විශේෂාංග

කොළඹ කොලීජිවලට පිස්සු නටන්න ලයිෂන් තියෙනවාද?

පාසල් සිසුන් කණ්ඩායම් හැටියට සහභාගි වූ ප්‍රධාන අපරාධ තුනක් පසුගිය සතිය තුළ වාර්තා විය. අගනුවර ප්‍රසිද්ධ පාසලක ළමුන් කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවියක් සතියක් තිස්සේ අපයෝජනය කිරීම, පාසල් රථ පෙළපාලියක ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථයක් අධික වේගයෙන් පදවා අනතුරු කිරීම හා පාසල් සිසුන් කණ්ඩායමක් බාලිකා විදුහල් දෙකකට බලහත්කාරයෙන් කඩා වැදීමය. බැලූ බැල්මටම මේ අපරාධ තුන අතරේ කිසිම සබඳතාවක් නැතත් මේ අපරාධ තුනම බාල වයස්කාරයන් අතින් සිදුවීම නිසා එහි වගකීම සමස්ත සමාජයටම පැතිරෙන්නේය. මේ සමාජ වගකීමේ සැකකරුවන් සෙවීමේ එක් පැත්තක් මතු කෙරෙන ලිපියකි.

ජනප්‍රිය පාසල්වල මැර සිසු සංදර්ශනය සෑම අවුරුද්දකම මාර්තු මාසයට ළඟා වන්නේය. මෙවර මේ අපූරු සංදර්ශන වාරය පටන් ගත්තේ සිංහල බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමී දැවැන්තයන් දෙදෙනෙක්ගේ මූලිකත්වයෙන් මුලපිරුණු අගනුවර නාලන්දා විද්‍යාලයෙන්ය. පී. ද ඇස්. කුලරත්න හෝ අාචාර්ය ගුණපාල මලලසේකර අහම්බයකින් වත් ජීවතුන් අතර සිටියේ නම්, පසුගියදා වාර්ෂික ක්‍රිකට් සොමිය සැමරීම වෙනුවෙන් විනෝද ධාවකයෙක් පදවා ගෙන පැමිණි බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් සිංහල ක්‍රිඩා සමාජයේ රථගාලේ තිබූ තවත් රථ තුනක් කුඩු කරමින් ජීවිත ගණනාවක් අනතුරට ළංකළ තම සිසු මුනුපුරන් වෙනුවෙන් කුමක් කියනු ඇද්ද? මේ අනතුරට වග කිවයුතු මැර සිසුන්ට කවර වර්ගයක දඬුවම් දෙනු ඇද්ද? තමන් සිංහල බෞද්ධ ජනයාගේ යහපත වෙනුවෙන් පටන් ගත් එම විදුහලේ කීර්තියට මෙබඳු මැර සිසුන්ගෙන් ඇතිවෙන අපකීර්තිය වැළැක්වීමට මෙබඳු පුවත් පළ නොකරන්නැයි පත්තර කතුවරුන් කී දෙනෙකුගෙන් ඉල්ලා සිටිනු ඇද්ද?

පිරිසුදු සිංහල බෞද්ධ නාලන්දීයන් මෙසේ විනෝදයට මරණීය අනතුරු කර නෝටි බේබිලා හැටියට නිවෙස්වලට යද්දී කුරුඳුවත්තේ රෝයල් බේබිලා සුපුරුදු ලෙස මාර්තුවට පුද්ගල නම් ගම් හෝ ආයතන නැති, ලිංගික අඩන්තේට්ටම් ගැන පුවත් මවමින් සිටියෝය. ලංකාවේ බොහොමයක් ජනමාධ්‍ය හැම මාර්තුවක මෙන්ම තමන්ගේ හාම්පුතුන්ගේ බේබිලා කරන මේ ලිංගික අඩන්තේට්ටම් ” අගනුවර ප්‍රසිද්ධ පාසලක සිසුන් විසිදෙනෙක් බලහත්කාරයෙන් කොල්ලුපිටියේ බාලිකා විද්‍යාල දෙකකට කඩා වැදීම’ යන අනුග්‍රාහාත්මක හා උත්කර්ෂවත් සිදුවීම් හැටියට වාර්තා කළෝය. ඒ වගේම “පොලිසිය මේ සිසුන් බාලිකා විදුහල්වලින් එළියට දැමීමට උපකාර කළේය. පසුව මේ සිසුන් පොලිස් භාරයට ගෙන නිදහස් කෙරුණි’ යනුවෙන් ද වාර්තා කළහ. මෙබඳු ලිංගික බලහත්කාරයන්ට පොලිසියෙන්, උසාවියෙන් හා ජනමාධ්‍යවලින් මෙබඳු අනුග්‍රහ ලැබෙන්නේ මාර්තු මාසයේදීම පමණි. රටේ ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය විදුහල්වල සිසුවන් වීමෙන්ම පමණි.

