විශේෂාංග

කොළඹ කුඩු කරන කොටි සැලසුම කුඩු කළ හැටි

අනාගත යුද්ධයක් සිදු වන විට යුදපිටිය සේම පරිගණක ක්ෂේත්‍රයද ඊට යොදා ගැනෙන බව විශේෂඥයෝ පෙන්වා දෙති. 2009 අවසන් වූ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී ද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සිදු කෙරුණේ විපුල මෙහෙයකි. යුදපිටියේ අත්දැකීම් කියවා පාඨකයන්ට හුරුපුරුදු වුවද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හෙවත් පරිගණක ක්ෂේත්‍රයෙන් සිදු කළ යුද මෙහෙවර පිළිබඳ තතු තවමත් අප්‍රකටය.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක මෘදුකාංග ප්‍රවර්ධන අංශයේ ප්‍රධානියා සේම පරිගණක අධ්‍යාපන අංශය හා අනුබද්ධ තීක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක හර්ෂ විජේවර්ධන පරිගණක ක්ෂේත්‍රයේ කළ යුද මෙහෙයුම විස්තර කරයි. මේ සතියේ ඔහු හෙළි කරන්නේ එල්ටීටීඊ බෝම්බ ප්‍රහාර කිහිපයක් වළක්වා ගත් ආකාරයයි.

2006දී කොළඹ නගරයේ බෝම්බ කිහිපයක්ම පුපුරා හැරීමට නියමිතව තිබුණි. ත්‍රස්තවාදීන්ගේ මෙම සැලැස්ම හෙළිවීමත් සමග ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වූවේය.

මුදලට සියල්ල පාවාදෙන පිරිසක්ද දකුණේ බිහිවී තිබුණි. අතට ලැබෙන සොච්චමක් වෙනුවෙන් එම පිරිස් බොහෝ පාවාදීම් කළහ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු එහි උපරිම ඵල නෙළාගනිමින් සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තෝරාගත් නිලධාරීන් කිහිප දෙනකුට පරිගණක වෝහාරික පරීක්ෂණ දැනුම ලබාදීම කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදු කෙරිණි. ඒ එම විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේදීය. 2001-2002 අත​රේ වර්ෂවලදී සිදුවූ මෙම කටයුත්ත ඉතා රහසිගතව වූවකි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ පරිගණක දත්ත ලබාගැනීම මෙම වෝහාරික දැනුම ලබාදීමේ මූලික අරමුණක් වූයෙන් එය රහසිගතව සිදුවිය.

රහසිගත තොරතුරු දැන නොසිටියද සී.අයි.ඩී. පරීක්ෂණයන් සඳහා පරිගණක අධ්‍යයන ආයතනය සහයෝගය දක්වන බව අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීහු දැන සිටියහ. ත්‍රස්ත විමර්ශන ඒකකය ඒ අතර ප්‍රධාන වෙයි.

පරිගණක අධ්‍යයන ආයතනයේ සහයෝගයෙන් සී.අයි.ඩීයේ පරීක්ෂණ රැසක්ම සාර්ථක වී ඇති බවද ත්‍රස්ත විමර්ශන අංශයට වාර්තා වී තිබුණි.

ඒ අනුව ඔවුන්ද පරිගණක ආශ්‍රිත ගැටලු නිරාකරණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලය කරා පැමිණියේය. ඩෙක්ස්ටොප්, ලැප්ටොප්, ආදී ත්‍රස්ත ක්‍රියාවන්ට යොදාගෙන තිබූ විවිධ පරිගණක උපකරණ ඔවුහු රැගෙන එන්නට වූහ. ත්‍රස්ත විමර්ශන ඒකකයේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු වූ ප්‍රසන්න අල්විස් එම කටයුතු භාරව සිටි නිලධාරියායි.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයට අනුබද්ධ මෘදුකාංග ප්‍රවර්ධන ඒකකයේදී එම උපකරණ කියවීමට ලක් කෙරිණි. එහිදී සිදුවූයේ එකී උපකරණවල දත්ත හඳුනාගැනීමයි.

