විශේෂාංග

කොවිඩ් දෙවැනි රැල්ල පාලනය ගැන පසුවිපරමක් කළ යුතුයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 වයිරස ව්‍යාප්තියට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කෙසේද? යන්න සහ වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙලෙහි සාර්ථක භාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, සහ ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකි.

කොවිඩ් සමග පවතින නව සාමාන්‍යකරණය යටෙත් සංචාරකයින් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටිනව. මේ තත්ත්වය කොරෝනා පාලනයට මොන වගේ බලපෑමක්ද කරන්නේ…

මේ වෙනකොට එංගලන්තයේ නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් වේගයෙන් පැතිරෙනවා. ඒත් එක්කම අප්‍රිකාවේ පැතිරෙන නව වයිරස් ප්‍රභේද සංචාරකයින්ගේ ආගමනයත් සමග රටට ඇතුළු වුණොත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. මේ අනතුර අපි දකින්න ඕනේ. යුරෝපයෙන් සංචාරකයින් ගේනවා. විශාල අවදානමක්නේ මේ ගන්නේ. මේ අවදානම නිසා ආසාදනය රට තුළ බරපතළ ලෙස පැතිර ගියහොත් රජය එයට වග කියනවාද?

කොවිඩ් වසංගතය හමුවේ සංචාරක කර්මාන්තය විතරක් නෙවෙයි අපේ ගොවියෝත් අන්ත අසරණ වෙලා. මේ සඳහා ඔබට කිසියම් යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

මේ කොවිඩ් වසංගතය ඇතුළේ අපේ ගොවියෝ අසරණ වුණේ නැහැ. ඔවුන් තමන්ගේ ගොවිතැන් කටයුතු කරගෙන ගියා. අසරණ වුණේ ඔවුන්ගේ පලදාව අලෙවිකර ගන්න වෙළෙඳපොළක් නොතිබුණ නිසයි. ගොවියාට වෙළෙඳපොළක් තවමත් නිර්මාණය කර දීමට මෙතෙක් බිහිවූ රජයන් සමත් වෙලා නැහැ. ඔවුන්ට කුඹුරේ වැඩ කිරීමේ අපහසුවක් තිබුණේ නැහැ. අඩුපාඩුවකට තිබුණේ කලට වේලාවට පොහොර ටික නොලැබෙන එක විතරයි. තමන්ගේ බෝග ටික විකුණ ගන්න වෙළෙඳපොළක් තිබුණෙ නැහැ. අවුරුදු 72ක් පුරා කිසිම රජයක් මේවාට පිළිතුරු ලබා දුන්නේ නැහැ. රජය කළේ කොටුවේ තිබුණ මැනින් මාකට් එක පෑලියගොඩට ගෙනිච්ච එක. ඔය මුදල් වියදම් කරලා රටේ දිස්ත්‍රික්ක 25 හි ආර්ථික මධ්‍යස්ථාන 25ක් හැදුවානම් මොකද වෙන්නේ. ඒ ආර්ථික මධ්‍යස්ථානවලදී ඒ ඒ ප්‍රදේශවල ගොවියන්ගේ පලදාව ඒ ප්‍රදේශවල ජනතාටම මිලදීගන්න ඉඩක් ලැබෙනවා. ගොවියටත් හොඳයි පාරිභෝගිකයාටත් හොඳයි.

ඉන්දියාවේ නවදිල්ලි නගරයට යන්න. නගරයේ “සෆාල්” කියල හඳුන්වන ආයතන 500ක් විතර තියෙනවා මේවායේ එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය විකුණනවා. ගොවියාගෙන් කෙලින්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන සෆාල් මධ්‍යස්ථාන හරහා ඉතාමත් සාධාරණ මිලකට ජනතාවට ලබා දෙනවා. අපේ මැති ඇමැතිවරුන්, දේශපාලන නායකයන් කී දෙනෙක් නව දිල්ලි නගරයට ගිහිල්ලා ඇතිද? කවදාවත් ඒවා ඉගෙන ගෙන එවැනි ක්‍රම මේ රටේ ව්‍යාප්ත කරලා තියෙනවාද? අපිට කර්මාන්ත ගණනාවක්ම තිබුණා. අද ඒ එකක්වත් නැහැ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ ඔබ දකින්නේ කොහොමද?