රටේ වෙන තරුණ කණ්ඩායමක් අතින් මෙබඳු අපරාධයක් වූයේ නම් විය හැකි හා විය යුතු නීතිමය ක්‍රියාත්මක වීම අප බලාපොරොත්තු වන්නේ කෙසේද? හුදු කුඩා හා තරුණ ගැහැනු ළමුන් සිටින නිවසකට හෝ වෙනයම් ස්ථානයකට අනවසරයෙන් කොලු රෑනක් කඩා වැදුනොත් ඔබ සිතන්නේ ඔවුන් කෑකෝ ගසා හේනකට වැදුණු රිලව් රෑනක් සේ පලවා හැරිය යුතු බව ද? එසේත් නැතිනම් නිතීය [ අපරාධයක් කිරීමේ අරමුණෙන් පෞද්ගලික හෝ පොදු ස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වීම, බිය ගැන්වීම හා අපචාරයකට උත්සාහ දැරීම] කළ අපරාධයට අනුව ක්‍රියාවේ නැඟීමද? අපේ මානව හිමිකම් සඳහා ඇති සටන ඉබ්බෙකුසේ කටුව තුළට රිංගා ගන්නේ මෙතැනදීය. අපි මේ බේබිලාගේ වැඩිහිටියන්ගේ මිත්‍රයන්වීම හෝ අපේ දරුවන්ද මේ බේබිලාගේ පාසල්වලට යැවීමට ඇති කෑදරකම එළියට එන්නේ මෙතන දීය. අපි සරසවිවල සිසිටීවී කැමරා ගලවා දුන් සිසුන් සිරගත කිරීමට මොර දෙන අතරේ බේබිලාගේ ලිංගික අඩන්තේට්ටම්වලට හුණුගාමින් නිහඬවන්නෙමු. මේ නිහඬතාව ගලන්නේ කොතැනකින්ද?

සමාජයක් හැටියට අපි නීතියට උඩින් සිටින ප්‍රභූවරුන් දකින්න කැමැත්තෙමු. අපිට නැතත් ඒ ප්‍රභූ භාවය සමාජයේ පැවතුණොත් කවදා හෝ දවසක එම ප්‍රභූන් අතරට යාමේ සැඟවුණු අාශාවන් අප සිත් පතුලේ සැඟවී පවතින්නේය. මේ නිසා පාසල් බේබිලා වාර්ෂිකව පුරුද්දට හා පාසල් සම්ප්‍රදාය අනුව යමින් අපරාධයක් කරන්නට සූදානම් වෙද්දී අපි කැලෑ පත්තර පුවතක් ලිවීමට සූදානමින් සිටිමු. අප මෙහිදී කැලෑ පත්තර ප්‍රවෘත්ති යනුවෙන් අදහස් කරන්නේ සිදුවූ තැනක් නැතිව ඉබාගාතේ යන [කොල්ලුපිටියේ බාලිකා විද්‍යාල දෙකකට] සිසුන් කණ්ඩායමක් [ අගනුවර ප්‍රසිද්ධ පාසලක] කඩා වදිති. [ කඩා වැදීමට හේතුවක් හෝ එයින් වූ විපත වාර්තා නොවේ] අනෙක් පැත්තෙන් මේ සිදුවීම ගැන නීතිය ක්‍රියාත්මක වීමක් ද නැත. එසේ නම් රටේ පොලිසියට, වින්දිතයන්ට හා ජනමාධ්‍යට වැදගත් නැති වරදක් සේ නොපෙනෙන මෙබඳු ‘කොලුකම්’ ගැන අප කරදර වන්නේ ඇයි? අපත් මේවා ඉදිරියේ නිහඬ නොවන්නේ ඇයි?
මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍යයට කෙටි සටහනක් ‘ ඩිෆෙන්ඩර් පාසල් හා ඩිෆෙන්ඩර් ඉස්කෝල’ යනුවෙන් ලියූ විට මද වේලාවකින් අපේ ගිණුමට අනතුරකින් විනාශ වූ මෝටර් රියක පිංතූරයක් ආවේය. එය එවා තිබුණේ ප්‍රකට ඉංග්‍රීසි කවියෙකු හා සාහිත්‍යකරුවෙකු වෙන මාලින්ද සෙනෙවිරත්නය. ‘සිංහල ක්‍රීඩා සාමාජයේ රථගාලේ නතර කරල තියෙද්දි අර නාලන්ද ඩිෆෙන්ඩර් කඩා වැදීමෙන් මගේ කාර් එකත් පොඩි වුණා. තවත් කාර් දෙකක් විනාශ වුණා. ඒ ආපු වේගෙට කාර්වල හැපිල ඩිෆෙන්ඩරය නැවතුනා. එහෙම නොවුණා නම් එතැන හිටපු ළමයි හත්අට දෙනෙක් යටවෙල මැරෙනව’ මාලින්ද සෙනෙවිරත්න සියැසින් දුටු සාක්ෂිය කීවේය. අපරාධයකට අනුබලදීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා ද ගොනුවෙන මෙබඳු අපරාධයක් වසන් කිරීමද තවත් අපරාධයකි. එහි අපරාධකරුවන් බාල වයස්කාරයන් වේ නම් ඔවුන් මේ අපරාධයට පෙලඹවූ ආයතන [පෙරෙඩ් සංවිධාකයන් හා ආදි ශිෂ්‍ය සංගම්] වත් නම් කළ යුතුය. එසේ නොකිරීම අපරාධය වසන් කිරීමක් පමණක් නොව අනාගතයේ එබඳු අපරාධ සඳහා අනුබල දීමක් ද වන්නේය.

