි.

නගර සභාව මෙම රථ ගාල් ටෙන්ඩර් මගින් අලෙවි කිරීමෙන් කර ඇත්තේ ටෙන්ඩරයට අදාළ ස්ථානය පමණක් නොව ඊට ආසන්න නගර සභාවට අයත් නැති ස්ථානලටද ගාස්තු අය කිරීමට ‘ලයිසන්’ දීමකි. දැන් ප්‍රශ්නය ඇත්තේ කොළඹ නගර සභාව මේ රථ ගාල් පෞද්ගලික ආයතනවලට ටෙන්ඩර මගින් ලබා දී අත්තේ නීත්‍යනුකූලවද බවය.

නගර සභාව ටෙන්ඩර් කැඳවා පෞද්ගලික අංශයට ලබා දී ඇති රථ ගාල් ඒවා ගත් කොම්පැනිවලට ධන ආකාරයක් වී තිබේ. කොළඹ යෝක් වීදිය, බංගසාල වීදිය, කේසර් වීදිය, කුමාර වීදිය, මැලිබන් වීදිය, හතරවන හරස් වීදිය, පස්වන හරස්වීදිය, මැනිං මාකට්, හෙට්ටිවීදිය, මරදාන, පංචිකාවත්ත, ආසිරි සෙන්ට්‍රල් රෝහල, මහ රෝහල, කාසල් වීදිය, ලේඩි රිජ්වේ රෝහල හා නවලෝක රෝහල අසල රථ ගාලද ඒ අතර තිබේ.

මේ රථගාල් බදුගත් පුද්ගලයන් ඒ සඳහා සේවයට තෝරා ගන්නේ නගර සභාවෙන් විශ්‍රාම ගිය සේවිකාවන්ය. නැත්නම් බේබද්දන්, කුඩුකාරයන්, හෝ රස්තියාදුකාරයන්ය. ඒ බලෙන් හෝ ගාස්තුව මංකොල්ල කන්නටය. මේ සේවයට ගන්නා සේවකයාට හෝ සේවිකාවට වැටුපක් නැත. ඒ වෙනුවෙන් ඔවුනට ලැබෙන්නේ ටාගට් එකකි. රථ ගාල තියෙන තැන අනුව දවසේ ටාගට් එක වෙනස්ය.

‘‘අපේ ගාණ දවසට 8000 යි. ටාගට් එක අපිට දීලා උඹේ ගාන ඕන ගාණක් උඹ හොයා ගනින්.’’

මෙසේ වැඩකරන එක් රථවාහන පාලිකාවක අපට කීවේ දැන්නම් ටාගට් එක කවර් කරනවා තබා වියදමට රු. 2000 ක් සොයා ගැනීමත් අපහසු බවය. දැන් නගර සභාවේ ස්ථිර සේවයේ ඉතුරු වී ඇති පාලිකාවන් ගණන 25 කි. දැන් නගර සභාවට ඉතිරිව ඇත්තේ රථගාල් 7 ක් පමණි. බෝධිරාජ මාවත, වේල්ල වීදිය, ශාන්ත ජෝසප් වීදිය, කදිරේෂන් වීදිය, පරණ යොන් වීදිය, කොල්ලුපිටිය මාකට් හා වැල්ලවත්ත මාකට් යන ස්ථාන ඒවාය. දැන් මේ ස්ථානවල ද නගර සභාව සුදු ඉරිඇඳ වෙන්කොට ඇත්තේ ඒවාද බදු දීමට බව මෙම සේවිකාවන් කියන කතාවකි. නගර සභාව අයකරන ගාස්තු ඉතා සාධාරණය. මෝටර් සයිකලයකට හෝ ත්‍රිරෝද රථයකට රු. 20 කි. කාර් එකකට රු. 50 කි. ලොරියකට රු. 70 කි. නමුත් හෙට අනිද්දාට නගර සභාවට අයත් ඉතිරි රථ ගාල් ද ටෙන්ඩර් කර අලෙවි කර පසු ජනතාව දැවැන්ත ගසාකෑමකට ලක්වනු නියතය. දැනට ඉතිරිව සිටින පාලිකාවන් කියන්නේ මේ රථ ගාල් නැවත රජයට පවරාගෙන දහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා දීමට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවය. එමෙන්ම මෙම පාලිකාවන් 25 දෙනා ඉල්ලා සිටින්නේ තමන් විශ්‍රාම යනතුරු තමන්ට මේ රථ ගාල්වල සේවය කරන්නට අවස්ථාව සලසා දෙන ලෙසය. මොවුන් ලිඛිතව ඒ ගැන ජනපතිට කළ ඉල්ලීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයා ගරු ආණ්ඩුකාර තුමිය වෙත යොමුකොට ඇත. මේ සඳහා ජනපතිවරයා වහා පියවර නොගතහොත් කොළඹ නගර සභාවේ අවසන් රථ ගාල් හතේ අසන් කටයුතු ළඟදීම සිදු වෙනවා ඇත.

වජිර ලියනගේ

ඡායාරූප- ඒෂාන් දසනායක