කොවිඩ් 19 වසංගතය මෙරටට පැමිණි මුල්ම අවස්ථාවේදී ඒ කියන්නේ පළමුවන රැලලේදී අපි සාර්ථකව ඊට මුහුණ දීලා ඒක පාලනය කර ගත්තා . පළමු රැල්ල ඇතිවුණේ විදේශයන්හි සිට පැමිණුන ශ්‍රී ලාංකිකයන් සහ සංචාරකයින් මගින් ආසාදනය පැතිරීම පාලනය කර ගන්න තමයි අපට තිබුණේ. අපිට එහිදී තිබුණේ සීමිත කාර්යයක් විතරයි. විදේශයන්ගෙන් එන අය පරීක්ෂණයට භාජනය කරලා ආසාදිතයින් හඳුනාගෙන ඒ අයව වෙන්කර ප්‍රතිකාර කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන්ව නිරෝධායනය කිරීමත් විතරයි. මොකද ඔවුන්ගෙන් තමයි වයිරසය රටට ඇතුළු වුණේ. ඔවුන් ගෙන ආ වයිරසය රට තුළ ව්‍යාප්ත වීමට ඉඩ නොදී එය ව්‍යාප්ත විය හැකි සෑම තැනක්ම ඇහුරුවා. මාර්තු අප්‍රේල් මාසවල මහජන සෞඛ්‍යයට අදාළ වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කළා.

කොහොම නමුත් පළමු රැල්ල එන මුල් දිනවලම පාර්ලිමේන්තු මැතිවරණයට නොමිනේෂන් දිලා තිබුණා. ඒ නිසා ආණ්ඩුවට කොවිඩ් මර්දනයට ලොකු උවමනාවක් තිබුණා. වසංගතය පාලනය කරගෙන මැතිවරණයට යන්න ආණ්ඩුවට උවමනා වුණා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් ආරක්ෂක සේවාවේ අයත් ඒ කාර්ය නිවැරදිව ඉෂ්ට කළා. ජනතාවත් එයට අනුගත වුණා. ආණ්ඩුව සංචරන සීමා පනවලා, පොලිස් ඇඳිරිනීතිය පනවලා නගර හුදෙකලා කරලා උපරිම ප්‍රතිඵලය ලබා ගත්තා.

පළමු රැල්ලේදී ක්‍රියාත්මක කළ පාලන වැඩපිළිවෙළ බ්‍රැන්ඩික්ස් පොකුර හමුවුණ වෙලාවේ ක්‍රියාත්මක කලා නම් දෙවැනි රැල්ල මෙතෙරම් උඩුදුවන්නේ නැහැ කියලා ඔබ හිතනවාද?

දෙවැනි රැල්ල පටන් ගත්තු වෙලාවේ ඉඳලම රජයේ ස්ථාවරය වුණේ “අපි රට වහන්නේ නැහැ” කියන එකයි. ඒ අයට මදිකමක් වගේ දැනුණා, රටවහලා රෝග පාලනය කරන එක . ඒ වගේම මුල් රැල්ලේ තිබුණ අඩුපාඩුත් හඳුනාගෙන මේක පාලනයකර ගන්න පුළුවන් කියලා හිතුණා . මේ නිසා රටේ ආර්ථික ක්‍රියාකාරකම් සිදුවෙද්දී රෝග පාලනයට යොමු වුණා. ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. අපේ වැරදි මත සමාජ ගත වුණා. “අපිට මේ රෝගය පහසුවෙන් පාලනය කර ගන්න පුළුවන්”. “වෙනත් අයට බැරි වුණාට අපිට පුළුවන්” වගේ අදහස් නිසා කොවිඩ් වල පෙර තත්ත්වයට යන්න පුළුවන් වගේ හැඟීමක් ඇති වුණා. නමුත් සිදුවුණේ මොකක්ද? දෙවැනි රැල්ල ඇතිවුණාම අපිට මෙය පාලනය කර ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. දැන් දිනකට රෝගීන් 500 – 600ක් වාර්තා වෙනවා මරණ 4 -5ක් වාර්තා වෙනවා.රෝගීන් 6000ක් විතර රෝහල් ගත වෙලා ඉන්නවා. නිරෝධායන කටයුතුවලත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මේ වගේ තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ.

දෙවැනි රැල්ල පාලනය කරන්න ගත යුතු සුදුසුම ක්‍රියා මාර්ගය කුමක් කියලද ඔබ හිතන්නේ?