සාමාන්‍යයෙන් කොළඹ ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලක සිසු ඇවතුම් පැවතුම් සෙසු නාගරික හා අර්ධ නාගරික පාසල් දරුවන්ගේ ආදර්ශයන් බවට ඉතා ඉක්මනින්ම පත් වන්නේය. ‘කොළඹට කිරි අපට කැකිරි’ කීවේ මේ පාසල්වල දරුවන් නොවේ. මූලික පහසුකම් කිසිවක් නැති පාසල්වල දරුවන්ය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ රුපියල් දාහේ දේශපාලන ගුරුපත්වීම් තමන්ගේ පාසල්වලට එවීමේ කෝපය පෙන්නුම් කරමින්ය. මේ ගුරුවරියකට සිසුන්ට පිපිඤ්ඤා ලියා පෙන්විය නොහැකි වූ විට කැකිරි ලීවත් කමෙක් නැතැයි ඉගැන්වීමෙන් මේ ප්‍රවාදය මතු වුණේය. නමුත් මේ අඩුපහසුකම් ළමුන් මෙන් නොව පළාත් නගර හා දිස්ත්‍රික්ක නගර හා වෙළෙඳ නගරවල තිබෙන ප්‍රසිද්ධ ජනප්‍රිය පාසල්වල ළමුන් මේ කොළඹ ආදර්ශය ගෙන ඩිෆෙන්ඩර් පෙළපාළිවලින් ගමන්කර පාසලේ හයිය පෙන්වමින් අහිංසකයන් වාහනවලට යට කිරීම මේ සමාජය දරා ගන්නේ කෙසේද? අනික දැනටමත් දිනකට මහපාරේ පුද්ගලයන් 7 -9 අතර ගණනක් යටකර මරා දමන රටක් මේ අඩු වයසේ විනෝද ධාවකයන් අනුගමනය කිරීම කොරෝනා වෛරසය මෙන් රට පුරා පැතිර යනු ඇත. මන්ද අපි සමාජයක් හැටියට එබඳු මෝඩ අසමානකම් හා වෙනස්කම් තිබීම රටක් හා ජාතියක් හැටියට අනුමත කරන නිසාය.

