කොවිඩ් හේතුවෙන් ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක් වේවි
30 October 2020
කොවිඩ් හේතුවෙන් ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක් වේවි
30 October 2020
රටේ ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක් ඉදිරියේ සිදුවේවි. අපනයන ආදායම, සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම මෙන්ම කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා වැය වන අතිවිශාල මුදල් සම්භාරය සහ නිරෝධායන ඇඳිරිනීතිය නිසා රුපියල් 5000 බැගින් එම ජනතාවට ලබා දීමට සිදුවීම නිසා රජයට විශාල ආර්ථික බරකට මුහුණ පාන්නට සිදු වෙනවා.
ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කළත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය පසුපස කිසිදු සැඟවුණු න්‍යාය පත්‍රයක් නෑ. ඒ මහතා මෙරටට පැමිණියේ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාගේ ආරාධනයක් මතයි.
ඇමෙරිකානු විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් නොකළ බවට ඇතැම් අය කියා තිබුණා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී මයික් පොම්පෙයෝ මහතාගේ සංචාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළා. එතුමා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ දෙරට මිත්‍ර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් බව එහිදී සඳහන් කළා.
චීනය හා ඇමෙරිකාව අතර සීතල යුද්ධයක් පවතින බව නොරහසක්. නමුත් මේ වනවිට ලෝකයේ ආර්ථික බලවතා චීනයයි. ඇමෙරිකාව පවා චීනයෙන් ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න ණය අරගෙන තිබෙනවා. නමුත් මම වගකීමෙන් කියන්නේ අපි නොබැඳි රටක් වශයෙන් කිසිම රටක පැත්තක් ගන්නේ නැහැ.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඉතා වැදගත්. ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයාට පසුව සිටින දෙවන බලවත්ම පුද්ගලයායි. ඔහු වැනි පුද්ගලයන් අපේ රටට ගෙන්වා ගැනීමට පසුගිය රජය පවා උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. නමුත් මෙරට එතුමාගේ පැමිණීම රටක් වශයෙන් අපිට ගෞරවයක් බවයි මම හිතන්නේ.
විනාඩි කිහිපයක සාකච්ඡාවක් තමයි සිදුවුණේ. එම සාකච්ඡාවල කිසිදු රහසිගතභාවයක් නැහැ. විවෘතව කතා කළා. ජනාධිපතිතුමා එම සාකච්ඡාවේ දී පවා චීනය අපිට දෙන සහාය ගැන සඳහන් කළා. අනික ඇමරිකා එක්සත් ජනපදයේ හෝ අනෙකුත් රටවල් තරහ කරගෙන අපිට ගමනක් නැහැ.
ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ අපේ රටේ දැවැන්තම ගැනුම්කරුවා. අපි ඇමරිකාවෙන් ආනයනය කරනවාට වඩා විශාල ප්‍රමාණයක් අපි එරටට අපනයනය කරනවා. විශේෂයෙන් ඇඟලුම්, මත්ස්‍ය නිෂ්පාදන වැනි අපනයනය ද්‍රව්‍ය රැසක් අපි එරටට යවනවා.
අපේ රජය එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියලා තවම තීරණයක් නැහැ. මම කුමන අවස්ථාවකදීවත් එම්.සී.සී. ගිවිසුම විවේචනය කර හෝ ඒක හොඳයි කියලා හෝ නැහැ. එම්.සී.සී. ගිවිසුම තවම කිසිවකු විසින් විධිමත්ව හා පුළුල්ව අධ්‍යයනය කරලා නෑ.
මම අවස්ථා පහකදී පමණ මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ස්ටෙප්ලිට්ස් සමග සාකච්ඡා කළා. ඒ හැම වෙලාවෙම ඇය ප්‍රකාශ කළේ එම්.සී.සී. ගිවිසුම ලබාදෙන ප්‍රදානයන් ලබා ගැනීම හෝ නොගැනීම ශ්‍රී ලංකා රජයේ තීරණයක් කියායි. එම මුදල් ලබා ගන්නට කියා එක්සත් ජනපදය කිසිදු අවස්ථාවක අපිට බලපෑම් කර නැහැ.