දෙවැනි රැල්ල පාලනය කරන්න භාවිත කළේ පොලිස් කොට්ඨාස මට්මමින් හුදකලා කිරීම. මේක අසාර්ථකයි කියලා මා මුල සිටම කිව්වා. රෝගීන් වාර්තා වුණාම ඒ ප්‍රදේශය හුදෙකලා කරනවා. ඒකේ ඇතුලේ ඉන්න අය ආසාදිත වෙලා ඉවරයි. මේ ජනතාව අනික් ප්‍රදේශවලට යනවා. අපි දැක්කා ආසාදිත ප්‍රදේශවල දුම්රිය නතර නොකළ නිසා දුම්රිය නතර කරන දුම්රිය ස්ථානවලට හුෙදකලා කළ ප්‍රදේශවල ජනතාව ගිහිල්ලා තමන්ගේ ගමන් ගියා. නගරයේ එකකොටසක් වැසුවාම වහපු කොටසේ අය වහපු නැති කොටසට ගියා. සමාජයේ පුද්ගලයින් විසිරෙනකොට මෙයා කවුද කියලා අපි හඳුනා ගන්නේ නැහැ. ඒ නිසා මේක පැතිරුණා. මේකේ බරපතළම තත්ත්වය තමයි දැන් මරණ සිදුවෙනවා. රටේ වැඩිහිටි ජනතාව තමයි මෙසේ මරණයට පත්වෙන්නේ. බෝනොවන රෝගවලට මෙතෙක් කලක් ගොදුරු වෙලා සිටිය අය තමයි දැන් මැරෙන්නේ. ඒ අය තව කාලයක් ජීවත් වෙන්න තිබුණා. ඒ නිසා අපි පළමුව මරණ වළක්වා ගැනීමේ ස්ථාවර ක්‍රියාවලියකට යන්න ඕනේ.

අපේ වැඩිහිටි ජනතාව සෑහෙන ප්‍රමාණයක් මිය ගියොත් කවුද ඊට වග කියන්නේ. අද තියෙන තත්ත්වය තුළ මේ පිළිබද පසුවිපරමක් කරලා අපි කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? කියලා නිවැරදිව අවබෝධ කරගෙන මේ 2021දීවත් මෙම වසංගත තත්ත්වය පාලනය කර ගන්න උත්සාහ කළේ නැතිනම් රට විශාල අනතුරකට යන්න ඉඩ තියෙනවා.

‍දෙවැනි රැල්ල තුළ පවතින අභියෝගයන් මොනවාද ?

මෙහිදී මම අභියෝග 3 ක් දකිනවා. ඔක්තෝබර් මාසේ මුල් සතිය වෙන කොට අපිට මරණ තිබුණේ 13 යි. දැන් මරණ දෙසීයේ සීමාව ඉක්මවා ගිහිල්ලා. රෝගීන් ගත්තහම ඔක්තෝබර් පළමු සතිය වෙනකොට රෝගීන් 4000යි වාර්තා වුණේ. මුළු මාස අටටම වාර්තා වුණ ප්‍රමාණය. ඔක්තෝබර් ඉඳලා මේ වෙනකොට රෝගීන් 40000ක් ඉක්මවා ගිහිල්ලා. දහගුණයකට වඩා රෝගීන් වාර්තා වීම වැඩිවෙලා.මරණ සංඛ්‍යාව ඉහළ යාම එහි පළමුවැන්න.

දෙවැන්න, රෝහල් පද්ධතියේ එක දවසකට හත් අට දහසක් ආසාදිතයින් රෝහල් ගතව ප්‍රතිකාර ගන්නවා. රෝහල් කාර්ය මණ්ඩලයට රෝග පැතිරෙනවා. ඒ අය නිරෝධායනය කරන්න සිදුවෙනවා. දිගින් දිගටම සේවාව කරන්න අවශ්‍ය නිසා ඒ අය විඩාවට පත්වෙනවා. මේ රැල්ලට අමතරව තවත් දරුණු රැල්ලක් ආවොත් මෙය තවත් දරුණු වෙනවා. දැඩි සත්කාර වලට යන සංඛ්‍යාව වැඩිවෙන්න පුළුවන්. මේ වෙන මහන්සිය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසංගතය පාලනය කරන්න පුළුවන්ද කියලා සැක හිතෙන තරමට ප්‍රශ්න ගණනාවක් ඇති විය හැකියි.

