කතුවැකි

කොරෝනා සහ අපි

 

කොරෝනා වයිරසය ​ලෝකය ආක්‍රමණය කර වසරකට ආසන්න කාලයක් ගතවී තිබේ. වයිරසයේ බලපෑම හේතු කරගෙන ලෝක ජනතාවට තම තමන්ගේ දින චර්යාවන්, ඇවතුම් පැවතුම් හා ආකල්ප මෙන්ම ඇතැම් විශ්වාසයන්ද වෙනස් කරගැනීමට සිදුව ඇත. අප රටේද අමුත්තෙකු හමුවූ විට ආචාර කිරීමේ සිට බොහෝ දේ කොරෝනා වයිරසයේ ක්‍රියාකාරීත්වයට අනුකූලව වෙනස් වී තිබේ. විවාහ මංගල්‍ය උත්සව පමණක් නොව අවමංගල්‍ය අවස්ථාද, ඡන්ද පැවැත්වීම මෙන්ම විභාග පැවැත්වීමද ඊට ඇතුළත්ය.

මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සියලු දේ වෙනස් කරන්නට කොරෝනා වයිරසය සමත් වී ඇතත් අපේ රටේ මාධ්‍ය පමණක් වෙනස් කරන්නට ඊට හැකිව නැත. කොරෝනා නිසා අපේ මාධ්‍යයේද වෙනසක් සිදුව ඇත්නම් ඒ හොඳ අතට නොව නරක අතටය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් යළි කොරෝනා පොකුරක් මතුවීමත් සමග මාධ්‍යට එල්ලවන චෝදනාද අලුත් වන්නට පටන්ගෙන තිබේ. කොරෝනා වයිරසය පිළිබඳ පුවත් වාර්තා කරණයේදී වැඩියෙන්ම චෝදනා එල්ල වන්නේ විද්‍යුත් මාධ්‍යටය. එහෙත් මුද්‍රිත මාධ්‍ය එහිදී නිවැරදිම යැයි ඉන් ඇඟවෙන්නේ නැත. මාධ්‍යට එල්ල වන ප්‍රධානම චෝදනාව නම් වයිරසය ආසාදිතයන්ගේ නම, ගම, ලිපිනයේ සිට ඔහුගේ හතර වරිගයේම විස්තර විශාල සොයා ගැනීමක් කළා සේ ඉදිරිපත් කිරීමය.

කොරෝනා පමණක් නොව කුමන දෙයක් ගැන වුවත් සමාජය දැනුවත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ මාධ්‍යයටය. එහෙත් අපට ඒ වගකීම ඉටු කිරීමට සිදුවන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බව අප කවුරුත් සිහි තබාගත යුතුය. මේ සීමාවන් යනු ආණ්ඩුව හෝ කවුරුන් හෝ අධිකාරියක් විසින් අප මත පනවන සීමාවන් නොව අප විසින්ම පනවා ගන්නා සීමාවන්ය. ඕනෑම වෘත්තියකදී වෘත්තීය ආචාර ධර්ම පනවා ගන්නේ එකී වෘත්තියේම නියැළෙන අය විසිනි.

කුමන රටක වුවත් වාර්තාකරණයේදී කෙනකුගේ අනන්‍යතාව, විශේෂයෙන්ම රෝගියකුගේ අනන්‍යතාව හෙළි නොකිරීම මූලික ආචාර ධර්මයකි. එය වෛද්‍යවරයකු තම රෝගීන්ගේ විස්තර පිටස්තරයන්ට නොදෙන්නා සේය. කිසිවකු ඕනෑකමින් කොරෝනා ආසාදිතයකු බවට පත්වන්නේ හෝ තවත් කෙනකුට බෝවීමට ඉඩ තබන්නේ නැත. එවැනි රෝගියකුගේ තබා ඒඩ්ස් වැනි ලිංගික ඇසුරකින් බෝවිය හැකි රෝගයක් වැලඳුණු අයකුගේ පවා අනන්‍යතාව හෙළි කිරීම නොකළ යුතු දෙයකි.

අපේ සමාජයේදී විශේෂයෙන්ම එසේ නොකළ යුත්තේ කුමන රෝගියකු වුවත් සමාජ කොන් කිරීමකට ලක් කරන්නට තරම් අපේ සමාජය ගෝත්‍රික මට්ටමේ පැවතීම නිසාය. ලාදුරු හැදුණු රෝගීන්, පොදු සමාජයෙන් පිටමං නොකරන ලද්දේ විද්‍යාව දියුණු නොවූ අතීතයේය. එහෙත් දැන් කුමන රෝගයකදීවත් එසේ කටයුතු කළ යුතු නැත. එය නවීන විද්‍යාවට කරන සරදමක් සේම මානව ගෞරවය හෑල්ලුවට ලක් කිරීමකි. එහෙත් මවට ඒඩ්ස් යැයි සැක කර දරුවා පාසලෙන් නෙරපූ අවස්ථා අප මේ සමාජයෙන් අසා තිබේ. කනගාටුදායකම කාරණය වන්නේ ඒ අවස්ථාවේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාද ඒඩ්ස් සුළඟින් බෝවිය හැකි යැයි ප්‍රකාශ කිරීමය.