ආසියාතිකයන්ට සමාජය තුළ බෙදීම් නැතිවම බැරිය. මේ බෙදීම් නිසා ඔවුහු අනෙකා උස් පහත් කර සැලකීමෙන් උද්දාමයට පත්වෙති. බලවත් සතුටක් විඳිති. නැති නම් වසර 3000ක් තිස්සේ කුලවාදය පිංබිම නමින් ප්‍රකට ජම්බුද්ධීපයේ පැවතිය නොහැක. මනුස්මෘතියෙන් සුජාත කෙරෙන ඉන්දීය කුලවාදය අසෝක බඳු බෞද්ධ අධිරාජ්‍යයන් යටතේ මෙන්ම මුස්ලිම් මෝගල්වරු හා ක්‍රිස්තියානි බ්‍රිතාන්‍ය රජුන් යටතේ ද යහතින් වැජඹුණේය. පසුව ගාන්ධිවාදී නිදහස් සටනක් අවසානයේත් ඉන්දියාව හඳට යන්න හදන යුගයේත් මේ කුලවාදය ඉන්දියාවේ වඩාත් ශක්තිමත් වෙමින් පවතින්නේය. අපි අපේ ඉන්දීය ඥාතීන්ට පිටුපා බොහෝ කලක් ගෙවී ගොසින්ය. දැන් සිංහල බෞද්ධයන් කුලය සොයන්නේ මඟුල් තුලාවකට හෝ මනාප ඡන්දය දීමේදී පමණි. සිංහල ක්‍රිස්තියානින් හා කතෝලිකයන් කුලය සොයන්නේ නායක පූජකවරුන් පත් කිරීමේදීම පමණි. එබඳු නිදහස් ජන කණ්ඩායමක් වෙමින් සිටින දකුණේ ජනයා අතරට අලුත්ම කුල ක්‍රමයක් දැන් දැන් ඇතුල් වෙමින් තිබෙන්නේය. ඒ පාසල් කුලවාදයයි. මේ පාසල් කුල රාජකීය, ආනන්දීය, නාලන්දීය, ධර්මරාජ හෝ ජොසපියන් යනුවෙන් නම් ගැන්වෙන්නේය. පෙර තිබූ ගොවි, රදල, කරාව, සලාගම හා බත්ගම බඳු කුල අතුරුදන් වෙමින් මේ නවීන කුල මතුවන්නේය. පෙර තිබූ කුල සංගම් ‘කෞරවවංශ සංගමය, ලමැණිකුල සංගමය හෝ විශ්වකුල සංගමය වෙනුවට දැන් තිබෙන්නේ ආදී රාජකීය, ආදී ආනන්දීය, ආදී නාලන්දීය හා ආදී විශාඛීය සංගමයන්ය.

රොඩ්‍රිගෝ පවුල් සමාගම, දියෙස් පවුල් සමාගම හා තුඩුගල පවුලේ සමාගම වැනි පැරණි උපකුල සංගම් වෙනුවට දැන් තිබෙන්නේ ආදි ආනන්දීය 94 කණ්ඩායම, ආදි රාජකීය 75 කණ්ඩායම හා ආදී ජොසපියන් 90 කණ්ඩායම බඳු නවීන උපකුල සංගම්ය. පාසල් සිසුන් මැර සිසුන් බවට පත්කරන්නේ මේ කුල සංගම් විසින්ය. ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී මේ පාසල් කුල සංගම්වලට බලවත් තීරණාත්මක ශක්තිය හිමිවේ. මේ නිසා අතීතයේ මෙන් වාසගමෙන් කුලවද්දා ගැනීමක් සිදු නොවේ. ඒ වෙනුවට පාසලට ඇතුළත්වීමේ ලේඛනය කුලයේ සාමාජිකයෙක් හැටියට ඔප්පු කිරීමට යොදා ගැනේ.

වාසනාවකට මේ පාසල් කුල ධුරාවලියේ ඉහළින්ම සිටින කුල පාසල්වලට මුල පිරූ පරම විඥානාර්ථ සමාගම හා මහාබෝධි සමාගම මේවාට නම් තැබීමේදී සෝපාක විදුහල, සුනීත විදුහල, මාතාංග විදුහල හා චන්න කින්නර විදුහල යනුවෙන් යොදා නොගත් නිසා අතීත ඉන්දීය කුල ක්‍රමයේ ප්‍රභූ නාමයන්ගෙන්ම පෙනී සිටීමට මේ පාසල්වලට හැකිවී තිබේ. වැරදීවත් එබඳු සෝපාක, සුනීත හා මාතාංග විදුහල් තිබුණේ නම් පාසල් කුල සටන්වලදී මේ කුල පිඩිත විදුහල්වලට බලවත් හිරිහැර සිදුවීමට ඉඩ තිබුණි. මේ පාසල් කුලවාදය නිසා නීතිය ක්‍රියාත්මක නොවෙයි. වරදට දඬුවම් නොලැබෙයි. යුක්තිය ඉටුනොවෙයි. අඩුම තරමින් මේ අකාරුණික කුලවාදය නිසා සිදුවෙන වැරදි කිසිවක් නිසිපරිදි වාර්තා නොවෙයි. එය වාරණය කෙරෙන්නේ බොහොමයක් ජනමාධ්‍ය ආයතනවල සිටින මේ පාසල් කුල සංගම්වල සාමාජිකත්වය නිසාය. මේ කුල සමාජිකයෝ දෙයාකාරයකට ක්‍රියාත්මක වෙති. එයින් එකක් වන්නේ අපේ ඉස්කෝලේ ම මල්ලිලා කර්මාන්තයට ගැනීමෙනි. අනෙක ‘අපේ ඉස්කෝලේ නම සවුත්තු වෙන්න දෙන්න බෑ’ යන අදහසින් පුවත් වාරණය කිරීමෙන්ය. මේ අදහස් තේරුම් ගැනීමට නම් පසුගිය දිනවල ප්‍රසිද්ධ පාසල්වල සිසුන් සම්බන්ධයෙන් ලියැවුණු නරක ප්‍රවෘත්ති ගෙන බලන්න. එම වාර්තා කිසිවෙක සිදුවීමට අදාළ සිසුන්ගේ නම් හෝ ඔවුන් උගත් පාසල් සඳහන් නොවේ. මේ ලිපිය ලියන මොහොතේ මෙබඳුම අගනුවර ජනප්‍රියම පසලක සිසුන් සමූහයක් බාලවයස්කාර දැරියක් මාස හතක් තිස්සේ අපයෝජන කිරීමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූහ. නමුත් මේ බාල අපරාධකරුවෝ නීතියෙන් නම වසන් කර ගැනීමට සමත් වූවත් ඔවුන්ගේ පාසල් මොනවාද යන්න හෙළි නොකිරීම අපි භාර ගත යුත්තේ කෙසේද?