තුන්වන දෙය තමයි පාසල් පද්ධතියට වෙලා තියෙන අනතුර. පසුගිය මාස අටේම දරුවෝ පාසල් ගියේ නැහැ. නාගරික දරුවන් ටැබ් මගින්, ස්මාට් ෆෝන් මගින් ‌ඉගෙන ගන්නවා. ඔවුන්ගේ විෂය නිර්දේශ අවසන් කරලා. ඒත් ගම්බද ළමුන් සිග්නල් හොයාගෙන කඳු නගිනවා, ගස් නගිනවා.. ඒ තත්ත්වයන් තුළ මේ දරුවෝ 2021 පාසල් ගියාම සිටින්නේ අවුරුද්දක් පිටුපසින්‍. මේ දරුවන් සාපෙළට හෝ උසස් පෙළට ලියන්නේ කොහොමද? එහෙම නැතිනම් මේ දරුවන්ට අමතරව උගන්වනවාද? එහෙම කරනවා නම් කරන්නේ කොහොමද? මෙතරම් විද්‍යුත් නාළිකා මුද්‍රිත මාධ්‍ය තියෙනවා මේවා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ක්‍රමවත්ව උපයෝගි කර ගැනීමේ වැඩපිළිවෙළක් සැදීමට අවශ්‍යයයි. ප්‍රජා වෛද්‍ය වරුන්ගේ සංගමය හැටියට මේ පිළිබඳව පසු විපරමක් කරන්න කියලයි අපි කියන්නේ. එහෙම දෙයක් පේන්නෙ නෑ. මේකේ අඩුපාඩු මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. දෙවැනි රැල්ල පාලනය කරගෙන අපි අපේ සාමාන්‍ය වැඩකටයුතු කර ගෙන යාමට මාර්ගයක් සකසා ගන්න ඕනේ.

කොවිඩ් වසංගතය මර්දනය කරන්න රජය ගෙන යන වැඩපිළිවෙළේ පසු විපරමක් නැති බව ඔබ පවසනවා. ඇයි ඔබ එහෙම පවසන්නෙ…?

ලෝකය පුරාම කොවිඩ් මර්දනය සඳහා ගන්නේ එකම ක්‍රියාමර්ගයයි. එ් ප්‍රදේශ හුදෙකලා කිරීමයි. ඒත් අපි මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන ආකාරයයි වැරදි. පොලිස් බල ප්‍රදේශ හු​ෙදකලා කිරීමෙන් මේ රෝගය පාලනය කරන්න බැහැ කියලා මාස 3ක් තිස්සේ අපිට තේරුම් ගන්න බැරිනම් අපි කොහොමද මේක පාලනය කරන්නේ. මේකේ හොඳ දේවල් තියෙනවා. හොඳ දේවල් අරගෙන, දුර්වල දේවල් ඉවත් කිරීමට පසු විපරමක් කරන්න ඕනේ. අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කර ගන්න ඕනේ. අපිට බලපෑම් කරන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණයි. අපිට වසංගත රෝග විද්‍යාඥයින් හැටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් හැටියට ඉඩ ලැබුණු හැම මොහොතකම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ගැන කිව්වා.

ඔබ මෙවැනි දෙයක් ප්‍රකාශ කළ මොහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ප්‍රතිචාරය කෙබඳු වුණාද?

මේ අය සැලසුම් කර තිබුණා පසුවිපරමක් කරන්න දෙවැනි රැල්ලට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය උදව් කරන්නත් ලෑස්තිවෙලා හිටියා. මේ අය කිව්වානේ අපි මේක පාලනය කර ගත්තා අපිට ගැටලුවක් නැහැ කියලා. ඒ නිසා පසු විපරමක් කෙරුනේ නැහැ. ඒක කරන්නේ නැතිව දෙවැනි රැල්ල ආවා‍‍. දෙවැනි රැල්ල ඇතුළෙත් පසුවිපරමක් නැහැ. කල් දමමින් ඉන්නවා. පසුවිපරමක් කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. යාන්ත්‍රණයේ තියෙන දුර්වලතා හා අඩුපාඩු නිසා තවමත් සංවිධානය කර ගන්න බැරි වෙලා. සෞඛ්‍ය අමාත්‍යාංශය කල්ගතවෙලා හෝ පසුවිපරමක් කරයි. එතකොට අපිට වෙන්න ඕන හානිය වෙලා තියෙන්න පුළුවන්.

පසුවිපරම ප්‍රමාද වුවහොත් ඉදිරියට මරණ සංඛ්‍යාව හා රෝගීන් සංඛ්‍යාව තවත් වැඩිවෙයි. එහෙම වුණොත් පසු විපරමක් කරලා වැඩක් වෙන්නේ නැහැ. අපිට බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැනේ. අපි බලන්න ඕනේ අපිට වෙන අනතුරු වළක්වා ගන්නයි. ඉන්දියාවට වෙන අනතුරු අපිට නෑ කියලා හිතන්න බෑ.

•සංවාදය – ශ්‍රියානි විජේසිංහ

ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති

විශේෂඥ වෛද්‍ය

නිහාල් අබේසිංහ