News

කොවිඩ් කාලයේ ළමා විවාහ ඉහළ ගිහින්

කොරෝනා නිසා ඉන්දියාව වසා දමා පැවැති අවධියේදී එරට ළමා විවාහ සිදු කිරීම සහ ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම ඉහළ ගොස් ඇත. ඉන්දීය නීතිවලට අනුව වයස අවුරුදු 18ට වඩා අඩු ගැහැනු ළමයින් විවාහ කරදීම නීති විරෝධීය. එසේ වූවත් ඉන්දියාවේ ළමා විවාහ විශාල සංඛ්‍යාවක් සිදු වේ. ළමා විවාහ සිදුවන රටවල් අතර ඉන්දියාව ඉදිරියෙන්ම සිටින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. වාර්ෂිකව ඉන්දියාවේ ළමා විවාහ මිලියන 1.5ක් පමණ සිදු වේ.

කොරෝනා වසංගතයට ඉන්දියාව වසා දැමීමත් සමග මේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇත. ළමයින්ට මුහුණදීමට සිදුවන ගැටලු ඉදිරිපත් කිරීමට විවෘත කර තිබෙන දුරකථන මාර්ගයට ලැබෙන ඇමතුම් වැඩි වී ඇති බව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීහු පවසති. විවාහ වීම සඳහා දෙමවුපියන්ගෙන් එල්ලවන බලපෑම් නිසා විපතට පත් දැරියන්ගෙන් ලැබුණු ඇමතුම් සංඛ්‍යාව 17%ක වැඩිවීමක් පෙන්නුම් කරන බව සඳහන් වේ. මේ වැඩිවීම පෙන්නුම් කරන්නේ පසුගිය ජුනි සහ ජූලි යන මාස දෙකේදීය.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ අග භාගයේ සිට ජුනි මාසයේ මුල භාගය දක්වා රට වසා තබන්නට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. මේ නිසා මිලියන ගණනක් ජනයාට රැකියා අහිමි විණි. එලෙස රැකියා අහිමි වූ විශාල සංඛ්‍යාවක් ස්ථිර රැකියාවල නියුක්තවූවන්ද නොවේ. ඇතැමුන් ඉතා අනාරක්ෂිත රැකියාවල නිරතව සිටි අයය. රැකියා අහිමිවීමත් සමගම ඔවුන් දරිද්‍රතාවයේ පතුලටම ඇද වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අන්දමට රැකියා අහිමි වූ පිරිස් තමන්ගේ ගම්බිම්වලට පැමිණියහ. එවැනි පිරිමින්ගෙන් දියණියන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම නිසා බාල වයස් දියණියන් විවාහ කරදීමට සමහර දෙමවුපියෝ පෙලඹී සිටිති. ඒ හැරුණු විට පවත්නා ආර්ථික අපහසුතා නිසා තම දියණියන්ගේ අනාගතය යහපත් කිරීමට අවශ්‍ය වියහියදම් උපයා සපයා ගැනීමට නොහැකි වීමත් මවුපියන්ට විශාල ගැටලුවක් වී තිබේ.

කොරෝනා වසංගතය පැතිර යෑම නිසා හඳුන්වා දුන් නීති යටතේ විවාහ මංගලෝත්සවයක් පැවැත්වීමට පැනවී ඇති බාධාද බාල වයස්කාර දියණියන් විවාහ කරදීමට දෙමවුපියන්ට පෙලඹීමක් කර ඇත. “… පවත්නා තත්ත්වය අනුව කිහිපදෙනකුට පමණක් ආරාධනය කරලා මංගලෝත්සවයක් ගන්න එක හරිම පහසුයි; වියදම අඩුයි.” යනුවෙන් පවසන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කාන්තා සහ ළමා සුබසාධන කොමසාරිස් මනීෂා බිරාරිස්ය.

කොරෝනා වසංගතයට වසා දමන ලද ඉන්දියාව ජුනි මාසයේදී නැවත විවෘත කරන ලදී. එහෙත් පාසල් මේ වනතුරුත් විවෘත කෙරී නැත. ගැහැනු ළමයින් ළමා විවාහවලින් මුදා ගැනීමට පාසල්වලින් ඉතා වැදගත් මෙහෙයක් ඉටුවන බව සඳහන් වේ. ගැහැනු ළමයි තමන් මුහුණදෙන ගැටලු ගුරුවරුන්ට සහ මිතුරියන්ට වාර්තා කරති. ළමා විවාහ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ආයතනවලට ගුරුවරියන් සහ මිතුරියන් එවැනි පැමිණිලි ඉදිරිපත් කරන බව සඳහන් වේ. ළමා විවාහ විශාල සංඛ්‍යාවක් නවතා ගැනීමට මේ අනුව පාසල මගක් වී ඇත. ළමයින්ගේ ගැටලු දැනුම්දීමට විවෘත කර ඇති “චයිල්ඩ්ලයින්” දුරකථන මාර්ගය ළමා විවාහ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි එක් මාර්ගයකි. ගැහැනු ළමයින් සම්බන්ධයෙන් ළමා විවාහ සිදුවන්නාක් මෙන්ම පිරිමි ළමයින් ළමා කම්කරු සේවයේ යෙදවීම ඉන්දියාවේ ඉතා සුලභව දක්නට පුළුවන. පාසල් යන වයසේ සිටින පිරිමි ළමයින් කර්මාන්තශාලාවල කම්කරුවන් හැටියට සේවයේ යෙදවීමට දෙමවුපියන් වැඩි නැඹුරුවක් දක්වන බව “ඇක්ෂන් ඒඩ්” වැඩසටහන පෙන්වා දෙයි. පාසල් යන වයසේ ළමුන් සේවයේ යෙදවීම ඉන්දීය නීතිය අනුව අපරාධයකි. එහෙත් ඉන්දියාවේ ළමයින් මිලියන 260කට ආසන්න සංඛ්‍යාවක් කම්කරු සේවයේ නිරතව සිටින බව 2011 වසරේ සංඛ්‍යා ලේඛනවලින් නිරූපණය කෙරේ.

ඉන්දියාවේ ළමයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක අනෙක් අපරාධකාරී තත්ත්වය, ළමයින් හොර ජාවාරම්කරුන්වන් අතට පත්වීමයි. දරුවන් එම හොර ජාවාරම්කරුවන් අතට පත් කරන්නේද මවුපියන්ය. ඒ, තම දරුවා වෙනත් ඈත ප්‍රාන්තයක කවර ආකාරයේ හෝ රැකියාවක යොදවන මෙන් ඉල්ලා සිටිමිනි. පිරිමි ළමයින් හයදෙනකු ප්‍රවාහනය කරමින් තිබුණු සුඛෝපභෝගී බස් රථයක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසිය පසුගිය දා සමත් විණ. මේ ළමයින් ප්‍රවාහනය කරමින් සිටියේ හොර ජාවාරම්කරුවන් පිරිසකි. බස් රථයේ සිටි ළමුන් රාජස්තානයේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කර ඇත. කොරෝනා සමයේ පනවා ඇති නීති පවා නොතකා හරිමින් මේ අන්දමට හොර ජාවාරම්කරුවන් ළමයින් ප්‍රාන්ත අතර ප්‍රවාහනය කිරීම ඉතා දුක්ඛිත තත්ත්වයකි. එසේ වූවත් එවැනි ජාවාරම්කරුවන් පසුපස ප්‍රබල පුද්ගලයන් සිටින නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පවා අසීරු වී ඇත.

මංජුලා විජයරත්න