ජනමාධ්‍ය අනතුරක් හෝ අපරාධයක් වාර්තා කරන්නේ ඇයි? පුවත්පත විකුණා ගැනීම වෙනුවෙන්මද? ‘ඔහොම තමයි හැමදාමත් සමාජයේ අනතුරු වෙනවා යි පාඨකයන්ට ලියන්නද? තමාගේ පුවත්පත මීල දී ගන්නා පාඨකයාට අනතුර සිදුවූ ස්ථානය හා එය හා බැඳුණු ආයතන වාර්තා කිරීම අපේ යුතුකමක් හා වගකීමක් නොවේද? පාරිභෝගිකයෙක් හැටියට පාඨකයාට තමන් ගෙවූ මුදලට තමන්ට නිවැරදි තොරතුරු ඔහුට අපරාධයේ වින්දිතයෙක් වීමෙන් ගැලවීමට අවශ්‍ය ඥානය නොලැබෙන්නේ නම් ඔහුට පාරිභෝගිකයෙක් හා පාඨකයෙක් වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ‘අපේ ඉස්කෝලේ නම කැත වෙන නිසා ජනමාධ්‍යකරු තොරතුරු සැඟවීමෙන් ඊළඟ බාල අපරාධකරුවන් කණ්ඩායමෙන් සිඟිති දියණිය බේරා ගැනීමට පාඨක පියාට නොහැකිවීමේ වරද යන්නේ පාසල් කුලවලට අයත් ජනමාධ්‍යයට නොවේද?

වාරණයට හා පුවත් පාලනයට බලවත් සේ විරුද්ධවෙන ජනමාධ්‍ය මෙබඳු ස්වයං වාරණයන් පනවා ගෙන සිටීම යුක්ති සහගත කරන්නේ කෙසේ ද? වාර්තාකරුවන්ද සෙසු සමාජයේ සාමාජිකයන් මෙන්ම තමා උගත් පාසලට ගෞරව කිරීම හා එය ආරක්ෂා කිරීම වෙනුවෙන් තොරතුරු සැඟවිය හැකිද? තමන්ගේම දරුවන්ටද ජනප්‍රිය පාසල් අවශ්‍ය නිසා ජනමාධ්‍යකරුවන්ට පාසල් ආශ්‍රයෙන් සිදුවෙන අපරාධ හා වෙනත් පුවත් හරියාකාරව වර්තා නොකිරීම සාධාරණය කරන්නේ කෙසේ ද? සමාජයක් ඇති වාර්තාකරණයේ යාන්ත්‍රනය එක තැනකින් හෝ බිඳවැටුණොත් එයට මහජන විශ්වාසය අහිමි වෙයි.
නමුත් එයින් සමාජයට ඇති බලවත්ම අනතුර පත්තර අලෙවිය පහළ වැටීම හෝ පත්තර වැසීයාමෙන් රැකියා අහිමිවීම නොවේ. ජන සමාජයට තමන් ජීවත්වෙන සමාජය කෙරේ පවතින විශ්වාසය අහිමිවීමය. එය සමස්ත සමාජයටම දිවිනසා ගැනීමට බල කිරීමකි.

 

නන්දන වීරරත්න