මේ තරම් නොදියුණු සමාජයකට ආචාර ධාර්මිකව කටයුතු නොකරන්නේ යැයි මාධ්‍ය වෙත ඇඟිල්ල දිගු කළ හැකිද යන ප්‍රශ්නයද මේ අනුව මතුවේ. එසේ වුවද සමාජය පිරිහී ඇතැයි කියා මාධ්‍යටද එලෙසම කටයුතු කිරීමේ සමාවක් නැත. සමාජයක් නිවැරදි මගට යොමු කිරීමේ වගකීම සමාජයේ පෙර ගමන්කරුවා යැයි කියන මාධ්‍යටද ඇති බැවිනි. මේ නිසා දැන්වත් මාධ්‍ය තමන්ගේ වගකීම් සහ යුතුකම් මැනවින් දැන හඳුනාගෙන උපරිම වෘත්තීය වගකීමෙන් කටයුතු කිරීමට කල්පනා කළ යුතුය.

කොරෝනා වසංගතය වාර්තාකරණයේදී මාධ්‍ය ආචාර ධාර්මික නොවීම, හිටි හැටියේ ඇතිවූ තත්ත්වයක් නොව ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක් බව අපගේ අදහසය. යුද්ධය රටක බොහෝ දේ විනාශ කරන අතර අපේ ජනමාධ්‍යයේ ආචාර ධාර්මික භාවිතාවන් පිරිහීමටද යුද්ධය බලපෑ බව නිරීක්ෂණය කළ හැකිය. යුද වාර්තාකරණයත් සමග ආරම්භ වූ මේ ආචාර ධාර්මික නොවූ වාර්තාකරණය පසුගිය දිනවල දක්නට ලැබුණේ යම් යම් අපරාධ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදීය. මේ ඕනෑම කෙනකුගේ නම, ගම, ලිපිනය පමණක් නොව ඡායාරූප පවා අපි කවුරුත් පළ කරන ලද්දේ අදාළ පුද්ගලයන්ගේ ​පෞද්ගලිකත්වය ගැන, ඔහුගේ හිමිකම් ගැන තඹ සතයකට සැලකිල්ලට නොගනිමිනි. සිය දිවි නසා ගැනීමකදී, අනතුරකදී අපගේ වාර්තා කිරීම ඊට භාජනය වූවන්ගේ පෞද්ගලිකත්වය විනාශ කිරීමක් පමණක් නොව සමාජය තුළ භීබත්ස රසය වඩවන්නකි. මේ අවස්ථාවේදී සමාජය මාධ්‍ය නිවැරදි කරන්නට මැදිහත් වූයේ නම් අද මාධ්‍යයට ඇඟිල්ල දිගු කරන්නට සිදු නොවන්නා සේම කොරෝනා ආසාදිතයන් හා ඔවුන්ගේ පවුල්වල අය පීඩාවට පත් නොවනු ඇත.

මාධ්‍ය මේ ආකාරයට තම තමන්ගේ ආචාර ධාර්මික සීමාවන් ඉක්මවා කටයුතු කරන්නේ මාධ්‍ය තරගය නිසා බව කවුරුත් පිළිගන්නා කරුණකි. එය නිදහසට කාරණයක් ලෙස පිළිගත හැකි නම් පෞද්ගලික බස් ලාභය පතා මාර්ග නීති උල්ලංඝනය කරමින් එකිනෙකා පරයා යෑමද නිවැරදි හා සාධාරණ විය යුතුය.

වාර්තාකරණය යනු ජනමාධ්‍යයේ එක් කාර්යයක් පමණකි. සමාජයක ඇගයුම්, ආචාර ධර්ම, වටිනාකම් පරපුරකින් පරපුරකට ගෙන යෑමේ වගකීමද ජනමාධ්‍යයට පැවරී තිබේ. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව කරමින් සිටින්නේ එයයි. එහිදී අප කාටත් අපේ තරගකරුවන් කරන්නේ කුමක්දැයි නොසිතා, කළ යුතු කුමක්ද, එය නිවැරදිව කරන්නේ කෙසේදැයි කල්පනා කළ හැකි නම් ඇත්තෙන්ම අපේ සමාජ වගකීම ඉටු කළ හැකි වනු ඇත. නැතහොත් සිදුවනු ඇත්තේ අපට පිටුපසින් පැමිණිය යුතු සමාජය අපට ඉදිරියෙන් ගමන් කිරීමය.