මෙම දත්ත කියවීම සඳහා අවශ්‍ය විවෘත මෘදුකාංග නිෂ්පාදනය ද එම මෘදුකාංග ප්‍රවර්ධන ඒකකය මගින්ම සිදුකර ගන්නා ලදී. මෘදුකාංග වර්ග දෙකකි. කිසියම් සමාගමක් හෝ පුද්ගලයකු විසින් නිෂ්පාදනය කරනු ලබන මෘදුකාංග එක් වර්ගයකි. එම මෘදුකාංග ඇතැම් විට වෙනස් කළ නොහැකිය. එහි බුද්ධිමය දේපොළ අයිතිය ද පුද්ගලයා හෝ සමාගම සතු​වේ. එලෙස නිෂ්පාදනය කරන ලද මෘදුකාංග මිල අධික මෙන්ම භාවිතයද අපහසු කටයුත්තකි.

විවෘත මෘදුකාංග අනෙක් වර්ගයයි. එය පහසුවෙන් වෙනස් කළ හැකි මෙන්ම අවම මිලකින් නිෂ්පාදනය කළ හැකි මෘදුකාංග වෙයි. සී.අයි.ඩී.යේ. සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ වෝහාරික පරීක්ෂණ සඳහා යොදවා ගන්නට යෙදුණේ මෙම විවෘත මෘදුකාංගයි. කොළඹ සරසවියේ මෘදුකාංග ඒකකයේ ප්‍රධානි හර්ෂ විජේවර්ධන එකී මෘදුකාංග නිර්මාණය කළේය.

එකල රජයේ ආරක්ෂක තත්ත්වයන් මෙන්ම භූමියේ තොරතුරුද එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත ගලා යමින් පැවතුණි. කොළඹ ආරක්ෂාවද දැඩි අනතුරුදායක විය. ඒ වර්ෂ 2002-2006 අතර කාලයයි.

ත්‍රස්තවාදීන් වෙත රටේ අභ්‍යන්තර තොරතුරු ගලායාම දැඩි ප්‍රශන්යක් වූයෙන් සී.අයි.ඩී.යත් ත්‍රස්ත විමර්ශන ඒකකයත් ඒ කෙරේ අවධානයෙන් පසුවිය.

මුදලට සියල්ල පාවාදෙන පිරිසක්ද දකුණේ බිහිවී තිබුණි. අතට ලැබෙන සොච්චමක් වෙනුවෙන් එම පිරිස් බොහෝ පාවාදීම් කළහ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු එහි උපරිම ඵල නෙළාගනිමින් සිටියහ.

මේ අතර දිනක් ත්‍රස්ත විමර්ශන අංශය පෙන්ඩ්‍රයිව් උපාංගයක් රැගෙන කොළඹ සරසවියේ මෘදුකාංග ඒකකය වෙත පැමිණියේය. එම උපාංගයේ ඇති දත්ත මැකී ඇති බැවින් ඒවා නැවත ලබාගන්නා ක්‍රමයක් විමසා සිටියේය. මෘදුකාංග ඒකකයට එය එතරම් අපහසු කටයුත්තක් නොවූයෙන් ත්‍රස්ත විමර්ශන අංශයේ කාර්යය ඉටුකිරීමට එම ඒකකය සමත් විය.

දත්ත නැවත මතුකර ගැනිණි. තොරතුරු අනාවරණය වන්නට විය. ඊට අනුව වර්ෂ 2006දී කොළඹ නගරයේ බෝම්බ කිහිපයක්ම පුපුරා හැරීමට නියමිතව තිබුණි. ත්‍රස්තවාදීන්ගේ මෙම සැලැස්ම හෙළිවීමත් සමග ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වූවේය. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ නගරයේ සිදුවීමට නියමිතව තිබූ මහා විනාශයක් වළක්වා ගැනීමට ආරක්ෂක අංශ සමත්විය.

ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් ගෙනා ‌පෙන්ඩ්‍රයිව් උපාංගය අයත් වූයේ ආරක්ෂක අංශ නිලධාරියකුටය. ත්‍රස්තවාදීන්ට තොරතුරු සැපයීමේ චෝදනාවට ලක්වූ එම නිලධාරියා අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහුට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගන්නට යෙදුණි.