අතන මෙතන

කොළඹ නගරාධිපතිනීය කාන්තාවන්ට සනීපාරක්ෂක කට්ටල බෙදයි

කෙසෙල්වත්ත, මිහිදුපුර කාන්තාවන් ගේ ඉල්ලීම මත කොළඹ නගරයේ ජීවත්වන අඩු ආදායම්ලාභී කාන්තාවන් සඳහා කාන්තා සනීපාරක්ෂක කට්ටල බෙදාදීමක් අද (29) දින කොළඹ මහ නගර සභාවේ ගරු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිනිය.

“මේ රටේ පවුල් සංඛ්‍යාවලින් ගත් විට තනි පවුල් නඩත්තු කරන කාන්තාවන් 30% පමණ සිටිනවා. ලෝක බැංකුවේ වාර්තාවකට අනුව පාසල් ගැහැණු දරුවන් 50% ක් මාසික ඔසප් සමයේ පාසල් නොයන බව සදහන් වී තිබෙනවා. එවැනි පසුබිමක තමයි දැන් මේ සමාජ මාධ්‍ය  තුළ ප්‍රශ්න කරමින් යන්නේ සනීපාරක්ෂක තුවා වලට 15% ක බද්දක් ගැහුවා කියලා.ඇත්තටම ඒක ඇත්තද,ක්‍රියාත්මක කරනවද? කියන එක මධ්‍යම ආණ්ඩුවේ තීරණයක්.නමුත් මේ ටික මම කියන්නම ඕන, එවැනි තීරණයක් ගෙන තිබේ නම් ඇත්තටම මම කාන්තාවක් හැටියට අම්මා කෙනෙක් හැටියට දුක් වෙනවා.”

“ඇත්තටම ගැහැණු ළමයි විශාල සංඛ්‍යාවක් ඔසප් සමයේ පාසල් යන එක නවත්තනවා.ඒ කාරණා කීපයක් නිසා.ඒකක් අපහසුතාවය,අනෙක බයට,ඒ අතරින් වැඩිම ප්‍රමාණය නිසි සනීපාරක්ෂක ක්‍රමවේදයක් යොදාගැනීමට නොහැකිවීම.මේ ප්‍රදාන කාරණා තුන ඇතුළේ ගැහැණු දරුවන් පාසල් යන්නේ නෑ.විශේෂයෙන් කියන්න ඕන බහුතරයක් කාන්තාවෝ භාවිතා කරන්නේ  සනීපාරක්ෂක තුවා වෙනුවට රෙදි කෑලි.හැබැයි මේ අසරණකම හේතුවෙන් මිනිස්සු තමන්ගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණපානවා. විශේෂයෙන් ලෙඩ රෝග වලින්.දිලීර,බැක්ටීරියා,වගේ දේවල් නිසා විවිධ රෝගවලින් බැට කනවා. පසුගිය කාලයේ ඒ ගැන කතිකාවතක් ආපුවම මේ රටේ ජනප්‍රිය කියලා හිතන කාන්තාවෝ හිනා වුණා,ලැජ්ජ වෙනවා කිව්වා.මොකක්ද මේ කළේ? තව තවත් මේ සමාජය ඇතුළේ  සනීපාරක්ෂක තුවා, ක්‍රමවේදය සංස්කෘතියට පටහැනී,කාන්තාවන්ට කතා කරන්න හොඳ නෑ,පිරිමින්ට අදාල නෑ කියන තැනට එක්කන් ගියා.ඉතිං තවමත් කඩෙන් සනීපාරක්ෂක තුවා ගද්දී පත්තර කොළයකින් වහලා දෙන එක පුදුමයක්ද?එහෙම රටක දරුවෙක් ලැජ්ජාවක් නැතුව කඩේට ගිහින් සනීපාරක්ෂක තුවා එකක් දෙන්න කියලා ඉල්ලයි ද? “